
එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා
දෑස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්
එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා
ඊයේ ඉපදී අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත ඇයි මේලොව මා තනිව ගියේ
ආයෙත් දවසක එකහිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට පියේ
සනත් නන්දසිරි මහත්මානන් විසින් ගායනය කරන ලද මේ ගීතය අහන විට මගේ ඇහට නම් කඳුලක් එකතු වුනා.ඔයාලටත් මේ හැගීම දැනෙන්න ඇති. තමාගේ පෙම්වතිය මියගිය ප්රේමවන්තයකුගේ ශෝචනීය හැගීම මෙම ගීතයෙන් ඉතාමත් දුක්බර ලෙස ප්රකාෂ කෙරෙනවා. තමාගේ පෙම්වතිය මිය ගිය ශෝකය හේතුවෙන් රචකයා විසින් ගීතය ලියා ඇති අතරම ගීතය පළමු වතාවට ශ්රවණය කිරීමෙන් පසු ඔහු සිය දිවි හානි කරගෙන මියගොස් ඇතැයිද ප්රකාශ කරනවා..
නව රැල්ලේ ඝෝෂාකාරී ගීතයකට වඩා මේ ගීතය කොතරම් අඟනේද?