රාවණා රජතුමා දිය නෑමට යොදා ගත් බවට මතයක් පවතින නිසාම රාවණා දිය ඇල්ල නමින් හැඳින්වෙන දිය දහර ගලා බසින කඳු යායේ මෙම නිල්දිය පොකුණ පිහිටා තිබේ. ගුප්තබවක් සමඟම සුන්දරත්වයකින් ද හෙබි නිල් දිය පොකුණ නැරඹීම සඳහා බණ්ඩාරවෙල ඇල්ල හරහා වැල්ලවාය මාර්ගයේ යා යුතුය. කරඳගොල්ල පාසල ආසන්නයේ කිලෝමීටර් 10 කණුව අසලින් අඹවතුයාය පටු මාර්ගය ඔස්සේ කිලෝමීටර් දෙකහමාරක පමණ දුරක් කඳු යායේ ඉහළට ගොස් කැලෑවට ඇතුළු විය යුත්තේ අඩි පාරකිනි. කඳ යායේ බෑවුම දිගේ එම අඩි පාරේ කෙටි දුරක් ගිය පසු ගුහාවට ඇති පිවිසුම් මාර්ගය ගල් පර්වත දෙකක් අතරින් වැටි තිබෙනු අයුරු දක්නට ලැබේ. එය මිහිපිට සිට භුගතව පිහිටා ඇති අලංකෘත නිර්මාණයකි.
පොකුණට ජලය ගලා එන හෝ පිරී ඉතිරී ගලා යන අයුරු ද දකින්නට නොමැතිවිම පුදුම සහගතය. ජලයේ මඩ මිශ්‍ර බවක් දක්නට නැත. එහෙත් පොකුණේදී නිල්පාටින් වර්ණ ගැන්වි පෙනෙන ජලය ගුහාවෙන් පිටතට රැගෙන විත් බලන විට වර්ණය අතුරුදන්ව ඉතාමත්ම පිරිසුදු ජලය ලෙසින් දිස්විම අදහාගත නොහැකිය.
කෙසේ වෙතත් මෙම නිල් දිය පොකුණ දැක බලා ගැනීමට යන පිරිස් මෙම අනතුරුදායක භූගත ගමන් මාර්ගයේ යෑමට පළපුරුදු මඟපෙන්වන්නකුගේ සහාය නිතැතින්ම සපයා ගැනීම එක අතකින් ජිවිත ආරක්ෂා කර ගැනීමට උපකාරි වනු ඇත.
source: https://hiitravellers.com
