ඇන්ටොනෙට් ට උඩ පැන පැන තැලීම

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඇන්ටොනෙට් ට උඩ පැන පැන තැලීම

    ‘‘පාන් නැත්තම් කේක් කාපල්ලා‘‘
    ඇන්ටොනෙට් ට උඩ පැන පැන තැලීම!

    පාන් නැත්තම් කේක් කාපල්ලා!
    ලොව ප්‍රකටම ප්‍රකාශයක් කිවහොත් නිවැරදියි.
    මරණයෙන් වන්දි ගෙවූ මාරි ඇන්ටොනෙට් ඇත්තෙන්ම මෙම ප්‍රකාශය සිදුකර ඇත්ද?

    ගතානුගතික වැඩවසම් පාලන සම්ප්‍රදායන්ට එල්ඹ සිටිම නිසා 18 වැනි සියවසේදි ප්‍රංශය දේශපාලනික හා ආර්ථික අර්බුධයන් රැසකට මුහුණ දී තිබිණි. රාජාණ්ඩුව හා රදළයන්ගේ උදර පෝෂණයේ වගකීම පැවරී තිබුනේ අතිමහත් බහුතරයක් වූ දුගී ජනතාව වෙතයි. සියළු වරප්‍රසාද මැද සුඛෝපභෝගි දිවිගෙවන රදළ පරපුර වෙනුවෙන් බදු බර දරමින් මූලික අයිතින්ද අහිමි පීඩිත පන්තිය වෙතට මේසමයේ යුරෝපයේ පැතිර ගිය නිවහල් සිතුවිලි කාන්දුවන්නට විය. ඇමරිකානු නිදහස් අරගලය වෙනුවෙන් අත දිග වියදම් කිරිම නිසා ප්‍රංශ භාණ්ඩාගාරයද දැඩි අර්බුදයකට මුහුණ දි සිටියේය. ආර්ථික අර්බුදයෙන් මිදීමට ප්‍රතිසංස්කරණ හදුන්වාදිමට දැරූ උත්සහයන් අඩාල විය. කුසට අහරක් නොමැතිව තමන් දුක් විදිද්දි තම බත් පත ගසාකන රදළයන්ට එදිරිව ප්‍රංශ ජනයා නැගි සිටියේය.

    ආහාර නැති බවට මොර දෙමින් ජනයා උද්ගෝෂණය කරද්දි එය සවන් වැකුණු එවක 16 වැනි ලුවී රජුගේ බිසව වූ මාරි ඇන්ටොනෙට්, පාන් නැතිනම් කේක් කාපල්ලා (let them eat cake) යැයි පැවසූ බව ප්‍රකටය. මෙම ප්‍රකාශය හේතුවෙන් ඇන්ටොනෙට් බිසව දැඩි අපකීර්තියට පත්වූ අතර පසුකාලීනව ගිලටීනයේ දැවැන්ත තලය ගෙල මත පතිතවිනි.

    කේක් කාපල්ලා (let them eat cake) ලෙසින් යන්න ලෝකය තුල ප්‍රසිද්ධ උවද ප්‍රංශ බසින් කල ප්‍රකාශය වන්නේ, “Qu’ils mangent de la brioche” (බ්‍රියෝෂ් කන්න කියන්න) යන්නයි. බ්‍රියෝෂ් (brioche) යනු කේක් වර්ගයක් නොවේ. යුරෝපා රටවල ජනප්‍රිය ආහාරයක් වන බ්‍රියෝෂ් පාන් වර්ගයකි. ලියුම්කරු ද උදෑසන ආහාරය ලෙස කිරි සමග බ්‍රියෝෂ් නිතර ආහාරයට ගනි. විවිධ හැඩයේ හා විවිධ වර්ගයේ බ්‍රියෝෂ් වෙළදපොලේ ඇත.

    “Qu’ils mangent de la brioche” යන ප්‍රකාශය මුල් වරට හමුවන්නේ, ප්‍රංශ දාර්ශනික ජීන් ජැක් රූසෝ (Jean-Jacques Rousseau) ගේ වෙළුම් කිහිපයකින් යුතු පාපොච්චාරණ (Confessions) නම් ස්වයංචරිතාපදාන සංග්‍රහයෙනි. ක්‍රි.ව 1765/69 සමයේදි ලියැවුණු රූසෝ ගේ පාපොච්චාරණයේ එක් තැනක මෙසේ සදහන් වේ.

    At length I remembered the last resort of a great princess who, when told that the peasants had no bread, replied: "Then let them eat brioches."

    ‘‘great princess‘‘ ලෙසින් රූසෝ කවුරුන් හැදින්වූවාදැයි සදහනක් නැතත් ඇතැම් ඉතිහාසඥයින් මෙය මරි තෙරේස් නම් ප්‍රංශයේ 14 වැනි ලූවි රජුගේ බිසව විය හැකි බවට මතයක් පලකරයි. ක්‍රි.ව 1638 ස්පාඤ්ඤයේ දී තෙරේසා උපත ලදි. මතය සත්‍යයක් නම්, ආසන්න වශයෙන් ඇන්ටොනෙට් බිහිවිමට වසර 100කට පෙර සිදුවීමකි.

    කිසිම විටෙක රූසෝ මෙය ඇන්ටොනට්ගේ ප්‍රකාශයක් බව සදහන් කර නැත. රූසෝ තම පාපෝච්චාරණය ලියු සමය හා ඇන්ටොනට් ගේ වයස සලකා බැලිමේදි මෙය ඇය මුල්කොටගෙන කල ප්‍රකාශයක් යන මතයද බැහැර කල හැක. එවක ඇන්ටොනට් කුමරිය දස හැවිරිදි වියේ (උපත -1755) ඔස්ට්‍රියාවේ දිවිගෙවු අතර ප්‍රංශයට පා තබා නොතිබිණ. ඇය ප්‍රංශයට පා තබන්නේ තවත් සිව්වසරකට පසුව 16වැනි ලූවි හා විවාප්‍රාප්ත වීම සදහාය.

    ඇත්තවශයෙන්ම මෙවැනි ප්‍රකාශයක් මාරි ඇන්ටොනෙට් විසින් කල බවට තහවුරු කල හැකි වාර්තාවක් මෙතෙක් හමුවී නැත.

    ඇන්ටොනෙට් යනු රජගෙදර නම් රන්කූඩුවේ දැමු කිරිල්ලියක යැයි හැදින්වූවාට වරදක් නැත. ලූවි රජුගේ බිසව වුවද ඈ සතුව සත්‍ය ලෙසම පාලන බලයක් රැදුනේ නැත. රට ආගාධයට යද්දි, සේවක සේවිකාවන් පිරිවරා මිල අධික ආභරණයෙන් ඇදුම් ආයිත්තමින් හැඩවී ගෙවන ඇගේ දිවියට විවේචන බොහෝය.

    ප්‍රංශ විප්ලවය යනු ප්‍රභූ පන්තියට එදිරිව නැගුණු අරගලයකි. මූලිකවශයෙන් ඇන්ටොනෙට්, ඔස්ට්‍රියානු ජාතිකයෙක් වීම,කාන්තාවක් වීම හා ප්‍රංශ ප්‍රභූපැලැන්තියේ මුල්පෙලේ සාමාජිකයකු වීම යන හේතුන් නිසා විප්ලවවාදින්ගේ ප්‍රමුඛ ඉලක්කයක් බවට පත්විය. එබැවින් විප්ලවකරුවන් ඇන්ටොනෙට් ට එදිරිව දුර්මත පතුරවන්නට ඇති බව මතයක් පවති.

    උපතේ සිට විපත දක්වා ඇන්ටොනෙට් ගේ දිවිය ගැන ජනගත ව ඇති ඇතැම් මතයන් සත්‍යෙයන් තොරය.

    තව දුරටත්
    මුව හමට තැලීමෙන් ඇති ඵලය කිම!

    - Roshin Fernando

    බ්ලොග් සටහන - https://bit.ly/2MVrK9m