වික්ටර් හෙට්ටිගොඩ
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
වික්ටර් හෙට්ටිගොඩ
නැන්දම්මාගෙන් රුපියල් 2500ක් ඉල්ලගත්තා. ඒකත් අරගෙන අඩි 10 * 10 කාමරයක මගේ අතින්ම බෙහෙත් හැදුවා. හදලා කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් කඩේකින් ඉල්ලගෙන බේත් ටික ඒකේ අහුරගත්තා. ඊට පස්සේ එක පෙට්ටියක් තියාගත්තා ඔලුවේ. අනික එල්ලගත්තා එක අතක. පාරක් පාරක් ගානේ ගිහිල්ලා කඩවල්වලට ගොඩවුණා. බස් එකේ ගිහිනුත් විකුණුවා ඒ 1971 දී. ඒ වෙනකොට ලංකාවේ කොහේවත් ආයුර්වේද බාම් එකක් තිබුණේ නෑ. ඒත් යන යන හැම තැනකින්ම මගේ වෙළදාමට කිසිම ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ. හැමෝම වගේ කිව්වේ “ පස්සේ බලමු” කියලා. මේ ලෙසින් ඇරැඹි ඔහුගේ ගමන අද මල්ඵල දරා ඇත්තේ, දේශබන්දු ආයුර්වේද වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ නම් වූ දැවැන්ත ව්‍යාපාරිකයා බවට පත්වීමෙනි.ඉන්දියාවේ හිමාලය ප‍්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවිද්‍යාව හැදෑරූ වකුගඩු රෝග විශේෂඥ හා ජ්‍යෙතිෂඥ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතාට දරුවන් නමදෙනෙකි. ඔවුන්ගෙන් පස්වෙනි දරුවාවූ වික්ටර් හෙට්ටිගොඩ 1937 මාතර කනංකේදි උපත ලැබීය. අපගේ කතානායකයා වන්නේ මේ ධෛර්යවන්ත පුද්ගලයාය.“ මගේ පියා ඉන්දියාවෙන් වෛද්‍ය විද්‍යාවත් ඡ්‍යොතිශාස්ත‍්‍රයක් ඉගෙන ගත්තා. එහේ දී ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන් තමයි මේ “සිද්ධාලේප” නම් වටිනා ඖෂධ වට්ටොරුව ලැබිලා තියන්නේ. 1971 දී මේ වට්ටෝරුව මට ඔප්පුවකින් පවරා දුන්නා. මේක අතේ තියාගෙන මම කාලයක් හිටියා. පස්සේ පුංචි කාමරයක මම ම සිද්ධාලේප හදලා බස් එකේ ගිහින් විකුණන්න ගත්තා. ඒත් කිසිම කඩයකින් මේක ගන්න කැමති වුණේ නෑ. වෙළෙන්දෝ ප‍්‍රතික්ෂේප කළා. සතියකට විතර ඇතිවෙන්න බෙහෙත් හදලා ගමට ගෙනියන්න ගත්තා. නගරේවගේමයි ගමත්. ලයිසන් එකක් ගන්න ඕන ලු, බටහිර වෛද්‍යවරු කියන්නේ ඒ බෙහෙත්වලට බටහිර නිෂ්පාදිත බාම් වර්ග ගන්න කියලා. මේ වගේ දේවල් කියලා බාම්එක ගන්නේ නැතුව ගියා. ටික දෙනෙක් ගත්තාම ආදායම රුපියල් 7ක් 8ක් 10ක් විතර ලැබෙන්න ගත්තා. එක බෝතලයක් ශත 80යි. මීට වඩා ටිකක් විතර සරල ජීවිතයක් ඒ කාලේ තිබුණා. ඒකාලේ දෙවේලක් කන්න රුපියල් 5යි නිදාගන්න බූරු ඇඳක් රුපියල් 5යි. හම්බකරන ගාන ඒවාට ඉවරයි. මම තීරණය කළා දවල්ට නොකා ඉන්න. උදේට පරිප්පුයි පානුයි ප්ලෙන්ටියයි. දවල්ට කන්නේ නෑ. ඊටත් අඩු අහරක් ගන්නවා. රෑට නැවතුනේ පන්සල්වලයි. අඳුරන කඩේක පේමන්ට් එකෙයි නිදා ගත්තේ. එයින් රුපියල් 5ක් විතර ඉතුරුයි.”
තමාගේ අරමුණ කරා යන්නට දුෂ්කරකි‍්‍රයා කළ ඒ අවධිය ගැන ඔහු අද සිටින්නේ කනස්සල්ලකින් නොවේ. ඒ අවධිය ඔහු ඔසවා තබන්නට පදනම සැපයීය. ඒ පදනම ශක්තිමත් කරවන්නට ඔහු විවිධ ප‍්‍රයත්න දැරීය.“ ලංකාව වටේම ඇවිදලත් හරිහමන් වෙළඳාමක් කරගන්න බැරිවුණා. මෙතැනින් පස්සේ මම මගේ නිෂ්පාදනය අලෙවි කිරීම නැවැත්තුවා. කඩේ මුදලාලිගේ අතට සිද්ධාලේප කුප්පියක් දීලා කිව්වා. මේක පාවිච්චි කරලා බලන්න. ඕනම වේදනා කැක්කුයක් සමනය කරන්න හොඳයි කියලා. පාවිච්චිකරලා ගුණාගුණ කියන්න කියලා. මේක උපායක් වශයෙන් කරන්න ගත්තාම සාර්ථක වුණා. ඔවුන්ගේ සුළු ආබාධ සනීප වුණු නිසාම මම ඊළඟට යන අවස්ථාවලදී ඔවුන්ම මට කතා කරලා බඩුගේන්න කියලා කිව්වා. කොහොමත් මගේ හිතේ හොඳ විශ්වාසයක් තිබුණා මේ බෙහෙත් වට්ටෝරුව ගැනත්, සිද්ධාලේප නිෂ්පාදනය ගැනත්. මේ විදියට කරපු දේ ඉතාම සාර්ථක වුණා. දැන් වෙළඳාම තරමක් දුරට සාර්ථකයි. හරියටම 50%ක් විතර සාර්ථකයි. මාස 8ක් 10 ක් විතර පයින්ම ගිහිල්ලා, දවල්ට නොකා ඉදීමේ ප‍්‍රතිපත්තියත් දිගටම කරගෙන ගියා.ටිකෙන් ටික කඩවල්වලින් බඩු ඉල්ලුම වැඩිවුණා. දැන් කොහොමවත් මේක තනියම නම් කරගෙන යන්න බෑ. ගෝලයෙකුත් එකතු කරගත්තා. දෙන්නා බස්එකේ දෙපැත්තෙන් නැගලා කරගෙන ගිය වෙළඳාම තරමක් සරුවේගන ආවා. රුපියල් 5000ක් විතර හොඳ වෙළෙදාමක් කරගෙන ගියත් ගෝලයා නිතරම කියන්න ගත්තා කඩවලින් සල්ලි එන්න තියනවා. රුපියල් 1000ක් විතර එක කඩේකින්. මේ වගේ කිව්වත්, මම කිව්වා මම ම ඒ කඩවලින් ඉල්ලා ගන්නම්. ඒ තැන්වල නම් කියන්න කියලා. ඒත් බොරු නම් වගයක් දීලා අන්තිමේදී රුපියල් 5500ක් විතර අරගෙන මිනිහා පැනලා ගියා. කරගෙන ගිය වෙළඳාම එතනම ඇදවැටුණා. ඒත් මම නැවතුනේ නෑ. ආයෙමත් වෙළඳාම් කරා. සල්ලි ටිකක් ඉතුරු කරගෙන කබල් හිල්මන් වාහනයක් ගත්තා. ටික කාලෙකින් හම්බකරන ගාන ඒකටම වියදම් වෙන්න ගත්තා. ඒ නිසාම ඒක විකුණලා අලුතින් වාහනයක් ගෙන්න ගත්තා පිටරටින්. ඩෙලිකා වාහනේට රුපියල් 35,000ට වැඩියෙනුත් වියදම් වුණා. ඒකෙන් රටපුරාම ගිහින් සේවකයෝ තුන්දෙනෙක් එක්ක වෙළඳාම කරගෙන ගියා. සිද්ධාලේපයට පස්සේ තවත් නිෂ්පාදනයකට මාරු වුණා. ඒ සුපිරිවිකි දත් බෙහෙත් හා විශාකා සබන්. ඒවාත් හොඳින් අලෙවි වුණා. එහෙම ගිහින් අද මගේ ළඟ සේවකයෝ 2200කට වඩා ඉන්නවා. වාහන 225 පමණ බෙදාහැරීම් සඳහා යොදා ගන්නවා. ලංකාව පුරාම විතරක් නෙවෙයි අද ඉන්දියාවේ, ජර්මනිය, චීනය වගේ රටවල් කීපයකමත් සිද්ධාලේප නිෂ්පාදන බෙදා හරිනවා.
1996 දී ශී‍්‍ර ලංකා කර්මාන්ත ක්‍ෂේත‍්‍රයට කළ සේවයට ගරු කිරීම හේතුවෙන් ‘විශ්ව ප‍්‍රසාදිනි’ ගෞරව නාමයත් හිමි කරගත්තා.වසර 200 කටත් වඩා පැරණි ‘සිද්ධාලේප’ ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනයෙන් කම්කටොලු සියල්ල ජයගෙන අද ඉතාම සාර්ථක තත්වයක සිටිනා දේශබන්‍ධු වික්ටර් හෙට්ටිගොඩ මහතා දෙපයේ වීරියෙන් සිතේ ධෛර්යයෙන් ගෙනගිය මේ ව්‍යාපාරය අද නිෂ්පාදිතයන් 96කින් සමන්විතය.ඒ සඳහා තමා අවට අද සිටින සේවක පිරිස් ගැන ඔහු අප සමඟ පවසා සිටියේ මෙසේය.‘ මට පළමුවෙන්ම හිටපු සේවකයා මාව දාලා මුදල් වංචා කරලා පලා ගියා. අද මගේ යටතේ සේවකයෝ 2000කට වැඩි පිරිසක් සේවය කරනවා. ඔවුන් අපට ලබාදෙන සේවයට පඩිනඩි ගෙවා නිදහස් වීම විතරක්ම සෑහෙන්නේ නෑ. මගේ අත්දැකීම් එක්ක බැලුවාම මම හොඳටම දන්නවා ඔවුන්ටත් අපට වගේම අවශ්‍යතා තිබෙනවා. කසාදයක් බදින්න. ගෙයක් දොරක් හදාගන්න, අසනීපයක් ඇති වුණාම සල්ලි හදිසි ඕනතරම් ඇති වෙනවා. අපි අනිවාර්ය ගානක් පඩියෙන් ඉතුරු කරන්න ඕන. ඒවගේම රක්‍ෂණාවරණයක් හැමෝටම තිබෙනවා. සෑම සේවකයෙකුටම අවශ්‍ය වෛද්‍ය පරීක්‍ෂණ, දිවා ආහාරය වැනිදේ සඳහා අවශ්‍ය අවම අයකිරීමක් තුළින් සහන ලබාදෙනවා. අවශ්‍යතා මත පමණක් ණය පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතුත් කර දෙනවා. මේ නිසා අපි සේවකයාට කරන උපරිම සැලකීම තුළින් හොඳ නිෂ්පාදන පිරිවැයක් ලබනවා. ඒ තුළින් අද ලාංකීක අනන්‍යතාවක් ඇතිව ලෝකයට පිවිසිලා සිටිනවා. ලෝකය ඉදිරියේ දී නම් අපට අභියෝග රැසක් තිබෙනවා. අපට අවශ්‍ය වෙන්නේ ලෝකයට යන්න. නිකම්ම නෙමෙයි. අපේ අනන්‍යතාවක් සහිත අපේ රටේ දූදරුවන් අතින් නිපැයුණු දේ ගෙනයලා ලෝක වෙළඳපළේ තැනක් ගන්න. නමුත් අපි තාමත් ඉන්නේ දුප්පත් රටක. ඒ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය මාර්ග අපට ලබාදෙන්න පුළුවන් නම් මේ විදියට ආපු ගමන්මග තවදුරටත් ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙනවා. ඕනෑම තැනකට යන්න අවශ්‍ය පදනම ශක්තිමත් කරගන්නට කැපවීම අවශ්‍යයි. ඒ සඳහා වික්ටර් හෙට්ටිගොඩ තම ධනය , ශ‍්‍රමය, කාලය වැය කළේ අතිදුෂ්කර ජීවිතයක් ගත කරමිනි. දුෂ්කර ගමන් මං ඔස්සේ ධනවත් බවේත් වාසනාවේත් හිනිපෙත්තට ළඟා වූ ඔහු අද පහත නිම්නය දෙස බලන්නේ පහන් වූ හැඟීීමකිනි. ඒ හිණි පෙළේ සෑම පියවරකම ඔහුගේ ධෛර්යය හා කැපවීම ලියවාගෙන තිබෙන බව අද ඔහු දකි.
ප‍්‍රමිතා රන්දලී පබසරාප