හොදයි මගේ රත්තරන් යාලුවනේ අදත් මම ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් blog post එකක් ගෙනාවා.
මේක මම ලියපු එකක් නොවුනට අරගලය ගැන මගේ මතයට ගොඩක් ලගින් යන නිසාත් ...
එක වුනේ එහෙමයි නේද කියල මේක කියවල හිතන්න පුළුවන් නිසාත් ....
රටේ අනාගතය යන අත මේක වෙයි කියල හිතන්න පුළුවන් නිසාත් ....
මේක ගේනවේ ....
ඔබ නොදන්නා බොහෝ දේ
ලංකාව පිළිබඳව සිතීමට ලිවීමට මිඩංගු කල කාලය තුල මට තවත් පර්යේෂණ පත්‍රිකා 50ක් වත් CV එකට එක් කරගන්න තිබුණි. නමුත් ඒ ගැන මම කම්පා නොවෙමි. එහෙත් තව දුරටත් එයම කළහොත් අනාගතයේදී කම්පා වීමට සිදුවන බව මට පෙනෙයි.
මගේ සියළු දැනුම සහ බුද්ධි තොරතුරු එකතු කර බලන විට මට පෙනෙන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේදී සිදු වූ එකම spontaneous සංසිද්ධිය අරගලයේ ඇරඹුම බවයි. එය එවකට පැවති පාලකයාගේ සහ සහචරයන්ගේ මුග්ධ ක්‍රියාන්විතය නිසාම ජනතාව පැවති රජයට එරෙහිව අවදිවූ විරෝධයකි. එය අවබෝධකරගෙන නායකත්වය සැපයීමට නොහැකිවීම ජවිපෙ ලද දරුණුම පරාජයකි.
අරගලය ආරම්භ වූ පසු දේශපාලන බලවේග කිහිපයක් එහි ගාමක බලය අවබෝධ කරගෙන මුදල් පොම්ප කරන්න විය. ඉන් එක පුද්ගලයෙක් ඔබ කිසිවෙක් නොසිතන එවකට පාලන තන්ත්රයේ ප්‍රබල චරිතයක් විය. ඔහුගේ පළමු ඉලක්කය සාර්ථක වුවත් ඉන් පසු වුයේ ඔහු කිසිසේත් නොසිතූ ප්‍රතිදානයකි. අද ඔහු නන්නත්තාර වී ඇත.
අරගලයේ මුල් සමයේදී එය හාස්‍යට ලක් කල ලෝක බලවතුන් එහි පළමු මස ගතවන විට ඒ කෙරේ විශාල අවධානයක් යොමු කරන්න විය. බොහෝ රටවල සමාජ විද්‍යා වියතුන් ලාංකික අරගලය පිළිබඳව තම අවධානය යොමු කරන්න විය. ඒ ඇසුරින් ආචාර්ය උපාධි පවා ඇරඹෙන්න විය. මේ සමගම ලෝක බලවතෙක් මේ ගැන සෙවීම පිළිබඳව කමිටුවක් පත්කළේය.
අරගලයට නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක්, මාර්ග සිතියමක් අවශ්‍ය බව මම පුන පුනා කියන්න වුණේ මේ අවස්ථාවේදීය. නමුත් එය ඇසීමට සවන් නොතිබුණි. ඉන් දින කිහිපයකට පසු අරගලයේ ප්‍රතිඵලය තීරණය කිරීම අදිසි හස්තයක් වෙත පැවරුණි.
රනිල් ජනපතිවීම අහම්බයක් නොවේ. එය ආරගලයේ අවසාන කාර්තුවේදී කිසියම් තානාපති කාර්යාලයකදී තීරණය විය. මේ බව දැනගත් විට මම ලිපියක් ලියමින් ලංකාවේ අනාගත නායකයා තීරණය වී ඇති බව මුහුණු පොතේ සටහන් කලෙමි. මට බොහෝ දේ ලිවීමට නොහැකිය. මා කී දේ තේරුම් ගත් සමහරෙක් විය.
ලෝක බලවතුන් ගෝඨාභය කෙරේ සැහෙන විශ්වාසයක් තැබුවේ ඔහු ඇමරිකන් පුරවැසියෙකු නිසාය. නමුත් ඔහු මෝඩ ගොම තැම්මබක් බව වසර දෙකකදී ඔවුන්ට අවබෝධ විය. රනිල් පිළිබඳවද ඔවුන්ට විශාල බලාපොරොත්තුවක් නොවීය. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබුණි.
රනිල් යනු සමාර්ට් පුද්ගලයෙක් නොවේ. එහෙත් ඔහුගේ ස්වාමියා ස්මාර්ට්ය. ඔහු ලෝකයේ ඉහලම බුද්ධි ජාලය සහ දැනුම් සංකීර්ණය සතුය. ගෝඨාභයට මේ ස්මාර්ට් ස්වාමියා තේරුම් ගැනීමට තරම් මොළයක් නොතිබුණි. රනිල්ට ඊට වැඩ බුද්ධියක් ඇත. මේ නිසා ලාංකිකයා ඉදිරියේ රනිල් සමාර්ට් පුද්ගලයෙකි. අන්ත මුග්ධ, ග්‍රාම්‍ය පොහොට්ටුවන් 134 ඉදිරියේ ඔහු අතිශය ස්මාර්ට් පුද්ගලයෙකි. දිවි හිමියෙන් එජාපයට කැපවුවන්ටද ඔහු ස්මාර්ට්ය. මම එහි වරදක් නොදකිමි. එහෙත් රනිල් යනු ස්මාර්ට් ස්වාමියකුගේ අණසක අනුව වැඩ කරන රෝබෝවකි.
මා සිතන ආකාරයට දැන් ලංකාව යනු ලෝක බලවතුන්ගේ පර්යේෂණ සාම්පලයකි. රටක් අන්තර් ජාතික සමාගම් කිහිපයක පාලනයට නතු වූ විට එය ලෝක බලවතුන්ට බලපාන ආකාරය පිළිබඳව පර්යේෂණ නියැදියක් බවට ලංකාව පත්ව තිබේ. විද්‍යාඥයෙකු වශයෙන් මමද මේ පර්යේෂණයට ලොබ බඳිමි. නමුත් අවාසානාවට මමද මේ නියැදියේ අවශේෂ පර්යේෂණ සාම්පලයක් වෙමි.
ලංකාව අද පත්ව ඇති තත්වයට සම්පුර්ණයෙන් වග කිවයුත්තේ රාජපක්ෂ පවුලයි. ඔවුන් ට්‍රිලියන ගණනින් රටේ සාරය ගසා කෑවේය. තවමත් බොහෝ මුග්ධයන්ට මෙය නොතේරෙයි. ගෝඨාභය ගසා කෑවාදැයි මම නොදනිමි. නමුත් තමන්ගේ අමන, අනුවණ, උද්දච්චකම නිසාම ඔහු ගත් උම්මත්තක තීරණ නිසා ලංකාව අද පවතින තත්වයට පත්විය.
රනිල් හා අලඟු තැබීමටවත් රාජපක්ෂලා හෝ ඔහුගේ හෙංචයියන්ට නොහැක. ඒ රනිල් ස්මාර්ට් නිසා නොව රනිල්ගේ ස්වාමියාගේ ස්මාර්ට්කම නිසාය.
එසේම රනිල් සමග හැප්පීමට සමත් විඥානයක් ඇති පිරිසක් ලංකාවේ නොමැති සේය. ඔබ ගන්නා සියලු පියවරයන්ගෙන් සිදුවන්නේ ජනතාව ඔබගෙන් ඈත් වීමයි. වැඩවර්ජන, අන්තරේ විරෝධතා පිළිබඳව දැන් ජනතාවගේ ප්‍රතික්‍රියා විමසා බලන්න. රනිල් පියවර ගන්නේ ඔහුට ස්වාමියාගෙන් ලැබෙන අණ සහ උපදෙස් අනුවයි. මේ උපදෙස් ලැබෙන්නේ රටවල් ගණනාවක කරන ලද පර්යේෂණ ප්‍රතිඵල අනුවයි.
රටක ජනතාව සමස්තයක් වශයෙන් ගත් කල බුද්ධි හීන භූතාර්ථයකි. එය ඇමරිකාවටද අදාළය. සමාජ විද්‍යාඥයන් සියළු රටවල් සඳහා ජන විඥානය quantify කරයි. මෙහිදී ලංකාව ඉතා පහල අගයක් ගනියි. එහි තේරුම ලාංකික ජන විඥානය ඉතා පහසුවෙන් manipulate කළහැකි බවයි.
මා වැනි ඉතා සුළු නොවැදගත් පුද්ගලයෙකුට කල හැකි දේ ඉතා අල්ප බව මම දැන් තේරුම් ගනිමි. ලාංකික ඔබට ඔබ අදහන ආගමක සරණයි.
source ;
https://chandimagomes.blogspot.com/...4rSoRIo1PvSnKl_hhgYQmj0zpEWTLImfyOoKkg29Cbv9Q