අධම්මික සූත්‍රය
20. මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්ද්රසූර්ය්යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්ද්රසූර්ය්යයන් වැටෙනා කල නක්ෂත්රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්ෂත්රතාරකාරූපයන් ප්‍රවෘත්ත වූ කල රාත්රින්දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්රින්දිවයන් පවත්නා කල මාසාර්ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්රකුපිත වෙත්. දෙවතාවන් ප්රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්වණ ද වෙත්. දුර්වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.
මහණෙනි, යම් කලෙක රජදරුවෝ ධාර්මික වෙත් ද, එසමයෙහි රාජපුරුෂයෝ ද ධාර්මික වෙත්. රාජපුරුෂයන් ධාර්මික වූකල බ්‍රාහ්මණ ගෘහපතීහු ද ධාර්මික වෙත්. බ්‍රාහ්මණ ගෘහපතීන් ධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද ධාර්මික වෙත්. නිගම ජනපද වාසීන් ධාර්මික වූ කල සඳහිරු දෙදෙනා සමව පවතිත්. සම ව සඳ හිරු දෙදෙනා පවත්නා කල නක්ෂත්ර තාරකාරූපයෝ සම ව පවතිත්. සම ව නක්ෂත්ර තාරකා රූපයන් පවත්නා කල දව රෑ සමව පවතී. සම ව දව රෑ පවත්නා කල මසඩමස් සම ව පවතියි. සම ව මසඩමස් පවත්නා කල ඍතු සංවත්සර සම ව පවතී. සම ව ඍතු සංවත්සර පවත්නා කල අවිෂම වූ නිසි මග ගත් වාතයෝ සම ව හමත්. අවිෂම වූ නිසි මග ගත් වාත සම ව හමන කල දෙවතාවෝ ප්රකුපිත නො වෙත්. දෙවතාවන් ප්රකුපිත නො වූ කල වර්ෂා සම්‍යක් ධාරායෙන් වස්නේ ය. වර්ෂා සම්‍යක් ධාරායෙන් වස්නා කල ශස්‍ය ඵලයෝ සමපාකී වෙත්. මහණෙනි, මිනිස්සු සමපාකී ශස්‍ය ඵලයන් වළඳ කරන්නාහු දීර්ඝායුෂ්ක ද වෙති. වර්ණවත් ද වෙති. බලවත් ද වෙති. අල්පාබාධත් වෙති.
54. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා කුටිල ව යේ නම් ඒ නායක ගවයා කුටිලව ගිය කල්හි සෙසු හැම ගවයෝ කුටිල ව යෙත්.
55. එපරිදි ම මිනිසුන් අතුරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ නම් හෙ ම අධර්ම කෙරේ නම් ඉතිරි ප්‍රජාව කැලමය. රජ නො දැහැමි වේ නම් මුළු රට දුඃඛිත වේ.
56. තරණය කරණ ගොනුන් අතුරෙහි පුඞ්ගවයා අකුටිල ව යේ නම් නායකයා ඍජු ව යත් ම ඒ හැම ගවයෝ ඍජුව යෙත්.
57. එපරිදි ම මිනිසුන් කෙරෙහි යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨ සම්මත වේ ද, හෙ ද දහම් පුරා නම්, ඉතිරි ප්‍රජාව කැලම ය. රජ ධාර්මික වේ නම් මුළු රට සුඛිත වෙයි.