ඇඩොල්ෆ් අයික්මාන් පැහැරගැනීමේ මොසාඞ් මෙ&

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    4,209
    1,795
    113
    ඇඩොල්ෆ් අයික්මාන් පැහැරගැනීමේ මොසාඞ් මෙ&


    ඇඩොල්ෆ් අයික්මාන් පැහැරගැනීමේ මොසාඞ් මෙහෙයුම.....

    නන්දජීව කුමාර සූරියබණ්ඩාර


    දිනය 1960 මැයි මස එකොළොස් වැනිදාය. ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝර්ස් අයර්ස් නගරයට කිලෝමීටර් 20 ඈතින් පිහිටි සැන් ප‍්‍රනාන්දු නගරයේ ගරිබල්ඞ් වීදියේ ජීවත්වූ රිකාඩෝ ක්ලේමන්ට් වෙනදා මෙන්ම සිය සේවා මුරය හමාර කර නිවස වෙත යමින් සිටියේය. මර්සිඩිස් බෙන්ස් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන ඔහු සෑම දිනකම හවස් වරුවේ සේවය නිමවා පොදු බස් රථයෙන් පැමිණෙන අතර ගරිබල්ඞ් වීදියට හැරෙන ස්ථානයේ වන බස් නැවතුමෙන් බැස තවත් මීටර් සියගණනක් ඈතින් කුඹුරු යායක් මැද පිහිටි තම නිවස වෙත පයින් ගමන් කිරීම සිරිතක් ලෙස සිදු කරයි. තම හය හැවිරිදි පුත‍්‍රයා තමන් එනතෙක් මග බලාගෙන සිටින බව දන්නා ක්ලේමන්ට් පය ඉක්මන් කලා පමණි. ක්ලේමන්ට ඉදිරියෙන් වීදියේ සිටි පුද්ගලයෙකු ආචාරශීලීව නමුත් තීරණාත්මක ස්වරයෙන් ඔහුගෙන් යමක් වීමසීය. ස්පාඤ්ඤ භාෂාවෙන් “Un momentito, Señor.” (මෙහි ඉංග‍්‍රීසි පරිවර්තනය “A little while, Sir." යනුවෙන්ද සිංහල පරිවර්තනය මහත්මයාණෙනි, ! මොහොතක්, ! ලෙසද වේ) යනුවෙන් කරන ලද විමසීමෙන් ක්ලේමන්ට් වික්ෂිප්ත වූ අතර ක්‍ෂණිකව පැමිණෙන අනතුර ගැන සංවේදී වූ ඔහු අමුත්තා වෙතින් ඉවතට යෑමට උත්සාහ කළේය.

    ඇසිපිය හෙලන සැණින් ක‍්‍රියාත්මක වූ අමුත්තා ක්ලේමන්ට් වෙත කඩා පනින ලද අතර ඔහුගේ සහායට කොහේදෝ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් වහාම පැමිණෙන ලදි. තිදෙනා එක්ව බිම හොවා ගන්නා ලද ක්ලේමන්ට් රිකාඩෝ තත්පර කිහිපයක් තුළ සමීපයේ නවතා තිබුණ මෝටර් රථයකට ඇද දමන ලද සැණින් ඒ වන විටත් එංජිම ක‍්‍රියාත්මක කර තිබූ මෝටර් රථය පවනට බඳු වේගයෙන් එම ස්ථානයෙන් පලා යනු ලැබිණි.

    මෝටර් රථයේ බිම හොවන ලද ක්ලේමන්ට් බ්ලැන්කට්ටුවකින් වසා සඟවන ලද අතර ගමනේදීම පැහැර ගැනුනේ නිවැරදි පුද්ගලයාදැයි සැකහැර දැන ගැනීමට ඔහුගේ ශරීරයේ උපන් ලප ආදිය පරීක්‍ෂා කිරීමට පැහැරගනු ලැබූවන් කටයුතු කරන ලදි. පැහැර ගැනීමේ ක‍්‍රියාදාමයේ මූලික අදියර සාර්ථකව සම්පූර්ණ කළ පිරිස රහසිගත ආරක්‍ෂිත නිවසක් වෙත ගොදුර ගෙන යන ලදි.

    මෙතෙක් විස්තර කෙරුණේ බටහිර ක‍්‍රියාදාම චිත‍්‍රපටයක ජවනිකාවක් නොවේ. දෙවන ලෝක යුද සමයේ යුදෙව් සංහාරයන්ට වගකිවයුතු ප‍්‍රධාන පුද්ගලයෙක් වන ඇඩොල්ෆ් අයික්මාන් ජීවග‍්‍රහයෙන් පැහැරගෙන ඊශ‍්‍රායලයට ගෙන යෑමේ ඉතිහාසගත මොසාඞ් මෙහෙයුමේ වැදගත්ම අදියර ආර්ජන්ටිනා භූමිය මත ක‍්‍රියාත්මක වූ සැබෑ ආකාරයයි.

    කවුද මේ ඇඩොල්ෆ් අයික්මාන්

    adolf21906 මාර්තු 19 වන දින එවකට ජර්මන් අධිරාජ්‍යයට අයත් රයින් ගඟ අසබඩ පිහිටි සොලින්ජන් නගරයේ උපත ලද අයික්මාන් සංචාරක තෙල් අලෙවිකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටියදී 1932 වසරේදී නාසි පක්‍ෂයට සහ කුප‍්‍රකට එස්. එස්. හමුදාවට බැඳී තිබේ. ඔහුගේ කැපවීම හා හිට්ලර්ට වූ විශ්වාසවන්තභාවය හේතුවෙන් පසුව ජර්මනියේ යුදෙව් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ලෙස අයික්මාන් පත්ව ඇත. ජර්මනිය පිරිසිදු කිරීම සඳහා හිට්ලර්ගේ උපදෙස් පරිදි යුදෙව්වන් ජර්මන් ශුද්ධ භූමියෙන් පිටුවහල් කිරීම අයික්මාන්ගේ මුල් කාලීන සැලසුම වූ අතර පෝලන්තයේ සහ මැඩගස්කරයේ කඳවුරු වෙත ගාල් කිරීමට මුලදී සැලසුම් කළ නමුත් එය කිසි දින ක‍්‍රියාත්මක වූයේ නැත.

    adolf3.jpg


    එතෙක් ජයග‍්‍රාහීව ඉදිරියට ගිය ජර්මන් හමුදාවන් සෝවියට් සංගමය ආක‍්‍රමණය කිරීමේදී ප‍්‍රභල ප‍්‍රති ප‍්‍රහාරයකට ලක්වන අතර එහිදී ඇතිවූ අධික සැපයුම් අවශ්‍යතාවන් සහ තවත් හේතු ගණනාවක් හේතුකොටගෙන යුදෙව්වන් පිටුවහල් කිරීමේ ප‍්‍රතිපත්තියේ සිට සමූල ඝාතනය දක්වා මාරුවීමට අයික්මාන් ඇතුළු නාසි පාලකයන් කටයුතු කරන ලදි. මේ අනුව ලක්‍ෂ සංඛ්‍යාත යුදෙව්වන් සමූල ඝාතනය අයික්මාන්ගේ මූලිකත්වයෙන් සිදුවිය. කුප‍්‍රකට අවුෂ්විෂ්ට් සහ බූකන්වාල්ඞ් ඇතුළු රැඳවුම් කඳවුර 1200 පමණ අයික්මාන්ගේ අධීක්‍ෂණය යටතේ යුරෝපය පුරා පවත්වාගෙන ගිය බවට ජර්මානු අධිකරණ අමාත්‍යාංශ වාර්තා මගින් හෙළිදරව් කර ඇත. නිවැරදි සංඛ්‍යාලේඛන නොමැති නමුත් 1945 සෝවියට් හමුදා ජර්මනියට කඩා වදින තෙක් නාසින් විසින් මිලියන හයක පමණ පිරිසක් සමූල ඝාතනය කර ඇති බව සැලකෙන අතර ඉන් අඩක් පමණ යුදෙව්වන් වන බව කියැවේ. අයික්මාන් මෙම ඝාතනයන්ට ප‍්‍රමුඛ වගකිවයුත්තෙක් බව සැලකේ.

    1945 වර්ෂයේදී ජර්මනිය පරාජය වන අතර හිට්ලර්, ගෝරිං ඇතුළු බොහෝ නායකයන් මියගිය අතර ජීවත්ව සිටි යුද අපරාධකරුවන්ට නියුරම්බර්ග් නඩු විභාගය මගින් දඬුවම් ලබා දෙන ලදි. නමුත් මිලියන හයක ජනයා මරණය වෙත කැඳවාගෙන ගිය අයික්මාන් සියදිවි තොරකර ගත්තේ නැති අතර එක්සත් ජනපද හමුදා විසින් ජීවග‍්‍රහයෙන් අල්ලාගෙන රැඳවුම් කඳවුරක රඳවා තැබෙන අතරතුර සූක්‍ෂම ලෙස පලාගොස් වසර 5 ක් ජර්මනියේ සහ යුරෝපයේ විවිධ ස්ථානවල සැඟවී ජීවත් වේ. පසුව කතෝලික මිෂනාරී සංවිධානයක ආධාරයෙන් රිකාඩෝ ක්ලේමන්ට් යන නමින් ව්‍යාජ ලිපි ලේඛන සකසාගෙන 1950 දී ආර්ජන්ටිනාවට පලා යෑමට සමත් විය. ඇඩොල්ෆ් අයික්මාන් නාමය සඳහටම සඟවා රිකාඩෝ ක්ලේමන්ට් නමින් නැවත ඉපදී තම බිරිඳ සහ පුතුන් සිව් දෙනා සමග සාමකාමී සුවබර ජීවිතයක් ගත කිරීම මෙම බිහිසුණු මිනිස් ඝාතකයාගේ අරමුණ වී තිබුණ අතර ඔහු ඒ සඳහා බුවනෝර්ස් අයර්ස් ආසන්න සැන් ප‍්‍රනාන්දු නගරයේ ගරි බල්ඞ් වීදියේ නිවසක් තෝරාගත්තේය.

    දෛවෝපගත හමුවීම

    බොහෝ දෙනාට අමතක වුවත් ඇඩොල්ෆ් අයික්මාන් නාමය ඊශ‍්‍රායලයට අමතක වූයේ නැත. යුදෙව්වන් ඝාතනයේ පළිය ගැනීම සඳහා ඝාතකයා සොයා ගැනීම පිණිස මොසාඞ් සංවිධානය ලොව පුරා සිය ඔත්තුකරුවන් යෙදවූ නමුත් නිවැරදි තොරතුරක් ඉක්මනින් සොයා ගැනීමට හැකි වූයේ නැත. බලාපොරොත්තු නොවන ලෙස අගනාම තොරතුර හෙළිකර දුන්නේ වෘත්තීමය ඔත්තුකරුවෙකු හෝ හමුදා නිලධාරියෙකු නොවේ. ඒ අන්ධ පුද්ගලයෙකි.

    ජර්මානු යුදෙව්වකු වන ලොතර් හර්මාන් සමාජවාදී අදහස් දැරීම හේතුවෙන් ජර්මනියේදී 1935 දී සිරගත කරන ලද අතර ඔහු ඩැචාවූ රැඳවුම් කඳවුරේ රඳවා තබන ලදි. ගෙස්ටාපෝ පොලිසියේ දරුණු වධ බන්ධනයන්ට ලක්වූ හර්මාන් පසුව සරණාගතයෙකු ලෙස ආර්ජන්ටිනාවට සංක‍්‍රමණය වූ අතර විඳින්නට සිදුවූ දරුණු වධබන්ධන හේතුවෙන් ආර්ජන්ටිනාවේදී හර්මන්ගේ පෙනීම දුර්වල වී ගොස් අන්ධභාවයට පත්විය. හර්මන් සහ පවුල යුදෙව් ජන්මය සඟවමින් ජර්මානුවන් ලෙස කටයුතු කළ අතර පසුකාලයකදී එය මහා ඝාතකයා අල්ලා ගැනීමට පිටිවහලක් වෙතැයි නිකමටවත් සිතුවේ නැත. හර්මන් තම බිරිඳ සහ දියණිය සමග බුවනෝර්ස් අයර්ස් නගරයේ ඔලිවොස් ප‍්‍රදේශයේ පදිංචි වූ අතර දෛවෝපගත ලෙස අයික්මාන් තම බිරිඳ සහ පුතුන් සිව්දෙනා සමග පදිංචිව සිටියේද ඊට කිලෝමීටර් 14 ක් දුරින් වූ සැන් ප‍්‍රනාන්දු නගරයේය.

    හර්මන්ගේ තරුණ දියණිය සිල්වියා අයික්මාන්ගේ වැඩිමහල් පුතු ක්ලාවුස් සමග මිතුරු වූ අතර ඒ සම්බන්ධය මත ක්ලාවුස් නිතර හර්මන්ගේ නිවසට ආ ගිය පුද්ගලයෙක් විය. එසේ ආ ගිය අවස්ථාවන් වලදී ජර්මනියේ යුදෙව්වන් සමූලඝාතනය කිරීමට නාසීන්ට නොහැකිවීම පිළිබඳව ක්ලාවුස් කනගාටුවෙන් කථාකළ අතර තම පියා යුදෙව් සංහාරයේ නියුතු හමුදාවේ ඉහළ නිලධාරියෙක් බවද කියා සිටියේය. කෙසේ වුවද ක්ලාවුස් පෙනී සිටියේ ක්ලේමන්ට් යන වාසගමින් නිසාත් ඔහු තම පියා පිළිබඳව හැඳින්වූයේ් රිකාර්ඩෝ ක්ලේමන්ට් යන නමින් නිසාත් තම සතුරා ළඟම සිටින බව හර්මන් දැනගත්තේ නැත.

    සතුරා මගහැරෙයි

    වසර කිහිපයකට පසු හර්මන් තම පවුල සමග ඔලිවොස් ප‍්‍රදේශය හැරපියා ඊට සැතපුම් 300 පමණ දුරින් පිහිටි කොරොනොල් සුවාරෙස් වෙත පදිංචියට ගිය බැවින් පවුල් දෙක අතර සම්බන්ධය දුරස්ව ගියේය. ඒ අනුව අයික්මාන් නාමය සදහටම සැඟව යෑමට නියමිත වූ නමුත් නැවතත් දෛවෝපගත සිදුවීමකින් සතුරා පිළිබඳ ඉව හර්මන්ට දැනෙන්නට විය.

    1957 වසරේ ජර්මනියේ ෆ‍්‍රෑන්ක්පර්ට්හි පැවති නඩු විභාගයක් අතරතුර යුද අපරාධකරුවෙකු ලෙස අයික්මාන්ගේ නම කරළියට පැමිණි අතර පුවත්පත්වල ඒ පිළිබඳ විස්තර පල විය. නාසි යුද අපරාධකරුවා වෙස් වලාගෙන දකුණු ඇමෙරිකානු රටක වාසය කරන බවට එකී වාර්තාවන්හී සැක පහල කර තිබූ අතර හර්මන්ගේ පවුල තුළද මෙම තොරතුරු සාකච්ඡාවට බඳුන් විය. ඒ අනුව ක්ලාවුස්ගේ පියා වන රිකාර්ඩෝ ක්ලේමන්ට් අයික්මාන් විය හැකි බවට හර්මන්ට සැක පහල වූ අතර ඔහු වහාම මෙම සියලූ තොරතුරු ෆ‍්‍රෑන්ක්පර්ට් අධිකරණ බලධාරීන්ට ලියා දැන්වීමට කටයුතු කළේය.

    මගහැරුන සතුරා සොයා නැවත බුවනෝර්ස් අයර්ස් වෙත

    adolf3හර්මන්ගේ ලිපිය නීතිපති ෆ‍්‍රිට්ස් බවර් අතට පත්වූ අතර තොරතුර පිළිබඳ උනන්දු වූ නීතිපතිවරයා වහාම අයික්මාන් හඳුනාගැනීමට උපකාර වන විස්තරයක් හර්මන් වෙත යවමින් යුද අපරාධකරුවා සොයා ගැනීමට සහාය වන මෙන් ඉල්ලා සිටියේය. අන්ධ හර්මන් වහාම තම දියණියගේ සහායෙන් සැන් ප‍්‍රනාන්දු වෙත ගොස් අයික්මාන් ගේ ලිපිනය සහ හඳුනාගැනීමේ තොරතුරු සහතික කරගත් අතර තහවුරු කරගත් තොරතුරු වහාම නීතිපති බවර් අතට පත් කරන ලදි. අතිශය වැදගත් මෙම තොරතුරු ජර්මන් බලධාරීන් අතට පත්වුවහොත් ඒ බව නොපමාව අයික්මාන්ට දැනගන්නට ලැබෙනු ඇති බවත් ඉන් පසුව ඔහු කවරදාකවත් සොයාගන්නට බැරිවන ලෙසට නැවත සැඟවෙනු ඇති බවත් වටහාගත් බවර් ඓතිහාසික යුතුකමක් ඉටුකරමින් අයික්මාන් රිකාර්ඩෝ ක්ලේමන්ට් නමින් ආර්ජන්ටිනාවේ ජීවත්වන බවට වන අතිශය රහසිගත අගනා තොරතුර ඊශ‍්‍රායලයට ලබාදීමට කටයුතු කළේය.

    ඝාතකයා පැහැර ගැනීම

    ඊශ‍්‍රායලය වෙත ලැබුන සියවසේ අගනාම තොරතුර විය හැකි මෙම තොරතුරට අනුව වහාම ක‍්‍රියාත්මක වූ යුදෙව් රාජ්‍යය මොසාඞ් ඔත්තුකරුවන් 12 දෙනකුට අධික පිරිසක් ආර්ජන්ටිනාව වෙත යවන අතර අයික්මාන් පැහැරගෙන ඊශ‍්‍රායලය කරා රැගෙන ඒම ඔවුන්ගේ කාර්යභාරය විය. ඊශ‍්‍රායලයට අවශ්‍ය නම් පහසුවෙන්ම අයික්මාන් ඝාතනය කිරීමට හැකියාව තිබුණි. එහෙත් ඔවුන්ගේ ප‍්‍රමුඛ අවශ්‍යතාව වූයේ ඔහු ජීවග‍්‍රහයෙන් අල්ලාගෙන ඊශ‍්‍රායලයට රැගෙන විත් ප‍්‍රසිද්ධ නඩු විභාගයක් මගින් දඬුවම් පැමිණවීමයි. එමගින් ලෝකයට පණිවුඩයක් ලබාදීමද ඔවුන්ගේ එක් අපේක්‍ෂාවක් වන්නට ඇත.

    1960 මාර්තු මස ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් වෙත පැමිණෙන මොසාඞ් ඔත්තුකරුවන් කෙටි කලකින්ම අයික්මාන් වටා දැල එලන්නට සමත් වූ අතර අයික්මාන් තම නිවසේ සිය 6 හැවිරිදි පුතු සමග සෙල්ලම් කරමින් සිටින අවස්ථාවලදී ඒ අසලම රැඳී සිටිමින් දුර දක්න මගින් එය නිරීක්‍ෂණය කිරීමට තරම් ඔවුන් සූක්‍ෂම විය. ඒ අනුව 1960 මැයි මස 11 වන දින අයික්මාන් පැහැර ගැනුන අතර ඊශ‍්‍රායලයට රැගෙන යන තෙක් බුවනෝර්ස් අයර්ස් හි පිහිටි මොසාඞ් සංවිධානයට අයත් රහසිගත ආරක්‍ෂිත නිවස්නයක ඔහු රඳවා ගැණිනි. මුලින් තම අනන්‍යතාව පිළිනොගත් නමුත් ඔහු ඉක්මනින්ම තමන් අයික්මාන් බව පිළිගනු ලැබීය. අයික්මාන් අල්ලාගැනීම සඳහා ස්පාඤ්ඤ භාෂාවෙන් ඔහුට කථාකළ පුද්ගලයා ආත්මාරක්‍ෂක සටන් ශූරයෙකු සහ මොසාඞ් ඔත්තුකරුවෙකු වූ පීටර් මල්කින් වන අතර පසු කාලයේදී ප‍්‍රකාශ කර තිබුණේ තමන් ස්පාඤ්ඤ භාෂාවෙන් දැන සිටියේ අයික්මාන්ට කථාකළ වචන තුන පමණක් බවයි. ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේ පැහැර ගැනුන දින තමන් රැක සිටිත්දී අයික්මාන් සුපුරුදු වෙලාවට බසයෙන් නොපැමිණුන බැවින් මෙහෙයුම අත්හැර දැමීමට අදහස් කළ නමුත් ඉරණම වෙනස්කළ නොහැකි බව සනාථ කරමින් සුපුරුදු වේලාවට මිනිත්තු 20 කට පමණ පසු ඔහු වෙනත් බසයකින් පැමිණ බැසගත් බවයි.

    ඊශ‍්‍රායලය වෙත රැගෙන යෑම

    විදේශ භූමියකදී මිනිසෙකු පැහැරගැනීම බලවත් රාජ්‍යතාන්ත‍්‍රික ගැටලූ ඇති කරන්නක් වන බැවින් අයික්මාන් ආර්ජන්ටිනා භූමියෙන් රහසේ රැගෙන යෑමට මොසාඞ් සංවිධානයට අවශ්‍ය විය. ඒ සඳහා සැලසුමක් තිබුන නමුත් බුවනෝර්ස් අයර්ස් ගුවන්තොටුපළේදී කෑ ගසා ආධාර ඉල්ලා සිටීමට ඉඩ ඇති බැවින් වෙස්වලාගෙන රැගෙන යෑම සඳහා අයික්මාන්ගේ කැමැත්තද අත්‍යවශ්‍ය විය. පලිගැනීම සඳහා දරුවන් සහ බිරිඳ ඉලක්ක නොකරන පොරොන්දුව පිට මේ සඳහා අයික්මාන් එකඟ කර ගැනීමට මොසාඞ් නිලධාරීන් සමත්වූ අතර ඒ අනුව පැහැර ගැනීමෙන් දින 10 කට පසු ඊශ‍්‍රායල් ”එල් අල්” ජාත්‍යන්තර ගුවන් සේවයේ ගුවන් සේවිකාවකගේ ඇඳුමින් වෙස් මාරු කරන ලද අයික්මාන් බුවනෝර්ස් අයර්ස් සිට ටෙල් අවිව් බලා පියාසර කළ එල් අල් ගුවන් යානයක් මගින් ඊශ‍්‍රායලයට ගෙන යන ලදි.ඩමැයි 23 වන දින ඊශ‍්‍රායල් අගමැති ඬේවිඞ් බෙන් ගූරියන් අල්ලා ගන්නා ලද නාසි අපරාධ කරුවා ඊශ‍්‍රායලය වෙත ගෙන ආ බවත් ඔහුට එරෙහිව යුද අපරාධ, සමූලඝාතන සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව ප‍්‍රසිද්ධ නඩු විභාගයක් පවත්වනු ඇති බවත් නිවේදනය කළේය. කෙසේ වෙතත් ඊශ‍්‍රායල් අගමැතිවරයා අන්ධ යුදෙව්වෙකුගේ නිර්භීත සහ තීක්‍ෂණ භාවය හේතුවෙන් අයික්මාන් අල්ලාගැනීමට හැකිවූ බව හෙළිදරව් කළේ නැත.

    තම රටේදී මිනිසෙකු පැහැරගෙන යෑම පිළිබඳව ආර්ජන්ටිනාව දැඩි ලෙස විරෝධය පළකළ අතර එය තම රටේ ෙසෙවරීභාවය උල්ලංඝනය කිරීමක් වන හෙයින් වහා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය. පැහැර ගැනීමේ කණ්ඩායම තම රජයේ හමුදා කණ්ඩායමක් නොව සිවිල් යුදෙව්වන් පිරිසක් බවත් ඔවුන් ස්වෙච්ඡාවෙන් මෙම පැහැර ගැනීම කර ඇති බැවින් ආර්ජන්ටිනා නීතිය කඩව ඇති නමුත් ෙසෙවරීභාවය උල්ලංඝනය වීමක් සිදුව නැති බවත් ඊශ‍්‍රායල නියෝජිත ගෝල්ඩා මේයර් කියා සිටින ලද නමුත් ආරක්‍ෂක මණ්ඩලය තීන්දු කරන ලද්දේ ෙසෙවරීභාවය උල්ලංඝනය වී ඇති බැවින් ඊශ‍්‍රායලය විසින් ආර්ජන්ටිනාවට වන්දි ගෙවිය යුතු බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධව රටවල් දෙක පසුව එකඟතාවකට පැමිණුනි.

    නාසි යුධ අපරාධකරුවාට මරණ දඩුවම

    ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය ලොව පුරා ජනතාවගේ සහ මාධ්‍යයන්හී දැඩි අවධානයට ලක්වූ අතර එය දින 56 ක කාලයක් විභාගයට ගැණිනි. නඩු විභාගයේදී අයික්මාන් වරද පිළිනොගත් අතර ඔහු කියා සිටියේ තමන් විසින් සිදුකරන ලද්දේ නියෝග පිළිපැදීම පමණක් බවයි. කෙසේ වෙතත් යුද අපරාධ, සමූලඝාතන සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව වරදකරු කරනු ලැබූ අතර අයික්මාන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් අභියාචනය නිෂ්ප‍්‍රභ කරන ලදි. සමාව ඉල්ලමින් සහ බටහිර ජර්මනියට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීමද ප‍්‍රතික්ෂේප වූ පසුව අයික්මාන් 1962 මැයි 31 වන දින රම්ලා නගරයේ බන්ධනාගාරයකදී එල්ලා මරා දමන ලදි.

    පසුකථාව

    මෙහෙයුමේ වැදගත්ම කොටස වූ අන්ධ ලොතර් හර්මාන්ගේ භූමිකාව 1971 දක්වාම රහසිගතව පැවතුන අතර 1971 දී මොසාඞ් අධ්‍යක්‍ෂ ඊසර් හරේල් එය මාධ්‍යයට හෙළිදරව් කළේය. ඉන් පසුව හර්මන් විසින් අයික්මාන් අල්ලා දීම වෙනුවෙන් වන ත්‍යාග මුදල ඉල්ලා අරගල කළ අතර 1972 ජූලි මාසයේදී ඊශ‍්‍රායල අගමැති ගෝල්ඩා මේයර් ගේ මැදිහත්වීමෙන් අදාළ ත්‍යාග මුදල හර්න් වෙත පිරිනැමුණි.

    සංවිධානාත්මක ඔත්තු සේවාවක වෘත්තීමය නිපුනතාව, හුදෙකලා අන්ධ මිනිසෙකුගේ ධෛර්යය සහ කැපවීම මෙන්ම මිනිසා පසුපස එන අත්හල නොහැකි ඉරණම පිළිබඳ අපූරු විවරණයක් වන මෙම කථා පුවත අළලා සැලකිය යුතු චිත‍්‍රපට ගණනක් නිෂ්පාදනය කෙරී ඇති අතර 2018 නිෂ්පාදනය කළ ”ඔෆරේෂන් ෆිනාලේ”, 2007 නිෂ්පාදනය කළ ”අයික්මාන්”, 1996 නිෂ්පාදනය කළ ”ද මෑන් හූ කැප්චර්ඞ් අයික්මාන්” මෙන්ම 2010 නිෂ්පාදනය කළ අයික්මාන්ගේ අවසානය, ආදරය, ද්‍රෝහිකම සහ මරණය යන වාර්ථා චිත‍්‍රපටයද කැපී පෙනේ.