මිනිසා බිහිවුනේ චිම්පන්සියකු සහ ඌරෙකු එක්වීමෙන්
මිනිස් වර්ගයා පරිණාමය වූයේ පිරිමි ඌරෙකු සහ ගැහැණු චිම්පන්සියෙකු ලිංගිකව එක්වීමෙන් බිහිවූ දෙමුහුම් සත්වයකු හරහා බව පවසමින් ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥ ඉයුජින් මැකාර්ති විසින් නව මතයක් ඉදිරිපත් කර තිබේ.
ඔහු සත්ව දෙමුහුම්කරණය පිළිබඳ ලොව ප්‍රමුඛතම විද්‍යාඥයකු ලෙසද සැලකේ. ඔහු පවසන්නේ මිනිසාට ආසන්නතම පරිණාමීය සත්වයා ලෙස සැලකෙන චිම්පන්සියා සතු ලක්ෂණ මිනිසා සතු වුවද මිනිසා සතු ඇතැම් ලක්ෂණ චිම්පන්සියා සතු නොවන බවයි.
ලොම් රහිත සම, සම යට පවතින ඝන මේද ස්ථරය, වර්ණවත් ඇස්, නෙරා ඇති නාසය සහ ඝන ඇසි පිය ආදී ලක්ෂණ චිම්පන්සියා හරහා නොපැමිණ ඇති බව දක්වන මැකාර්ති පවසන්නේ එම ලක්ෂණ මග හැර යා නොහැකි ලෙසම සස් ස්ක්රෝෆා හෙවත් සාමාන්‍ය ඌරන් වෙතින් පැවත එන බවයි. මිනිසුන් සහ ඌරන් අතර සම සහ ඉන්ද්‍රියන් වලද සමානත්වයන් ඇති බවත් මේ වන විටත් ඌරන්ගේ චර්ම පටක සහ හෘද කපාට සැත්කම් වලදී බද්ධ කරන බවත් ඔහුගේ අදහසයි.
ඌරු-චිම්පන්සි දෙමුහුම්කරණයෙන් බිහිවූ සත්වයා පරම්පරා ගණනාවක් ගතවන තුරු යළි යළිත් චිම්පන්සින් සමග එක්වෙමින් නව විශේෂ බිහිකරන්නට ඇති බවත් අවසානයේදී ඒ දෙමුහුම්කරණයෙන් පැවත එන සත්ව විශේෂය අතර ප්‍රජනන ක්‍රියාවලිය සිදුවන්නට ඇති බවත් ඉයුජින් මැකාර්තිගේ මතයෙන් දැක්වේ.
සාම්ප්‍රදායික පරිණාමීය ජෛවවිද්‍යාඥයන් සහ මැවුම්වාදී ආගමික ධාරා වෙතින් මේ මතය වෙත දැඩි විවේචන එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රෝටීන වර්ග වල වෙනස්කම් නිසා ඌරු ශුක්‍රාණු සහ චිම්පන්සි ඩිම්බ සංසේචනය වීම සිදු නොවනු ඇති බව ඊට එරෙහිව ඉදිරිපත්වූ මතයක දැක්වේ. කෙසේවෙතත් මැකාර්ති පවසන්නේ මේ මගින් ඩාවිනියානු පරිණාමවාදය හරහා පැහැදිලි කළ නොහැකි ඇතැම් සංසිද්ධි පැහැදිලි කළ හැකි වන බවයි.
මිනිසා දෙමුහුම්කරණයෙන් බිහිවූ සත්වයෙකු යන හැ`ගීම පිළිබඳව තමන්ටද පිළිකුලක් ජනනය වූ නමුත් මැකියාවෙල්ලි වාදීන් විශ්වාස කරන පරිදි යහපත් ප්‍රතිඵලයක් වෙනුවෙන් අයහපත් දෙයක් සිදුවූවාට කම් නැති බව තමන් සිතන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.