හති වැටෙන තුරු ඇවිද්දෙමු අපි
ඒ ලෙවල් ගොඩ දමා ගන්නට
දෑස් රතුවී කඳුළු එන තෙක්
රෑ පුරා නිදි වරා ගත්තට
ඒ තුනක් නොව එස් තුනක් හෝ
ගන්න සිතුවේ මගේ නංගිට
ඉගෙන ගන්නට කාසි සොයනට
ඉක්මනින් ජොබ් එකක් ගන්නට
ඈත පායන සඳට යන්නට
රොකට් නොව පා පැදියෙ යන්නට
පෙරුම් පිරුවා තවත් මතකයි
මගේ ප්‍රතිඵල සොයා ගන්නට
ගෙදර අගහිඟ දැනෙන හැමවිට
හිතින් හැඬුවා අතේ බත්මිට
නොකා මගෙ මුව තබා කොට්ටෙට
දිනක් නොව සියවසක් අත් යට
නැගුනු අප්පච්චිගේ කරගැට
දිනෙක සුරතින් පිරිමදින්නට
සිතාගෙන මග බලා සිටියට
සිරව ඇත ප්‍රතිඵලේ පෑනට
නොහැක එය තව බලා ගන්නට
නොතිබුනත් අපෙ ගෙදර අතමිට
සරුව මට ටියුශනුත් යන්නට
සතුටු වෙමි එක පොතක් ගන්නට
සෙව්ව රුපියල ඉතිරි වූවට
ඉතින් තව බෑ දින ගනින්නට
අපට බෑ හඳ අල්ලගන්නට
සසර අපි කළ කරුමයන් හෙට
දිනේදීවත් ගෙවාගන්නට
හැකිද මන්දා මගේ දෑතට
සිතා අප්පච්චිගේ කරගැට
මකා තබනෙමි අත උදැල්ලට...
-හසිත ශාලික නොහොත් කොස්තාපල්-





