ඔබටත් දියවැඩියාව තියෙනවාද..?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඔබටත් දියවැඩියාව තියෙනවාද..?

    දියවැඩියාව ගැන මේ දවස්වල ත්‍රෙඩ් එකක් යන නිසා මම දැකපු හොද විස්තරයක් කොපි කරල මෙතන දානවා.මම මේක දාන්න හැදුවෙ ඒ ත්‍රෙඩ් එකේමයි ඒත් දිග වැඩියිලු.ඒකයි අලුත් ත්‍රෙඩ් එකක් දැම්මෙ.ඒකත් කොටස් දෙකකට දාන්න උනා.දිය වැඩියාව තියෙන අයට මේ ටික ප්‍රින්ට් කරල දෙන්න පුලුවන්නම් වටිනවා.රෝගය ගැන දැනුවත් විම ගොඩක් වැදගත්


    දියවැඩියාව

    ශරීරයේ ඉන්සියුලීන් අඩුවිට හෝ ඉන්සියුලීන් නිපදවන්නේ නැතිවිට ඇතිවන රෝගයට දියවැඩියාව යැයි කියයි. දියවැඩියාව ඉතා බරපතල රෝගයකි. ලෝකයේ වයස සීමාවකින් තොරව, ළදරුවන්ගේ සිට මහලු අය දක්වා මිලියන 100ට වඩා අධික ජනතාවක් දියවැඩියාවෙන් පෙලේ. තවත් මිනිසුන් මිලියනයකට පමණ දියවැඩියාව ඇති මුත් එය හඳුනාගෙන නොමැත. දියවැඩියාවේ මුල් අවධියේදීම එය හඳුනාගෙන එයට ප්‍රතිකාර ගැනීමෙන් ඇතිවිය හැකි භයානක සංකූලතා (complications) අවම කර ගත හැක. දියවැඩියාව තනි රෝගයක් ලෙස බොහෝ දෙනා සිතුවත් එය ශරීරයේ දුබලතා වල එකතුවකි. මෙහිදි ප්‍රධානතම ගැටලුව ඇති වන්නේ, ඉන්සියුලීන් හෝමෝනය නිසිලෙස නිෂ්පාදනය නොවීම හා ඉන්සියුලීන් හරිහැටි ක්‍රියා නොකිරීම නිසයි. ඉන්සියුලීන් නැමැති හෝමෝනය අපට අවශ්‍යය වන්නේ එදිනෙදා ජීවිතයට අවශ්‍යය ශක්තිය, සීනි, පිෂ්ඨය හා අනිකුත් ආහාර වලින් ලබාගැනීමටයි.
    දියවැඩියාව ඇතිවන්නේ ඇයි?

    තවමත් දියවැඩියාව ඇතිවීමේ හේතුව අභිරහසක්ව පවතී. එනමුත් ජානමය හා පාරිසරික හේතු (තරබාරුකම, මද ව්‍යායාම) දියවැඩියාව ඇතිවීමට බලපාන බව පෙන්නුම් කරයි.

    දියවැඩියා වර්ග

    බහුලව දැකිය හැකි දියවැඩියා වර්ග වන්නේ දියවැඩියා වර්ග-1 හා දියවැඩියා වර්ග-2 වේ.

    දියවැඩියා වර්ග-1: මෙය ඇති වන්නේ ශරීරයට ඉන්සියුලින් සෑදීමට අපහසු වු විටයි.

    දියවැඩියා වර්ග -2: මෙය ඇති වන්නේ ශරීරයේ නිපදවන ඉන්සියුලින් වල භාවිතය අඩපණ වු විටයි.

    දියවැඩියා වර්ග 1

    මෙය, දියවැඩියා රෝග ආකාර වලින් වඩාත් දරුණු වර්ගයවේ. මෙම රෝගින් තම රෝගය පාලනය කරගන්නේ ඉන්සියුලින් එන්නත් මඟිනි. මෙහිදි ඉන්සියුලින් මඟින් ග්ලුකෝස් පරිවෘත්තිය (Metobo lism) හසුරුවා ගනී.
    අතීතයේදී දියවැඩියා වර්ග-1 ළමුන්ට පමණක් සෑදෙන රෝගයක් ලෙස සිතූ නමුත් දැන් මෙය ඕනෑම වයස් කාණ්ඩයකට වැළඳිය හැකිබව සොයා ගෙන ඇත. දියවැඩියාව වර්ග-1, ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවන ක්‍රියාව අඩපන වීම නිසයි. (ඉන්සියුලීන් හෝමෝනය මගින් දේහ සෛලවලට අවශ්‍යය සීනි නිපදවීම පාලනය කරයි.)
    දියවැඩියාව වර්ග-1 රෝගීන් භයානක කෙටි කාලීන සංකූලතා වලට භාජනය වීමට වැඩි ප්‍රවණතාවයක් දක්වයි. මෙය සිදුවන්නේ රුධිරයේ සීනි මට්ටම ක්ෂනිකව ඉහල පහල යෑම නිසයි. මෙම මට්ටම අධික සීනි මට්ටමකට (Hyperglycemia) හා අල්ප සීනි මට්ටමකට (Hypoglycemia) දක්වා වෙනස් විය හැක. මොවුනට ඇතිවන තවත් භයානක අවදානමක් වන්නේ ශරීරයේ අහිතකර විෂ අම්ල එකතු වීමයි.

    රෝගයට හේතු

    දියවැඩියාව වර්ග-1 ස්වයං-ප්‍රතිශක්ති (autoimmune) රෝගයකි. මෙම රෝගී තත්වය ඇති වන්නේ ජානවල ක්‍රියාකාරිත්වය නිසාය. මෙහිදී ප්‍රතිශක්තීකරණ පද්ධතිය තම ශරීරය කෙරෙහිම හානි පමුණුවා ගැනීමක් සිදුකරයි.
    බීටා සෛල, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඉතා සෙමෙන් විනාශකරනු ලබයි. අවසානයේ බීටා සෛල නොමැතිවීම නිසා ඉන්සියුලීන් නිපදවීම ඇනහිටී. මෙම තත්වය දියවැඩියාව වර්ග-1 ලෙස හැඳින්වේ. කුමන හේතුවක් නිසා ප්‍රතිශක්තීකරන පද්ධතිය බීටා සෛල විනාශ කිරීමට යොමුවන්නේදැයි තවමත් විද්‍යාඥයින්ට ප්‍රශ්නයක්ව පවතී. එනමුත් මෙයට ජාන හා සම්බන්ධතාවයක් ඇතැයි නිරීෂණය කර ඇත.
    බීටා සෛල වල විනාශවීම නොදැනීම අවුරුදු ගනනක් (අවුරැදු 4-7) තිස්සේ සිදුවේ. මේ පිළිබඳව අපට දැනගැනීමට හැකිවන්නේ 80%-90% දක්වා බීටා සෛල විනාශ වූ පසුවයි. මේ අවස්ථාවේ ක්ෂනිකව පුදුමාකාර ලෙස රෝග ලක්ෂණ මතුවේ. මෙම අවස්ථාවේ ඉතා ඉක්මනින් රෝගය හඳුනාගෙන එයට ප්‍රතිකාරගත යුතුය.
    රෝග ලක්ෂණ

    සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගනනක් මුත්‍රා පිටකිරීම
    අඛණ්ඩව ඇතිවන පිපාසය හා බඩගින්න
    බර අඩුවීම
    විඩාව
    පෙනීමේ දුර්වලතා
    නැවත නැවත ඇතිවන සමේ රෝග
    රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම හා මුත්‍රාවල සීනි තිබීම
    අග්න්‍යයාසයේ බීටා සෛල කෝටියක් පමණ ඇත. රුධිරයේ සීනිමට්ටම ඉහල යන විට මෙම බීටා සෛල මගින් ඉන්සියුලීන් හෝමෝන රුධිරයට ස්‍රාවය වී රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.

    පුර්ව දියවැඩියාව ඔබ හඳුනාගන්නේ කෙසේද?

    මෙය බහුලවම පවතින දියවැඩියා වර්ගයයි. දියවැඩියා රෝගීන්ගෙන් 80% සිට 90% කට පමණ ඇත්තේ මෙම දියවැඩියා වර්ගයයි. මෙම පුද්ගලයන් අතරින් පස්දෙනෙකුගෙන් හතර දෙනෙකු පමණ තරබාරු අයවන අතර අනික් අය අතරින් බොහෝදෙනෙක් දියවැඩියාව වැලඳීමට පෙර තරබාරුව සිටි අයයි.

    මෙය පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන රෝගයකි. දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් මෙම රෝගයෙන් පෙලෙන්නේනම් තමාටද මෙය සෑදීමට ඇති අවදානම වැඩිය. ඔබ තරබාරුනම් හෝ ක්‍රියාශීලී නොවන ජීවිකාවක් ගෙන යන්නෙකුනම් මෙම අවදානම තවත් වැඩිය.

    මෙය බොහෝ විට වයස අවුරුදු හතලිහට වැඩි අයට වැලඳෙන අතර ඕනෑම වයසකදී වැලඳීමේ හැකියාව ඇත. එනමුත් දියවැඩියාව වර්ග-2 ළමුන් අතරද ඇතිබව වාර්තා වී ඇත.

    ඔබ අධිකලෙස පිෂ්ඨය හෝ සීනි අඩංගු ආහාර, මේද අධික ආහාර හෝ කොලෙස්ටරෝල් අධික ආහාර ගන්නෙකුනම් ඒ ගැන දෙවරක් සිතන්න. රුධිරයේ අඩංගු ග්ලූකෝස් දේහයේ සෛල තුලට ඇතුල්වීම ඉන්සියුලීන් මගින් පාලනය කරයි. ඉහතකී ආහාර රුධිර ගතවු පසු එමගින් ඉන්සියුලීන් වල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිකරයි. මේ නිසා අග්න්‍යාශය වැඩි වැඩියෙන් ඉන්සියුලීන් නිපදවයි. මෙසේ ටික කලක් ගිය පසූ අග්න්‍යාශය දුර්වලවී ඉන්සියුලීන් නිෂ්පාදනය අඩපනවී දියවැඩියාව ඇතිකරයි.

    ග්ලූකෝස්, සෛල තුලට ලබාගැනීම දුර්වල වීම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහලගොස් මුත්‍රා සමග ග්ලූකෝස් පිටවීම සිදුවේ. එමෙන්ම ශරීරයට අවශ්‍යය ශක්තිය අඩුවන නිසා නිතර නිතර කුසගින්න සෑදෙන අතර වැඩි වාර ගනනක් මුත්‍රා කරන නිසා දැඩි පිපාසයද ඇතිවේ. සෛල වලට ශක්තිය හිඟවීමෙන් දේහයේ ක්‍රියාවලිය අඩපන වන අතර දැඩි වෙහෙසකාරී ගතියක් ඇතිවේ. මෙය දිගුකලක් නොසලකා හැරියොත් ශරීරයේ සෛල මිය යන අතර ඔබ මරණයට පත්වීමටද ඉඩ ඇත. මෙම රෝගීන්ගේ පෙනීම, වකුගඩුරෝග, හෘදයාබාධ, ස්නායු දුර්වලතා වලට ගොදුරු වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

    මෙම දියවැඩියා වර්ගය නිසි ජීවන රටාවක් මගින් පාලනය කලහැක (ආහාර සහ ව්‍යායාම).



    රෝග ලක්ෂණ

    නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍යය වීම
    දැඩි පිපාසය හා කුසගින්න
    පෙනීමේ දුර්වලතා (බොඳවී පෙනීම)
    දැඩි වෙහෙසකාරී ගතිය හා අලසකම
    තුවාල සුවවීමට දිගු කලක් ගතවීම
    පාදයේ ඇතිවන හිරිවැටීම වැනි තත්ව
    නාරිවේදය හා සම්බන්ධ දිලීර රෝග ඇතිවීම
    පුරුෂයන්ගේ බෙලහීනතා ඇතිවීම

    පූර්ව දියවැඩියාව: පුර්ව දියවැඩියාව කියන්නේ කෙනෙකූගේ රුධිර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වුවත් දියවැඩියා වර්ග-2 සෑදුනු කෙනෙකුගේ රුධිර සීනි මට්ටමට වඩා අඩු අගයක් ගත්විටයි. මීට අමතරව වෛද්‍යවරුන් බොහෝ විට හඳුන්වන විවිධ ආකාරයේ ග්ලූකෝස් අසාමාන්‍යතා පවති. මින් සමහරක් දියවැඩියාව නොවන අතර එය දියවැඩියාව ඇතිවීමේ අනතුරු හැඟවීමක් ලෙස හැඳින්විය හැක.

    රුධිර සීනි මට්ටම

    සාමාන්‍යය
    රුධිර සීනි මට්ටම < පුර්ව දියවැඩියාව රුධිර සීනි මට්ටම < දියවැඩියාව රුධිර සීනි මට්ටම

    ද්වීතීක දියවැඩියාව

    වෙනත් රෝග තත්වයන් හෝ බෙහෙත් වර්ග හෝ රසායනික ද්‍රව්‍ය නිසා දියවැඩියාව සෑදිය හැක. මෙසේ වැළඳෙන දියවැඩියාව ද්වීතීක දියවැඩියාව ලෙස හැඳින්වේ.

    ද්වීතීක දියවැඩියාව ඇතිවීමට හේතු

    අග්න්‍යාශයේ රෝග
    හෝමෝන අසාමාන්‍යතා
    ඉන්සියුලින්-ග්‍රාහක ආබාධ
    ඔසු හා රසායනිකයන් මඟින් ප්‍රේරණය වු ද්වීතීක දියවැඩියාව
    පාරම්පරික ව්‍යාධි
    වෙනත් රෝග වලට අනුමත කරන බෙහෙත් වර්ග නිසා රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහල යාම.
    උදා:-
    ප්‍රතිප්‍රදාහක(ඉදිමුම පාලනයකිරීමටගන්නාබෙහෙත්)නිසා-Glucocorticoids
    රුධිර පීඩනය පාලනය කිරීමට දෙන ඖෂධ නිසා-Furosemide
    රුධිර පීඩනය පාලනය කිරීමට දෙන ඖෂධය නිසා- Thiazide diuretics
    මුඛයෙන් ගන්නා උපත්පාලන පෙති, හෝමෝන පාලනය සඳහා දෙනු ලබන බෙහෙත් නිසා- Estrogen - containing products
    හෘදයාබාධ සඳහා දෙන ඖෂධ නිසා-Beta-Blockers

    ව්‍යායාම

    සැතපුම් දහසක ගමනක ආරම්භය පටන් ගන්නේ එක් පියවරකිනි. ව්‍යායාම පිළිබඳව කිවහැක්කේ ද මෙවැන්නකි. ව්‍යායාමය ආරම්භ කිරීම ඔබට අපහසු විය හැක. ඔබ තවමත් ප්‍රමාද නැති බව මතක තබා ගන්න. ඔබට සැම විටම සෑම මොහොතකම ඔබේ නිරෝගි මට්ටම ව්‍යායාම මගින් උසස් කර ගත හැක.
    සමහර විට ඔබ ව්‍යායාම නොකරන හෝ ව්‍යායාම අතරමැද නවතා දැමු කෙනෙකු විය හැක. නැතිනම් දියවැඩියාව වැළඳී ඇති බව මෑතකදී හඳුනා ගත්තකු විය හැක. මේ නිසා ඔබට නැවත කිසිම දිනක නිරෝගී වීමට බැරියැයි සිතනු ඇත. බලාපොරොත්තු නැවත ඇති කරගෙන දැන්ම ව්‍යායාම අරඹන්න. ව්‍යායාමය ඔබගේ එදිනෙදා දිවියේ අංගයක් කර ගන්න. දෛනිකව ප්‍රමාණවත් තරම් ව්‍යායාම වල යෙදීම වැදගත්ය.

    ව්‍යායාම මගින් ශරීරයේ බර අඩු කරගත හැක. (අධික දේහ බර දියවැඩියාවට හේතු වේ)
    ව්‍යායාමය මගින් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය අඩු වන අතර එමඟින් ඉන්සියුලින් වල මනා ක්‍රියාකාරීත්වයක් ඇති කරයි. එමඟින් දියවැඩියාව සඳහා ගන්නා ඖෂධ ප්‍රමාණය අඩු කර ගැනීම හෝ ඖෂධ ගැනීම අනවශ්‍ය විය හැක.
    දියවැඩියාවේ අතුරු ආබාධ වන හෘද හා රුධිර වාහිනි ආශ්‍රිත රෝග අවම කර ගත හැක.
    ව්‍යායාම වලට රෝග වැළඳීම වැළැක්වීමට හෝ සෑදීම ප්‍රමාද කිරීමට හැකියාවක් ඇත.
    ව්‍යායාමයට පෙර කාබොහයිඩ්‍රේට් සහිත ආහාර ගැනීම හෝ ඉන්සියුලින් ගැනීම අවම කරන්න. මෙයට හේතුව වන්නේ ව්‍යායාම කිරීමේදී ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් ශරීරය මගින් සිදුකිරීමයි.

    ඖෂධ

    ආහාර පාලනය, බර අඩු කරගැනීම හා දෛනික ව්‍යායාම මගින් පමණක් දියවැඩියාව පාලනය කල නොහැකි නම් සාමාන්‍යයෙන් රුධිර සීනි මට්ටම පාලනයට ඖෂධ නියම කරයි.
    ඖෂධ නියම කිරීම දෙයාකාර වේ.

    මුඛයෙන් ලබා දෙන ඖෂධ.
    බාහිරින් ඉන්සියුලින් එන්නත් කිරීම.

    ආහාර

    දියවැඩියා රෝගියෙකුගේ ප්‍රතිකාර අතරින් ආහාරය ඉතාමත් වැදගත් ස්ථානයක් ගනී. ඔබේ ආහාර වේල පවුලේ අන් අයගේ ආහාර වේලෙන් විශාල වෙනසක් සිදුවිය හැක. ඔබගේ සිරුරේ නිසි බර රැකගන්න. බර අධිකකම දියවැඩියා රෝගී තත්වය පාලනය කිරීමට බාධාවක් වේ. මේනිසා තම බර අවශ්‍ය ප්‍රමාණයට තබා ගැනීම ඔබගේ රෝගී තත්වය පාලනය කිරීමට මහත් ලෙස උපකාරි වේ.
    ඔබ ඉන්සියුලින් ඖෂධය භාවිතා කරන්නේ නම්, ඔබගේ ආහාර වේලේ ක්‍රමවත් සැලැස්මක් ඇතිව පවත්වා ගැනීම ඉතාම අත්‍යවශ්‍යය. නියමිත වේලකට ආහාර ගැනීම ඉතාමත් වැදගත් වේ.ඒ අතරම ප්‍රධාන වේල් තුනකට අමතරව සැලැස්මක් ඇතිව සකස් කල අමතර වේල් දෙකක් තුනක් යොදා ගැනීම ඉතා වැදගත් වේ.
    කෙසේ වෙතත් සෑම දියවැඩියා රෝගියෙකුම ප්‍රධාන වේල් තුනෙහි ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර අමතර වේල් දෙකක් හෝ තුනක් යොදා ගැනීම රෝගය පාලනය කර ගැනීමට බෙහෙවින් උපකාරී වේ.(අමතර වේල් සඳහා පළතුරු/ සීනි අඩංගු නැති බීම වර්ග/ සීනි රහිත බිස්කු වර්ග කුඩා පීාන වලින් ගත හැක).

    ඔබගේ දිනපතා ආහාර වේල පිළියෙල කර ගැනීමේදී උපකාරවන අදහස් කිහිපයක්

    ඔබේ ආහාර වේලෙන් ඈත් කරගත යුතූ ආහාර වර්ග:

    සීනි අධික ආහාර වර්ග ගැනීම අඩු කරන්න:

    මෙම ආහාර වර්ග ශරීරයට ඉතාමත් ඉක්මනින් උරාගනි.මේ නිසා රුධිරයේ සීනි මට්ටම ඉතා ඉක්මනින් ඉහල යයි.
    සීනි, ග්ලුකෝස්, රසකැවිලි, පැණි, ජෑම්,
    කේක් වර්ග, ටොපි, චුයින්ගම්,චොකලට්,
    මේල්ටඩ් කිරි වර්ග, පැණි රස බීම වර්ග
    ටින් කළ පළතුරු වර්ග, වියලි පළතුරු වර්ග,
    උකු කළ කිරි වර්ග, හකුරු (කිතුල්), සිරප් වර්ග
    අයිස්කීම්, බිස්කට් වර්ග, ජෙලි වර්ග හා පුඩින් වර්ග මධ්‍යසාර


    තෙල් සහිත ආහාර වර්ග ගැනීම අඩු කරන්න:

    තෙල්සහිත කෑම ගැනීම අඩු කිරීමෙන් ඔබේ සිරුරේ බරෙහි මනා පාලනයක් ඇති කළ හැකි අතර, ඔබ හෘද රෝග වලට ගොදුරු වීමේ අවධානම අඩු කරයි.

    සීමිත ප්‍රමාණයකින් ගත යුතු ආහාර

    ධාන්‍ය වර්ග :-
    බත්, ඉඳිආප්ප, ආප්ප, පිට්ටු, උඳු, තෝසේ, ඉට්ලි, වඩේ, සව්.

    අල වර්ග :-
    අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, ගහල, කිරි අල, කැරට්, බීට් රූට්, ඉන්නල, දන්දිල, පරිප්පු, මුං ඇට, කඩල, කව්පි, උඳු, සෝයා බෝංචි

    පිටි සහිත එළවළු වර්ග සහ පළතුරු වර්ග :-
    අළු කෙසෙල්, කොස් සහ කොස් ඇට, දෙල්

    මේද අධික ආහාර :-
    හරක් මස්, ඌරු මස් සහ එයින් සාදන ලද ආහාර, කුකුල් මස් සහ වෙනත් මස් වර්ග, බිත්තර කහමද, බටර්, මාජරින් සහ තෙල් වර්ග

    පැණි රස නොයෙදූ පළතුරු යුෂ :-
    රට දෙහි, දොඩම්, වැල් දොඩම්

    පළතුරු :-
    පැපොල්, කෙසෙල්

    වෙනත් දෑ :-
    කජු, රටකජු, ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් සහ දැල්ලන්, වයින් සහ ස්ප්‍රිත්තු වර්ග


    ඔබේ ආහාර වේලට වැඩියෙන් එක්කර ගත යුතු ආහාර

    කරවිල වලට ස්වල්ප වශයෙන් රුධිරයෙහි සීනි මට්ටම පහත හෙලිය හැකි බව සොයා ගෙන ඇත.
    මීට අමතරව කෙඳි සහිත ආහාර වැඩිපුර ගැනීමට පුරුදු වන්න. මෙම වර්ගයේ ආහාර ඔබගේ සිරුරට උරාගනුයේ ඉතා සෙමිනි.මේ නිසා දියවැඩියා රෝගීන්ට මෙය ඉතාමත් යෝග්‍ය වේ.

    කෙඳි සහිත ආහාර වර්ග :-
    මාංශ බෝග එනම් මුං ඇට, කව්පි, බෝංචි, පරිප්පු, උඳු, කඩල,

    නිවුඩු සහිත හාලේ බත් සහ එවැනි හාල් පිටි වලින් සාදන කෑම,

    කොළ වර්ග සහ එලවළු වර්ග

    නොපෑහූ ධාන්‍ය වර්ග සහ එවැනි පිටි වලින් සාදන කෑම (කුරක්කන්, ඉරිඟු, මෙනේරි, බාර්ලි, තණහාල් ආදිය.), පළතුරු පිට පොත්ත සමඟ ආහාරයට ගත හැකි: පේර, නෙල්ලි, වෙරළු වැනි ආහාර වඩාත් යෝග්‍ය වේ.
    මෙය සැකසීමේදි මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග/ වකුගඩු බද්ධ කිරීමේ අංශය, නිකුත් කළ දියවැඩියා පිළබඳ පත්‍රිකාවන් බෙහෙවින් උපකාරීවිය.



    ගත්තෙ මෙතනින්.අපට හැදෙන රෝග
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ගැබිණි අවධියේ දියවැඩියාව

    ගැබිණි අවධියේ මතුවිය හැකි ඕනෑම දියවැඩියා වර්ගයක් මේ යටතේ ගැනේ. මින් 95% පමණ දරු ප්‍රසූතියෙන් පසු සුවවේ. නමුත් මොවුන්ට අනාගතයේදී දියවැඩියාව සෑදීමේ (දියවැඩියා වර්ග- 2) අවදානම වැඩිය.
    මෙහි රෝග ලක්ෂණ (ගැබිණි අවධියේ දියවැඩියාවේ) සාමාන්‍යයෙන් එතරම්ම පෙන්නුම් කිරීමක් නැති අතර ගැබිණි කාන්තාවගේ ජීවිතයට අවදානමක් නොමැත. නමුත් ළදරුවාට,

    Hypoglycemia (රුධිරයේ සීනි අඩුය)
    Respiratory-distrell syndrome (ස්වසන ඌනතා) ඇතිවීමේ අවදානමක් ඇත.
    ගැබිණි අවධියේ දියවැඩියාවෙන් පෙලෙන්නෙකුට Toxima (ලේ වියලීම) තත්වය ඇති වීමට ඇති හැකියාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩිය. මෙය දරුවාට හා මවට ජීවිත අවදානමක් ඇති කරන තත්වයකි.

    බොහෝ අවස්ථාවලදී ආහාරය හා ව්‍යායාම මඟින් මෙම තත්වය පාලනය කල හැක. එසේ වුවත් සමහර ගැබිණි මව්වරුන් ඉන්සියුලින් ලබාගත යුතුය .

    දියවවැඩියාව ඇති කාන්තාවන් ගැබ් ගැනීමට පෙර ඇය තම රුධිර සීනි ප්‍රමාණය ගැන සෑහෙන කාල පරාසයක් තිස්සේ අවධානය යොමු කර තිබීම වැදගත්ය. නැතහොත් කළලයක් ඇතිවී පළමු සති 5-8 දක්වා කාළය තුල කළලයට විකෘතිතා ඇතිවිය හැක.

    සාමාන්‍යයෙන් කාන්තාවකට තමන් ගර්භනී බව දැනගත හැකි වන්නේ කළලය පිළිසිඳගෙන සති 8 වැනි කාලයක් ගතවු පසුවයි. මේ නිසා දියවැඩියාව ඇති කාන්තාවන් පිළිසිඳ ගැනීමට මාස කීපයකටම පෙර සිට රුධිර සීනි මට්ටම හොඳින් පාලනය කරගත යුතුය. මෙය වැදගත් වන්නේ පිළිසිඳ ගන්නා අවස්ථාවේදි දියවැඩියාව පාලනය වී නැත්නම් කළලය විනාශ වීම හේ විකෘති වීම සිදුවිය හැකි නිසාය.

    නිතර අසන ප්‍රශ්න

    දියවැඩියාව යනු කුමක්ද?
    දියවැඩියාව තිබෙන බව දැනගන්නේ කොහොමද?
    දියවැඩියාව ආරයට යනවාද?
    දියවැඩියාවට ගොදුරු වන්නේ කුමන වයසේ අයද? කුඩා දරුවන්ටත් දියවැඩියාව හැදෙනවාද?
    දියවැඩියාව නිට්ටාවට සුව කල හැකිද?
    දියවැඩියාව ඇති කාන්තාවක් ගැබ් ගැනීම ගැබට හානිකරද?
    දියවැඩියාව මවට ඇත්නම් ළදරුවාට හැදෙනවාද?

    දියවැඩියාව යනු කුමක්ද?

    අපගේ ශරීරයේ ඉන්සියුලීන් අඩුවිට හෝ ඉන්සියුලීන් නිපදවන්නේ නැතිවිට ඇතිවන රෝගයට දියවැඩියාව යැයි කියයි. දියවැඩියාව ඉතා බරපතල රෝගයකි. හඳුනා නොගතහොත් මෙමගින් බරපතල විපාක ගෙන දිය හැකි අතර, මරණය පවා සිදු විය හැක. වාසනාවකට මෙන් දියවැඩියාව පාලනය කල හැකි රෝගයකි. අවාසනාවකට දියවැඩියාවෙන් පෙලෙන බොහෝමයක් ඒ බව නොදන්නා අතරම සමහරුන් ඒ සදහා ප්‍රතිකාර ගැනීම අසාධ්‍ය තත්වයට පත්වන තුරුම කල් දමයි. ඔබට දියවැඩියාව ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයෙකුගේ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වේ.

    දියවැඩියාව තිබෙන බව දැනගන්නේ කොහොමද?

    සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීම
    අඛණ්ඩව ඇතිවන පිපාසය හා බඩගින්න
    බර අඩුවීම
    විඩාව
    පෙනීමේ දුර්වලතා (බොඳවී පෙනීම)
    නැවත නැවත ඇතිවන සමේ රෝග
    රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම හා මුත්‍රාවල සීනි තිබීම
    දැඩි වෙහෙසකාරී ගතිය හා අලසකම
    තුවාල සුවවීමට දිගු කලක් ගතවීම
    පාදයේ ඇතිවන හිරිවැටීම හා කෙණ්ඩා පෙරලීම වැනි තත්ව
    නාරිවේදය හා සම්බන්ධ දිලීර රෝග ඇතිවීම
    පුරුෂයන්ගේ බෙලහීනතා ඇතිවීම.


    දියවැඩියාව ආරයට යනවාද?

    දියවැඩියාව-2 රෝගී තත්වය පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන රෝගයකි. දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් මෙම රෝගයෙන් පෙලෙන්නේනම් තමාටද මෙය සෑදීමට ඇති අවදානම වැඩිය. ඔබ තරබාරුනම් හෝ ක්‍රියාශීලී නොවන ජීවිකාවක් ගෙන යන්නෙකුනම් මෙම අවදානම තවත් වැඩිය.
    දියවැඩියාව රෝගී තත්වය ආරයට යන ස්වභාවයක් පෙන්නුම් කරන හෙයින් පවුලේ කෙනෙකු මෙම රෝගයට ගොදුරුවී ඇත්නම් පවුලේ අනෙක් අයත් ප්‍රවේශම් විය යුතුයි. මේ අය දියවැඩියාව නැතත් දියවැඩියා රෝගියෙකුට දෙන අවවාද පිළිගෙන නිසි පිළිවෙත් අනුගමනය කළහොත් දියවැඩියාවෙන් වැළකීමට හැකිවේ.


    දියවැඩියාවට ගොදුරුවන්නේ කුමන වයසේ අයද? කුඩා දරුවන්ටත් දියවැඩියාව හැදෙයිද ?

    ලෝකයේ වයස සීමාවකින් තොරව, ළදරුවන්ගේ සිට මහලු අය දක්වා මිලියන 100ට වඩා අධික ජනතාවක් දියවැඩියාවෙන් පෙලේ. තවත් මිනිසුන් මිලියනයකට පමණ දියවැඩියාව ඇතිමුත් එය හඳුනාගෙන නොමැත. කුඩා අවදියේදී හෝ තරුණ අවදියේ පසුවන මහත දරුවන් ඇත්නම් මෙන්ම පවුලේ ඕනෑම කෙනෙකුට දියවැඩියාව ඇත්නම් එම දරුවන් පරීක්ෂාවට භාජනය කිරීම ඉතා වැදගත්ය. එයට හේතුව එවැනි දරුවන්ට දියවැඩියාව සෑදීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. දියවැඩියාවේ මුල් අවධියේදීම එය හඳුනාගෙන එයට ප්‍රතිකාර ගැනීමෙන් ඇතිවිය හැකි භයානක සංකූලතා (complications) අවම කර ගත හැක.


    දියවැඩියාව නිට්ටාවට සුව කල හැකිද?

    දියවැඩියාව පාලනය කළ හැකි රෝගයකි. නමුත් දියවැඩියාව නිට්ටාවට සුව කිරිමේ ක්‍රමයක් හෝ මෙතෙක් සොයාගෙන නැත.

    දියවැඩියාව ඇති කාන්තාවක් ගැබ් ගැනීම ගැබට හානිකරද?

    දියවැඩියාව ඇති කාන්තාවන් ගැබ් ගැනීමට පෙර ඇය තම රුධිර සීනි ප්‍රමාණය ගැන සෑහෙන කාල පරාසයක් තිස්සේ අවධානය යොමු කර තිබීම වැදගත්ය. නැතහොත් කළලයක් ඇතිවී පළමු සති 5-8 දක්වා කාලය තුල කළලයට විකෘතිතා ඇතිවිය හැක.
    සාමාන්‍ය කාන්තාවකට තමන් ගර්භනී බව දැනගත හැකි වන්නේ කළලය පිළිසිඳ ගෙන සති 8 ක් වැනි කාලයක් ගතවු පසුවයි. මේ නිසා දියවැඩියාව ඇති කාන්තාවන් පිළිසිඳ ගැනීමට මාස කීපයකටම පෙර සිට රුධිර සීනි මට්ටම හොඳින් පාලනය කරගත යුතුය. මෙය වැදගත් වන්නේ පිළිසිඳ ගන්නා අවස්ථාවේදි දියවැඩියාව පාලනය වී නැත්නම් කළලය විනාශ වීම හේ විකෘති වීම සිදුවිය හැකි නිසාය.


    දියවැඩියාව මවට ඇත්නම් ළදරුවාට හැදෙනවාද?

    ළදරුවාට උපතේ දීම දියවැඩියාව තිබීමට ඇති ඉඩකඩ අඩුය. නමුත් මවට ඇත්තේ දෙවන වර්ගයේ දියවැඩියාව නම් ළදරුවාට දියවැඩියාව උරුම වීමට ඇති අවස්ථාව 50% පමණ වනු ඇත. එනමුත් උරුමකම් ඇති සියලු දෙනාටම දියවැඩියාව ඇතිනොවේ.
    මවට ඇත්තේ පළමුවන වර්ගයේ දියවැඩියාව නම් එය ආරයට යාමේ අවස්ථාව විරලය. පළමුවන වර්ගයේ දියවැඩියාව සෑදීමට නම් මවුපිය දෙදෙනාගේම "ජානයන්" අවශ්‍ය වන්නේය. මවුපියන්ගෙන් එක් අයෙකු 1වන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන්නේ නම් ඔවුන්ගේ දරුවන්ගෙන් 5% දෙනෙකුට හෝ 6% දෙනෙකුට පමණ නියත වශයෙන්ම දියවැඩියොව සෑදීමේ අවස්ථාව ඇත. මවුපිය දෙදෙනාටම දියවැඩියාව ඇත්නම් ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත කාලයේ යම් අවස්ථාවකදී දියවැඩියාව ඇතිවීමේ අවදානම 25% - 30% පමණ දක්වා වේ.

    දියවැඩියාව සමග සතුටින් දිවිගෙවීම

    රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා විවිධ දෑ කලහැක. ආහාර පාලනය, ව්‍යායාමය හා රුධිර සීනි මට්ටම නිරන්තරයෙන් නිරික්ෂණය කිරීම මේ අතර වේ. ඔබ දියවැඩියාව පාලනය කලහොත් එමඟින් දිගු කාලීනව ඇතිවන අතුරු ආබාධ වලට ගොදුරු වීම අඩුකර ගත හැක.
    අසහනකාරී හැඟීම් වලින් මිදීම (Coping with Bad Feelings)

    දියවැඩියාව පාලනය ඔබ සතු බව ඔබ අනන්ත වාරයක් අසා ඇති. එය කීමට පහසු වුවත් කිරීමට අපහසු බව අප කවුරුත් දනිමු. පැය 24ක් පුරා, සත්දිනක් පුරා මේ පිළිබඳව අවධානය යොමුකිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මෙය ඕනෑම කෙනෙකුට ඉතා වෙහෙස ගෙන දෙන්නකි.
    ඔබ අසනීප වූ විට (When You're Sick)

    ඔබ අසනීප වූ විට ඔබගේ රුධිර සීනි මට්ටම අධික ලෙස ඉහල යා හැක. මෙමගින් නිද්‍රා - මුර්ජාව (coma) වැනි බරපතල රෝගී තත්වයන්ට පත්විය හැක. සුළු අසනීපයක් භයානක රෝගීතත්වයක් බවට පත්වීම වැළැක්විය හැකි හොඳම ආකාරය නම්, අසනීපය සුළුකොට නොතකා නිසි ප්‍රතිකාර හා අවශ්‍යය පියවර නිසි වේලාවට ගැනීමයි.
    ඔබ ගමන් බිමන් යාමේදී…… (When You Travel)

    ඔබ චාරිකාවක් යාමට බලාපොරොත්තු වෙනවාද? එය වන්දනා ගමනක් හෝ විනෝද ගමනක් විය හැක. අන් අයට සේම ඔබටත් නිසි දේ කිරීමටත්, රිසිසේ හැසිරීමටත් සිත්සේ ඇවිදීමටත් පුලුවන. ඔබ කල යුත්තේ ඔබගේ දියවැඩියා තත්වය පාලනය කිරීම සඳහා සැලසුම් කරගැනීම පමණි.
    දුම්බීම (Smoking )

    දුම්පානයෙන් සම්පුර්ණයෙන් මිදීමට ඔබට ඉතා අපහසු වියහැක. නමුත් දුම්පානය නැවැත්වීමට උත්සාහ කිරීම වටී. දුම්කොල ශරීර සෞඛ්‍යයට අහිතකර ප්‍රථිඵල ගෙන දෙන්නකි. මෙය විශේෂයෙන් දියවැඩියාව ඇති අයට බලපායි. ඔබ කලක් දුම්පානය කර ඇතත් කම් නැත. ඔබ අද එයින් මිදුනේ නම් අද සිට ඔබේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරෙනු ඇත.
    ආතතිය (Stress)

    ඔබ කනස්සල්ලෙන් පසුවනවිට හෝ ආතතිය ඇති විට ඔබගේ ශරීරය එයට ප්‍රතිචාර දක්වයි. මෙහිදී ශරීරයේ ගබඩාවි ඇති ශක්තිය ග්ලූකෝස් හා මේද ලෙස මුදාහැර අවශ්‍ය සෛල වලට මේවා ලබාදේ. නමුත් අවාසනාවකට දියවැඩියාව ඇති අයගේ මෙම ක්‍රියාවලිය හරි හැටි සිදුනොවේ. මෙයට හේතුව වන්නේ ඉන්සියුලීන් මඟින් ශරීරයේ සෛල වලට අවශ්‍ය අමතර ශක්තිය නිපදවීමට අපොහොසත් වීමයි. එම නිසා ඔබ හැකි පමණ ආතතිය පාලනය කර ගැනීමට උත්සුක වියයුතුය.
    ලිංගික ඇසුර හා ගර්භනීභාවය (Sex & Pregnancy)

    ලිංගිකත්වය හා බැඳුනු සෞඛ්‍ය ප්‍රශ්න, අන් අයට මෙන්ම දියවැඩියාව ඇති ස්ත්‍රින්ට හා පුරුෂයන්ට පොදුය. නමුත් සමහර ප්‍රශ්න දියවැඩියාව නිසා වැඩිවේ.
    අනෙකුත් තොරතුරු (OTHER INFORMATION)

    රැකියාවයක යෙදී සිටියදී (AT WORK)
    අතීතයේදී බොහෝවිට, දියවැඩියාවෙන් පෙළෙන්නවුන්ට රැකියා කිරීම අහිමි විය. සමහර අවස්ථාවල දියවැඩියාව හේතුවෙන් වෙනස් සැලකිලිවලට භාජනයවීම සිදුවේ. දියවැඩියාව නිසාම රැකියාවේදී සාධාරණ සැලකීමක් නොලැබිය හැක. නමුත් මෙම තත්වය දැන් තුරන් වෙමින් පවතී.
    දියවැඩියාව ඇති අය නොහැකියාවකින් පෙළෙන්නේද? (ARE PEOPLE WITH DIABETES DISABLED ? )

    ඔබ නොහැකියාවකින් පෙළෙනබවට තීරණය කිරීමට, පහත සඳහන් කරුණු වලින් ඵකක් තිබිය යුතුබව පිළිගත් මතයයි.

    කායික හෝ මානසික දුබලතාවයන් තම පුද්ගලික ජීවිතයේ මුලික කටයුතු වලට බලපාන අයුරින් ඇත්නම් ඔබ නොහැකියාවෙන් පෙළේ.
    පෙර අවස්ථාවකදී, එක් දුබලතාවයක් ඇති වුවානම් ඔබ නොහැකියාවෙන් පෙළේ.
    අනෙක් අය ඔබට එවන් දුබලතාවයක් ඇති බවට සලකයි නම් ඔබ නොහැකියාවෙන් පෙළේ.
    පුද්ගලික ජීවිතයේ "මුලික කටයුතු" වශයෙන් ඇතුලත් වන්නේ, පෙනීම, ඇහීම, කථනය, ඇවිදීම, හුස්ම ගැනීම, අත් පය මෙහෙයවා කරන කටයුතු, ඉගෙනීම, තමාගේම වැඩ කටයුතු කිරීමයි. ඔබේ දියවැඩියාව මෙලෙස ඔබව මහත්සේ නොහැකියාව ඇති කිරීමට හේතුවුනා නම්, ඵය ඉහතින් සඳහන් 1 හෝ 2 වැනි කාරනා අනුව, නොහැකියාවෙන් පෙලෙන බවට තීරණය වේ.
    කිව යුතුද ? නොකිව යුතුද ? TO TELL OR NOT TO TELL
    විවෘත ස්වභාවයකින් ඔබ දියවැඩියාව ගැන කතා කරන්නේ නම් අනෙක් අයටද දියවැඩියාව සම්බන්ධයෙන් කරුණු උගත හැකිය. අනෙක් අයට වඩා වැඩි වෙනසක් නැති බව තහවුරු කිරීමද මෙය උපකාරී වේ

    දියවැඩියාව ඇතිවීමට බලපෑ හැකි හේතු සාධක

    වයස

    ජීවිතයේ ඕනෑම අවධියක වැළඳිය හැක. එනමුත් වයස සමග අවදානමද වැඩි වේ. එලෙසම වැඩිවියට පත්වීමේදී හා ගැබිණි අවස්ථාවේ මේ සඳහා නැඹුරුතාවයක් ඇත. අවුරුදු 40ට වඩා වැඩි අයට මේ සඳහා ඇති අවදානම වැඩිය.

    පාරම්පරික

    මෙය පරම්පරාගත රෝගයකි. විශේෂයෙන්ම මෙය දෙමව්පියන්ට හා සහෝදර සහෝදරියන්ට ඇත්නම් ඔබට මෙය වැළඳීමට ඇති හැකියාව ඉතා වැඩිය. මෙය වඩාත්ම දියවැඩියාව-1 වර්ගය කෙරෙහි බලපායි.
    දියවැඩියාව-2 වර්ගය පරම්පරාවෙන් දායාද වීමට ඉඩ ඇති නමුත් එයින් මෙම රෝගයට ගොදුරු වන්නේ 80%-85% පමණය. එනම්
    වයස වැඩි (40)
    තරබාරු අය.
    එමනිසා තරබාරු බව තීරණාත්මක සාධකයක් වන බව සලකනු ලබයි.
    තරබාරු බව

    දියවැඩියා-2 රෝගීන්ගෙන් 80%-85% අය තරබාරුය. එහෙත් සියළුම තරබාරු අයට දියවැඩියාව නොමැත. නමුත් ඔබ තරබාරු නම් ඉදිරි අවුරුදු 10 හෝ අවුරුදු 20 කදී දියවැඩියාව රෝගය වැළඳිය හැක.
    (තරබාරු යැයි සලකනු ලබන්නේ වයසට සරිලන බරට වඩා ඔබගේ බර 20% කට වඩා වැඩි වීමය.)
    දුප්පත්කම

    පර්යේෂණ මඟින් දුප්පත්කම හා දියවැඩියාව අතර සම්බන්ධතාවයක් ඇති බව සොයා ගෙන ඇත.
    ග්ලූකෝස් දරා ගැනීමේ හැකියාව හානි වීම.

    අධික රුධිර පීඩනය හෝ රුධිර පීඩන මට්ටම

    140/90 mHg වලට වඩා වැඩිවීම.
    අසාමාන්‍ය රුධිර මේද මට්ටම් තිබීම.

    HDL මට්ටම 35mg/dl හෝ ඊට වැඩි
    ඉහල කොලෙස්ටරෝල් මට්ටම (240mg/dl හෝ ඊට වැඩි)
    කාන්තාවන්ට ගැබිණි අවධියේදී දියවැඩියාව ඇතිවීම හෝ අධි බරැති දරුවන් බිහිකිරීම.

    මෙම හේතූන්ගෙන් එකක් ඔබට තිබීමෙන් ඔබට දියවැඩියා තිබෙන බව හෝ ඇතිවිය හැකි බව කිව නොහැක. එනමුත් ඔබට තිබෙන අවදානම් සාධක ප්‍රමාණය වැඩි වන විට දියවැඩියාව සෑදීමේ ඉඩකඩද වැඩිවේ.

    අතුරු ආබාධ

    රෝගී තත්වය අනුව ප්‍රධාන ආකාර 2 කට බෙදා ඇත.
    උග්‍ර අතුරු ආබාධ - (Acute complications)

    දියවැඩියා රෝගීන්හට ප්‍රධාන උග්‍ර අතුරු ආබාධ වර්ග 2 ක් සෑදීමට ඉඩ ඇත.
    Diabetic ketoacidosis- (දියවැඩියා වර්ග-1 ඇති අයට සෑදිය හැක)
    Hyperosmolar nonketogenic coma- (දියවැඩියා වර්ග-2 ඇති අයට සෑදිය හැක)
    නිධන්ගත අතුරු ආබාධ / දිගු කලක් පවතින අතුරු ආබාධ - (Chronic complications)

    දිගු කලක සිට දියවැඩියා ඇති රෝගීන් පහත සඳහන් අතුරු ආබාධ වලට ලක්විය හැක.
    Diabetic retinopathy
    Diabetic neuropathy
    Diabetic nephropathy
    Diabetic foot ulcers
    Glycosylated proteins
    Aldose reductase

    දියවැඩියාව ඇත්නම් ඔබට කලහැකි දේ

    දියවැඩියාව ජීවන රටාව හා බැඳුනු රෝගයකි. ඔබගේ දියවැඩියාව පාලනය කිරීමට ඉගෙන ගැනීම වැදගත්වේ. සංකූලතා අවම කර ගැනීමට නම් ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කර ගත යුතුය. රුධිර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට ගෙන ඒම සඳහා සමහරකට ඉන්සියුලින් ලබාගත යුතුය. තවත් කෙනෙකුට තම බර අඩුකරගත යුතුය. මින් සමහරකට මේ දෙකම සිදු කල යුතුය. ඔබගේ ආහාරය හා ව්‍යායාම ගැන අවධානය යොමු කරන්න.
    දියවැඩියාව ගැන ඔබට පහසුවෙන් කල හැකි දේ
    (1) අඩු මේද හා සරල සීනි සහිත සංකීර්ණ කාබේහයිඩේට වලින් වැඩිවු අධික කෙඳි සහිත ආහාර, නිවැරදි ආහාර වේලක අඩංගු කිරීම.(ප්‍රෝටීන් 20%,මේද 20%,හා කාබේහයිඩ්‍රේට් 60%)

    (2) නිවැරදි ආහාර වේලක් මගින් රුධිරයේ සීනි ප්‍රමාණය හා ශරීරයේ බර පාලනය කර ගැනීම
    (3) දුම් පානයෙන් වැලකීම
    (4) මත් පැන් පානය පාලනය කිරීම. මේ මඟින් පාද වලට රුධිර සංසරණය වීම අඩුවීම වලක්වා ගත හැක
    (5) විශාල මාත්‍රා වලින් විටමින් බී12 හෝ විටමින් ඡ ගැනීමෙන් වැලකීම. මේවා වැඩිපුර ගැනීම මඟින් ඉන්සියුලින් වල ක්‍රියාව නිෂ්ක්‍රිය කල හැක.(දිනකට 50-100 මිග)
    (6) මානසික පීඩනය පාලනය කිරීම. විඩාවීමෙන් හා මානසික අපහසුතාවලින් වැලකීම. ව්‍යායාමයෙන් මානසික පීඩාව අවම කර ගත හැක
    (7) දියවැඩියාව ඇති කාන්තාවන් ගැබ් ගැනීමට පෙර ඇය තම රුධිර සීනි ප්‍රමාණය ගැන සෑහෙන කාල පරාසයක් තිස්සේ අවධානය යොමු කර තිබීම. නැතහොත් කළලයක් ඇතිවී පළමු සති 5-8 දක්වා කාලය තුල කළලයට විකෘතිතා ඇතිවිය හැක

    වෛද්‍යවරයා හමුවීම

    ඔබ වෛද්‍යවරයා මුණ ගැසිය යුත්තේ කුමන අවස්ථාවේ ද?

    (1) ඔබට ඉතා තදින් බඩගින්න හා පිපාසය දැනේ නම්
    (2) අසාමාන්‍ය ලෙස බර අඩු වේ නම්
    (3) ඉතා තදින් විඩාව දැනේ නම්
    (4) ශරීරයේ ඇති වන කැපීම්, සීරීම් සුවවීමට ගතවන කාලය වැඩි නම්
    (5) අත පය හිරිවැටේ නම්
    (6) නිතර මුත්‍රා පිටවේ නම්
    (7) පහසුවෙන් නොරිස්සුම්කම හා කෝපය ඇතිවේ නම්
    (8) නැවත නැවත ඇතිවන සමේ, විදුරුමසේ සහ මුත්‍රාශයේ ඇතිවන ආසාධන ඇත්නම්


    ගත්තෙ මෙතනින්.අපට හැදෙන රෝග
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ඒ වගෙම වැදගත් ත්‍රේඩ් එකක්

    ඒත් මේ වගේ නිවරදි සහ ප්‍රයෝජනවත් ත්‍රේඩ් එකක් දාලා පැය පහක් ගිහින් පොස්ට්ස් දෙකයි .ගොඩක් අය දැන් එලකිරියේ වැදගත් ත්‍රේඩ් නෑ කියලා කිව්වට මේ ත්‍රේඩ් එකට වෙලා තියෙන දෙයින් පේනවා ඉදලා හිටලාඅ හරි වැටෙන වැදගත් ත්‍රේඩ්වලට වෙන දේ.

    කණගාටුයි මචන් ඔයා මහන්සි වෙලා දාලා තියෙන ත්‍රේඩ් එකට පොස්ට් නැතිවීම ගැන
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හොද ඒ වගෙම වැදගත් ත්‍රේඩ් එකක්

    ඒත් මේ වගේ නිවරදි සහ ප්‍රයෝජනවත් ත්‍රේඩ් එකක් දාලා පැය පහක් ගිහින් පොස්ට්ස් දෙකයි .ගොඩක් අය දැන් එලකිරියේ වැදගත් ත්‍රේඩ් නෑ කියලා කිව්වට මේ ත්‍රේඩ් එකට වෙලා තියෙන දෙයින් පේනවා ඉදලා හිටලාඅ හරි වැටෙන වැදගත් ත්‍රේඩ්වලට වෙන දේ.

    :yes::yes::yes:

    ++ සලකන ලදී..
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හොද ඒ වගෙම වැදගත් ත්‍රේඩ් එකක්

    ඒත් මේ වගේ නිවරදි සහ ප්‍රයෝජනවත් ත්‍රේඩ් එකක් දාලා පැය පහක් ගිහින් පොස්ට්ස් දෙකයි .ගොඩක් අය දැන් එලකිරියේ වැදගත් ත්‍රේඩ් නෑ කියලා කිව්වට මේ ත්‍රේඩ් එකට වෙලා තියෙන දෙයින් පේනවා ඉදලා හිටලාඅ හරි වැටෙන වැදගත් ත්‍රේඩ්වලට වෙන දේ.

    කණගාටුයි මචන් ඔයා මහන්සි වෙලා දාලා තියෙන ත්‍රේඩ් එකට පොස්ට් නැතිවීම ගැන

    :yes::yes:
    nature of elakirians
    :rofl: