බොහෝ දෙනා ඔහු ඇමතුවේ “අපේ යුව රජතුමා” කියා ය. “මහ නිලමේ” කියා ඔහු ඇමතුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ය. ඔහු සුදු අසෙකු පිට නැගී ගමන් කරනවිට “අන්න අපේ රජ්ජුරුවෝ වඩිනවා” යයි කීමට තරම් කන්ද උඩරට සහ සබරගමු ජනතාව පෙළැඹී සිටිය හ. රාජ නියෝගයන්ට පවා සමහර අවස්ථාවල හිස නො නැමූ මොහු, විටෙක කටයුතු කළේ, සිංහලයේ කිරුළ නො පලන් රජු ලෙස ය. එකල සර්ව සාධාරණ යයි කියාගත්, බ්‍රිතාන්‍ය පාලකයන්ට නම් මොහු “බ්‍රිතාන්‍ය රජයේ මිත්‍රයා” ය.
මීගස්තැන්නේ අදිකාරම්වරයා සිය දිවි නසා ගැනීමෙන් පසු, 1806 දී දෙවැනි අදිකාරම් ධූරයට පත්කරන ලද ඇහැළේපොළ නිලමේ, කලක් මහරජතුමාගේ හිතවත් කුළුපගුම මිතුරා මෙන්ම විශ්වාසනීය රාජපාක්‍ෂිකයා ද විය. පසු කලෙක මේ මහනිලමේ රාජ ද්‍රෝහියකු ලෙස නම් කළේ ද මහරජ තුමාම ය. එහි අවසන් ප්‍රතිඵලය කොතෙක් දරුණු වීද යත්, මහනිලමේගේ බිරිඳ සහ දරු සිව්දෙනා ඇතුළු සමීප ඥාතීන් සියලු දෙනාම, ඉතාමත් කෘර ලෙස ඝාතනය කිරීමට රජතුමා නියෝග කළේය. (මේ සම්බන්ධයෙන් මත කිහිපයක් ඇත.) එපමණක් ද නොව, ඇහැළේපොළ නාමය නිසා, කන්ද උඩරට ඇති සියලුම ඇහැළ ගස් කපා විනාශ කරන ලෙසටත් නියෝගයක් නිකුත් කිරීමට තරම් රජතුමා සැහැසි විය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උදහසට ලක්වීම නිසා ජීවිතාරක්‍ෂාව පතා රජතුමා ගෙන් බේරි පලා ගොස් ඉංග්‍රීසීන්ට එකතු වූ, ඇහැළේපොළ මහ අදිකාරම්වරයාට අවසානයේ සිදුවූයේ, කබලෙන් ළිපට වැටීමට ය. ඉංග්‍රීසීන්ගේ ද සැකයට ගොදුරු වූ, සිංහලයේ කිරුළ නො පලන් රජතුමා ඔවුන්ගේ සිරකරුවකු බවට පත් වූවා පමණක් නොව, තමන් උපන් මව්බිමෙන් පිටුවහල් කිරීමට තරම් දෛවයේ සරදමකට ලක් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට මෙන්ම, කන්ද උඩරට නිල නොලත් මේ රජ්ජුරුවන්ට මියයන්නට සිදු වූයේ එකම ආකාරයට ය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මියගියේ, තමන් රජ කළ භූමියෙන් පිට ඉන්දියාවේ, වෙල්ලෝරයේ දී ය. ඇහැළේපොළ මහ අදිකාරම මියගියේ ද, තමන් උපන් මව්භූමිය වූ ලක්බිමෙන් සැතපුම් දෙදහස් පන්සියයක් (කිලෝමීටර් හාර දහසක්) පමණ දුරින් වූ, හිරු නොබසින අධිරාජ්‍යයාගේ යටත් විජිතයක් වූ මුරුසිය නම් දිවයිනේ දී ය.
අභිධානයන් සමග එතුමාගේ සම්පූර්ණ නාමය, ඇහැළේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්‍ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසල රනමුක පණ්ඩිත මුදියන්සේ ය. ඔහු එකල මෙරට නීත්‍යානුකූල දෙවැනි පුරවැසියා ය. පළමු පුරවැසියා වූයේ, ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජතුමා ය. ඇහැළේපොළ මහාදිකාරම් තුමා, කෙනෙකුට සිංහලයේ වීරවරයෙකි. තවත් අයෙකුට කන්ද උඩරට රජකම බලාපොරොත්තුවෙන්, ජාතිය හා දේශය පාවා දුන් ද්‍රෝහියෙකි. කපටියෙකි. ආත්මාර්ථකාමියෙකි. කෙසේ වුවද තම අභිප්‍රායන් සපලකර ගැනීම් වස්, 1815 දී මෙරට ඉංග්‍රීසීන්ට යටත්කර ගැනීමට උඩ ගෙඩි දුන් ඇහැළේපොළ මහ නිලමේට රට පාවා දීමේ චෝදනාවෙන් නම් නිදහස් වීමට නොහැකි ය.
■ ගැටුම් ඇතිවීම
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ ඇහැළේපොළ අදිකාරම අතර පළමුවෙන්ම ගැටුමක් ආරම්භ වූයේ, ඇහැළේපොළ, මහවාසල පණිවිඩ කරන නිලමේ තනතුර හොබවන අවදියේ ය. අලුත්ගම බිසෝමැණිකා හෙවත් “අලුත්ගම දුක්ගන්නා උන්නාන්සේ” නැමති, රජතුමාගේ යකඩ දෝළියක සමග ඇහැළේපොළ නිලමේ පවත්වා ගෙන ගිය අනියම් සබඳතාවය රජතුමාගේ අතටම අසුවීමෙන් අනතුරුව ය. ඇය නව යෞවනයේ පසු වූ රුවැත්තියෙකි. මේ සිද්ධියෙන් කෝපයට පත් රජතුමා, අදිකාරම්වරයාට කස පහර හතක් තැළීමට නියෝග කළේය. රාජ නියෝගයට අනුව තමන්ට දඬුවම් කිරීමට පැමිණි රජවාසල කටුපුල්ලේ රාලලාට පෙරළා පහර දුන්නේ, රාජ නියෝගය ද නොතකා හරිමින් ය. මෙම පහරදීම, තමන්ට ඇහැළේපොළ විසින් එල්ල කළ බරපතළ තර්ජනයක් බව රජතුමාට ඒත්තු ගියේය. එහෙත් මෙයට එක්වරම එකට එක කිරීම සුදුසු නොවන අතර, යම් පළිගැනීමක් සිදුකරන්නේ නම් එය කළ යුත්තේ හිමින් සීරුවේ බවත් රජතුමා වටහා ගත්තේ ය.
රජතුමා මරා දැමීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත, මහ නඩුවේ විනිශ්චයට අනුව, රාජ නියෝගයෙන් පිළිමතලව්වේ මහාදිකාරම ක්‍රි:ව:1811 දී හිස ගසා ඝාතනය කිරීමෙන් පසු, මහ අදිකාරම් තනතුර පුරප්පාඩු විය. මහාදිකාරම් සහ සබරගමුව පළාත භාර මහ නිලමේ තනතුරුවලට තමන් පත්කරනු ඇතැයි මොල්ලිගොඩ නිලමේ බලාපොරොත්තු විය. එහෙත් රජතුමා එම තනතුරුවලට පත් කළේ ඇහැළේපොළ අදිකාරම ය.
රජතුමා මෙම තනතුරට තමන් තෝරා ගැනීම ගැන ඇහැළේපොළ නිලමේ ද පුදුමයට පත් විය. සිය මාමණ්ඩිය වූ පිළිමතලව්වේ සමග රජතුමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ කිහිපදෙනා ගෙන් තමන් ද එක් අයකු බව රජතුමා හොඳින්ම දැන තිබිය දීත්, නව පත්වීම ඔහුට ද ගැටලුවක් විය. ඔහුට පමණක් නොව රාජ සභාවේ අනෙකුත් නිලමක්කාරයන්ට ද මෙය ගැටලුවක් වූ අතර, තනතුර තමන්ට ලැබේ යයි සිහින මවමින් සිටි මොල්ලිගොඩ නිලමේ, ඇහැළේපොළට වෛර බැන්දේ ය. ඉන්පසු ඇහැළේපොළට සහ මොල්ලිගොඩට පක්‍ෂව රාජසභාව මෙන්ම ජනතාව ද කොටස් දෙකකට බෙදුණ අතර, රජතුමා මෙම බෙදීම වර්ධනය කිරීමට හෙමින් සීරුවේ, කාටත් නො දැනෙන සේ, කටයුතු කළේ ය.
මෙම පත්වීම මොල්ලිගොඩ සහ ඇහැළේපොළ අතර සීතල යුද්ධයකට ද හේතුකාරක විය. ඥාතිත්වයෙන් ඇහැළේපොළ මහාදිකාරම්, මොල්ලිගොඩ නිලමේගේ මස්සිනා කෙනෙකි. බල ලෝභය හා නිලතල හමුවේ කන්ද උඩරට රාජ්‍යයේ සිංහල අදිකාරම්වරු හා වෙනත් නිලමක්කාරයන් එකිනෙකා අතර පැවතුණේ සීතල යුද්ධය කි. ඇහැළේපොළ සහ මොල්ලිගොඩ සමීප ඥතීන් වුවත්, ඔවුන් අතර පැවතියේ ද මෙවැනිම තත්ත්වයකි. මේ නිසාම මහාදිකාරම් තනතුර ඇහැළේපොළ පත් කිරීමෙන් රජතුමා සිදු කළේ, ඔවුන් දෙදෙනා අතර පවතින භේදයට හිමින් සීරුවේ ගිනි දැල්වීම ය. රජතුමා එයින් කළේ, මෙම හේතුවෙන් තමන්ගේ ක්‍රියාකාරකම් සහ පැවැත්මට කිසිදු ගැටුම්කාරිත්ත්වයකින් තොරව ඉදිරියටම ගෙන යාම අරමුණු කර ගෙන ය.
