ඔබට වගකිව යුත්තා ඔබ යි!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබට වගකිව යුත්තා ඔබ යි!

    man-alone.jpg


    විවේචන දෙස ප්‍රායෝගික ඇසින් බලන්න. අසාධාරණ විවේචනවලින් ආරක්ෂා වී සාධාරණ විවේචන ප්‍රායෝගික ව යොදාගැනීමටත් ඉගෙනගන්න. ඒවා හේතු රහිත, වැරදි සහගත, අසාධාරණ අදහස්වලින් යුක්ත නම් ඔබේ ගෞරවය පාවා නොදිය යුතු ය. හෘදය සාක්ෂියට අනුව ඔබගේ මතය නිවැරදි නම් අභූත චෝදනාවලින් නොකැලඹෙන්න. ඕනෑ ම සමාජයක ජීවත් වීමට නම් හිතකර සහ අහිතකර විවේචන හඳුනාගැනීම ඉතා වැදගත් ය. බුදුහු මෙසේ වදාරති:

    “නින්දා නොලැබූ කෙනෙක් ලෝකයේ නැත” (නිත්ථි ලොකේ අනින්දිතො) ධප 227. බලාපොරොත්තු නැති තැනැත්තා කිසිවිටෙකත් කලකිරෙන්නේ නැත.


    ඔබ කරන සේවයට කිසිවක් බලාපොරොත්තු නොවන්නේ නම් කලකිරීමෙන් වැළකිය හැකි ය. දුකින් මිදීමට අන් අයට උපකාර කරන්න. එයින් ඔබට තෘප්තිමත් කෙනකු විය හැකි ය. ඔබ කළ උතුම් ක්‍රියාවෙන් ලබන සතුට ඉමහත් ලාභයක් වනු ඇත. එය ම ඔබේ මුළු ජීවිතයට ම සැනසීමකි. ලාභයක් අපේක්ෂාවෙන් කටයුතු කිරීම නිසා ඔබේ සැනසීම විනාශ වී යෑම මෙන් ම ඉමහත් කලකිරීමකට ද පත්වනු ඇත.

    සමහර විට ඔබ ස්වභාවයෙන් ම කිසිවකුට වරදක් නොකරන යහපත් කෙනෙක් විය හැකි ය. කෙසේ නමුත් හොඳක් කිරීමෙන් පසුවත් ඔබට අපවාද ලැබිය හැකි ය. එවිට ඔබ මෙසේ අසනු ඇත: “හොඳ කිරීම නිසා හොඳත්, නරක කිරීමෙන් නරකත් ලැබෙනවා නම් නිර්දෝෂි මම තැවෙන්නේ ළතවෙන්නේ කුමකට ද? මා මේ තරම් ගැහැට විඳින්නේ කුමකට ද? හොඳක් කරලත් මා චෝදනා ලබන්නේ කුමකට ද?”

    මෙයට සරල පිළිතුර නම් ඔබ හොඳක් කිරීමේදී ලොව ක්‍රියාත්මක වන බොහෝ හිංසාකාරී බලවේගයන්ට විඳින්නට සිදු වනු ඇත. ඒ අයහපත් බලවේග හොඳ දෙය වැළැක්වීමට නැගී එනු ඇත. නොඑසේ නම් මේ ඔබේ පැරණි කර්මයක් වර්තමානයේ පලදීමට පැමිණි අවස්ථාවක් විය හැකි ය. නොනවත්වා ම හරි අවබෝධයෙන් යුතුව යහපත් දෙය ම කිරීමෙන් අවසානයේදී ඔබට කරදරවලින් මිදිය හැකි වනු ඇත. මුලදී ඔබ විසින් ම ඇති කරගත් කරදර ලෝකයේ සැබෑ තත්ත්වය වටහාගැනීමෙන් අනතුරුව ඔබට ම ජය ගත හැකි ය.


    “අනුන් ආරක්ෂා කිරීමෙන් ඔබ රැකෙන්නේ ය. ඔබ ආරක්ෂා වීමෙන් අන් අය ද රැකෙන්නේ ය”. ලොව පවතින ස්වභාවයන් රැසක් අපට පාලනය කළ නොහැකි ඒවා ය. අපේ පසුතැවිල්ලට හේතු වන හදිසි වෙනස් වීම් අපට පාලනය කළ නොහැකි විවිධ බලපෑම් කොතෙකුත් ඇති වේ. මේ නිතර වෙනස් වන ස්වභාවයන් යටතේ යහපතක් කිරීම අපහසු වන්නේ ඒ නිස යි. හැමදෙනා ම බුදු රජාණන් වහන්සේගේ අවවාදය අප්‍රමාදව පිළිපදින්නේ නම් හැම දෙනාට ම පොදුවේ කාගේත් යහපතට හා සුරක්ෂිතභාවය සඳහා යමක් කළ හැකි ය.

    අනුන් හා සමාන නොකිරීමෙන් ඔබට බොහෝ කරදර මගහැරගත හැකි ය. සෙසු අය උසස් සමාන හෝ පහත් වශයෙන් මනින තාක් ඔබ තුළ නොඉවසිලිමත් බව හා අසහනය පවතිනු ඇත. ඔබ තුළ එබඳු හැඟීමක් නැති විට උදහස් වීමට හේතුවක් නැත. ඔබ අන් අයට වඩා උසස් යැ යි සැලකීම නිසා ආඩම්බර විය හැකි ය. ඔබ කිසිවකුට නොදෙවෙනි යැ යි සැලකුවොත් අන් අය විසින් ඔබව හෙළාදකිනු ඇත. ඔබ අන් අයට වඩා පහත් යැ යි හීනමානයක් ඇති කරගත හොත් ඉන් ඔබේ පෞරුෂත්වය බිඳී යනු ඇත. වැඩි දෙනකුට තමන්ගේ මානය යටපත් කිරීම අපහසු කාරියකි. මෙය කෙනකු විසින් පුරුදු කළ යුතු හික්මීමකි. ඔබට ඔබේ ම මානය බිලි දිය හැකි නම් එයින් අභ්‍යන්තර සැනසීම ලැබිය හැකි ය. එවිට අන් අය හා එකතු වීමෙන් සාමය හා සතුට භුක්ති විඳීමට ඔබටත් පුළුවනි. වඩා වැදගත් වන්නේ තමන්ගේ පුහුමානය රැකීම ද එසේ නැත හොත් මානසික සාමය ද? සමාන බව හීන බව හෝ උසස් බව ඕනෑ ම විටක වෙනස් විය හැකි ස්වභාවයන් බව වටහාගන්න. අද දිළිඳු ව සිටින ඔබ වෙනස් අවස්ථාවක පොහොසතෙක් විය හැකි ය. අද මෝඩයකු වන ඔබ පසුව බුද්ධිමතෙක් විය හැකි ය. අද ලෙඩදුකින් පීඩිත ඔබ නැවත නීරෝගි පුද්ගලයෙක් විය හැකි ය. කෙසේ වෙතත් සහජ උරුමයන් වශයෙන් සලකන මානව ගෞරවය, තත්ත්වය ආදිය නොසලකා හැරීමට කිසිවකුට අයිතියක් නැත.


    ඔබ ඔබට ම හොඳ කෙනකු නම් අන් අයට ද හොඳ කෙනෙකි. ඔබ අන් අයට හොඳ කෙනකු නම් ඔබට ද හොඳ කෙනෙකි.


    අද ඔබ මුහුණ දෙන කරදර හා ගැටලුවලට දැනුවත් ව හෝ නොදැනුවත් ව ඔබගෙනුත් යම් කොටසක් සිදු වී ඇති බව වටහාගන්න. විවිධ හේතු මත උද්ගත වූ මෙම ගැටලු ජය ගැනීමට ඔබ විසින් කළ යුත්තේ කුමක් දැ යි දැනගැනීම වැදගත් වේ. වර්තමාන ගැටලුවලට තමාගේ වගකීමකුත් ඇති බව අවංක ව ම පිළිගැනීමට ඔබේ ඇති ශක්ති ප්‍රමාණය අනුව ඒවායින් මිදීමටත් පහසු වනු ඇත.

    එවිට ඔබට ඔබේ ප්‍රතිවාදීන් මෙල්ල කළ හැකි ය. ඔවුන්ට ද ඇත්තේ මානව හදවත් ය. ඔවුන් ද බැහැර නොකොට මිත්‍රත්වයෙන් ළං කරගන්න. අනුන්ගේ වැරදි ඉවසා දරාගැනීමට ඔබට ශක්තිය තිබේ නම් ඇසුරෙන් බැහැර කිරීමට අවශ්‍යතාවක් නැත. ඔබේ ඇසුර ම ඔවුන් යහමගට ගැනීමට උපකාර වනු ඇත. සතුරන් ජය ගන්නත් ඔවුන් යහමගට ගන්නත් අවස්ථාව සැලසෙන්නේ නිවැරදි කරුණු වටහාගැනීමෙන් පමණ යි.

    යමකු තමන්ගේ නොදැනුවත්කම නිසා හෝ වැරදි වැටහීමක් නිසා හෝ ඔබට වරදක්, අයහපතක් කර ඇත් නම් ඔබේ හැදියාව, උගත්කම, ධාර්මික බව, වැටහීම පෙන්වන්නට උචිත අවස්ථාව එය යි. ඔබේ මහාත්ම බව පිළිබඳ විනිශ්චයක් කරන අවස්ථාවක ඔබ විසින් පිළිපැදිය යුතු ආකාරය නොදන්නවා නම් ඔබේ අධ්‍යාපනයෙන්, හැදියාවෙන්, ධර්මයෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? අන් අය වැරදි කරන විට එය ඔබේ ඉවසීම, දයාව දැක්වීමට අවස්ථාවක් කරගන්න.

    ඉවසීම හැම දෙනා විසින් ම වගා කරගත යුතු වැදගත් ගුණාංගයකි. එය ප්‍රායෝගික ව භාවිත කළ පමණට ඔබේ තත්ත්වය ද ආරක්ෂා වන්නේ ය. ඔබට විරුද්ධ වන අය පිළිබඳව ක්‍රියා කිරීමේදී ඔබේ ප්‍රතිපත්ති හා බුද්ධිය නිසි පරිදි යොදන්න පුරුදු වන්න. ඒ මොහොතේ නැත හොත් පසුව ඔවුන් සිය වැරදි වටහාගෙන, විරුද්ධ වීම නවත්වනු ඇත. සමහර විටක ඔබේ ඉවසීම දුර්වල ගුණයක් ලෙස සලකා අන් අය ක්‍රියා කරතොත් ඉතා ඥානවන්ත ව ඒ කපටි උපක්‍රමවලින් බේරීමට ඔබ දැන සිටිය යුතු ය.

    ගුණ ධර්මයෝ නුවණින් සලකා පුරුදු කළ යුතු ය.


    කරුණාව, අවංකව බව, ඉවසීම වැනි ගුණ ධර්ම ඇත්තවුන් පහත්කොට හෙළා දැකීමට විරුද්ධවාදීන් පෙලඹීමට අවකාශ ඇති බැවින් පරිස්සම් වන්න.

    සමාජයේ වැරදි කරන්නන්ගෙන් පලි ගැනීමට යෑම කරදර, ගැටලු වැඩි කරගැනීමකි. ඔබටත් වැරදි කරන අයටත් දෙපක්ෂයට ම විරුද්ධවාදී, කලහකාරී හැඟීම් නිසා දුක හා පීඩනය උග්‍ර වන්නේ ය. පලි ගැනීමට, එකට එක කිරීමට ඔබ තුළ ක්‍රෝධයක් ඇති කරගත හොත් ඒ විෂ ඔබ තුළ ඇති තාක් අන් අයට හානි පමුණුවන්නට පෙරාතුව ඔබට ම ඉන් පීඩා ඇති වේ. ගිනි ගත් යකඩ ගුළියකින් අන් අයට පහර දෙන්නට මත්තෙන් තමා ම දැවී යනු ඇත. එවැනි ක්‍රියාවක් නිසා ඔබත් විරුද්ධවාදියාත් දෙදෙනා ම එක ම ගණයට වැටෙනු ඇත.

    අන් අයට ක්‍රෝධ කරන්නා ඒ අයට තමා යටත් කිරීමට බලයක් ලබා දෙන්නේ වෙයි. එයින් ඔබගේ ගැටලුව විසඳෙන්නේ නැත. ඔබ හා සිනා සෙන්නකුට ඔබ වෛර කරන්නේ නම්, ඉන් ඔබ පරාජය වී දුක්ඛිත තත්ත්වයට පත් වන්නේ ය. ඔබේ අභිමතාර්ථයක් ඉටු කරගැනීමට ඔහුගෙන් සහයෝගයක් නොලබන ඔබ පරාජිතයෙකි. ඔහු ම ජය ගත්තේ වෙයි. බුදු රජාණන් වහන්සේ අපට පෙන්වා දී ඇත්තේ කරදර ඇති අවස්ථාවලදී සතුටින් ජීවත් වීමට ය.

    වෛර කරන්නන් අතර වෛරයක් නැතිව අපි සතුටින් වෙසෙමු. වෛර කරන මිනිසුන් අතර අපි සතුටින් ජීවත් වෙමු.


    වෛරයේ ගිනිසිළුව නොදල්වා අපට සතුටින් ජීවත් විය හැකි ය. සමහර විට ඔබගේ කරුණාව සතුරන්ටත් දක්වන්නට තරම් ශක්තියක් ඔබට නැති වන්නට පුළුවන. නමුත් ඔබේත් අන් අයගේත් නීරෝග බව හා සොම්නස වෙනුවෙන් අන් අයට සමාව දී වැරදි අමතක කරන්න පුරුදු වන්න. ඔබට වැරදි කරන්නා කෙරෙහි පෙරළා වෛර නොකොට, ඔහු විනාශ කිරීමට නොසිතා, නියම මහත්මයකු මෙන් ක්‍රියා කරන්න.


    මෙසේ කරන්නට නම් අන් තැනැත්තා වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, නොදැනුවත්කමින් නොමග ගොස් ඇති බව ඔබ වටහාගත යුතු ය. ඔහුත් ලෝකයේ එවැනි බලවේගයකින් මුළා වුණු සෙසු අයට සමාන නිසා එහි අමුත්තක් නැත. බුද්ධ දේශනය අනුව වැරදි කරන්නෝ ස්වභාවයෙන් ම නපුරු ය. ඔවුන් වැරදි කරන්නේ අවිද්‍යාව නිසා ය. එබැවින් ඔවුන්ට මගපෙන්වීමක් අවශ්‍ය වේ.

    අප ඔවුන්ට ශාප නොකළ යුතු ය. ඔවුන් සදාකාලික දුකට පත් කිරීම යුක්ති සහගත නො වේ. මන් ද, ප්‍රමාද වී හෝ ඔවුන් යහමගට ගැනීමට හැකි බැවිනි. ඔවුන්ගේ වැරදි පිළිගත හැකි අන්දමට කාරුණික ව පෙන්වා දිය යුතු ය. මෙසේ වටහාගැනීමෙන් ඒ වැරදි කරන අය සුවයන් සොයන, පිහිටක් ලැබිය යුතු රෝගීන් කොටසක් ලෙස සැලකිය හැකි ය. රෝගය සුව වූ පසු ලෙඩාටත් සෙසු අයටත් සුවය හා සැපත අයිති වේ. නුවණැත්තන් විසින් මෝඩයින්ට මගපෙන්වා දිය යුතු ය.
    යහපත් ජීවිතය මෛත්‍රියෙන් ප්‍රබෝධවත් ව ප්‍රඥාවෙන් හැසිරවිය යුතුය.

    අවිද්‍යාව නිසා කරුණු වටහා නොගෙන කෙනකු ඔබට වරදක් කරනවා නම්, වැරදි කරන්නා වෙත ඔබේ කරුණාව, මෛත්‍රිය, ආදරය දැක්වීමට එය යෝග්‍ය අවස්ථාවකි. කවර දා හෝ ඔහු තමාගේ මුළාව තේරුම්ගෙන ඒ වැරදි පුරුදු ගැන පසුතැවෙනු ඇත.

    එබැවින් වැරදි නිවැරදි කරගැනීමට ඔහුට අවස්ථාවක් දීම ඉතා සුදුසු ය. තම වරද තේරුම් ගත් විට ඔහු කවර දා හෝ ඔබගේ කාරුණිකභාවය අගය කරනු ඇත.

    මහා කාරුණිකයාණන් වහන්සේගේ අවවාදය: “වෛරයෙන් වෛරය නොසන්සිඳේ” යන්න ය. මෙය සදාතනික ධර්මතාවකි. ඔබට මෛත්‍රිය පැතිරවිය හැකි නම් ඉන් කිසිවිටක කිසිවකුට හානියක් නොවන්නේ ය.

    එයින් ඔබට ද ශාරීරක මානසික සුවයක් ඒකාන්තයෙන් ම ලැබෙන්නේ ය. ජීවිතයේ එයට ම ආවේණික වූ රිද්මයක් ඇත. එක පැත්තකින් පරදින බව අනිත් පැත්තෙන් දිනන්නේ ය. මේ නියමය නොදන්නා අය ජීවිතයේ දුක ම අත් කරගනිනි.


    යමෙක් ඔබට නැවත නැවතත් වැරදි කරන්නේ නම් ඒ හැම වාරයකදී ම නුවණින් ක්‍රියාකොට ඔහුට වරද පෙන්වා දෙන්න.


    මෙය පිළිපැදීම අපහසු වුවත් බුදු රජාණන් වහන්සේගේ අවවාදය පිළිපැදීමට මහන්සි ගන්න. මෙය කළ නොහැක්කක් නොවන බව ඔබට ම වැටහී යනු ඇත.

    වැරදිවලට හොඳින් පිළිතුරු දීම නොකළ හැක්කක් ලෙස සමහරු කල්පනා කරති. ඔබ ම මෙය අත්හදා බලන්න. වරදට හොඳින් ප්‍රතිචාරයක් දක්වන්නට අපහසු නම්, ඒ වරදට තවත් වරදකින් පිළිතුරු නොදී සිටීමෙන් එය ඔබටත් ලෝකයාටත් වැඩදායක දෙයක් ම විය හැකි ය.


    නොදැනීම නිසා වැරදි කරන්නන් කෙරෙහි මෛත්‍රි සහගතව සලකා බැලීමක් අවශ්‍ය වේ.
    මිනිසුන් හැටියට හැමදෙනා තුළ ම දුර්වලතා ඇති නිසා වැරදි කිරීම නොවැළැක්විය හැකි ය. හැම මිනිසා තුළ ම ආශාව, වෛරය, මුලාව (ලෝභය, ද්වේෂය, මෝහය) පවතී. මෙම දුර්වලතා අපි හැමදෙනා තුළ ම විවිධ වූ මට්ටම්වලින් පවතී. ඔබ රහත් වී නැත් නම් මෙයින් වැළකී නැත. මිනිස් සිතේ ස්වභාවය කෙබඳු දැ යි මේ කියමනෙන් පැහැදිලි වේ.

    මුළු ලෝකය ම ජය ගත්තත්, මිනිසාට ජීවිතයේ තෘප්තියක් නැති නිසා කවරදාවත් ජීවිතයේ අරමුණු වටහාගත නොහැක්කේ ය.

    අවිද්‍යාවෙන් වැසුණු පුද්ගලයකුගේ සිත කැලඹීම්, ගැටලු හා අන්ධකාරයෙන් වැසී ඇත. අවිද්‍යාවෙන් මුළා වූ මිනිසා තමා ම ඇති කරගන්නා අවාසනාවන්ත සිද්ධීන්ට සෙසු ලෝකයාවත් හවුල් කරගනී.
    මිනිසා තුළ ඇති දුක් කරදර රැසකට හේතුව වෙනස් වන ලෝකයේ ඇති ලෞකික වින්දනයන් සදාකාලිකව පවත්වාගෙන යෑමට ඇති තණ්හාව ය. බලාපොරොත්තු රහිත පරිදි සිදු වන වෙනස්වීම් නිසා අතෘප්තිකර ආශාවන් ඉටු නොවීමෙන් පසුතැවිලිවීමට හේතු වේ. මේ නිසා ඔබේ දුක් කරදරවලට ඔබ ම වගකිව යුතු ය.

    ලෝකයේ කිසිවෙක් වැරදි රහිත නො වේ. හැම කෙනකුගෙන් ම කවර අවස්ථාවක හෝ කිසියම් වරදක් සිදු වන්නට ඉඩ ඇත. එබැවින් ඔබ පමණක් වැරදි රහිත යැ යි සිතිය හැකි ද? දුක සහ අසහනය ඇති කරවන ප්‍රධානතම බලවේගය අවිද්‍යාවෙන් පෝෂිත තණ්හාව ම ය.

    ප්‍රඥාවෙන් අවිද්‍යාව දුරු වන විට බිය හා දුක නැති වන්නේ ය. මිනිස් සිත තුළ පවතින මෙම දුර්වලතා ඔබටත් වටහාගත හැකි නම් ඔබේ ගැටලු පිළිබඳ අවලාද නගන්නට කිසි ම හේතුවක් නැත. ඒවාට මුහුණ දීමට ඔබට ශක්තියක් ඇති වේ. මිනිසාගේ සතුටට මෙන් ම දුකට ද මුල් වන්නේ ඔහුගේ සිත ම ය. මිනිසා තුළ නැති කිසිවක් මිනිසාට සිදු නො වේ ය, යනු මනෝවිද්‍යාඥ කාල් ජුංගේ කියමනකි.


    ස්තුතිය.

    නැදිමාලේ අමරසිරි හිමි සමඟ සීලානන්ද හිමි
    (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙනි.)

    හැමෝම කියවනවා නම් ගොඩක් වටිනවා.. :)
    අනිත් අයට කියවන්න බම්ප් එක්කවත් දාලා යන්න.. :)