ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට හේතුවක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට හේතුවක්

දණ නමාගෙන ඉඳගෙන වැඩි වේලාවක් වැඩපළෙහි යෙදීම ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට හේතුවක්​

am1104032-1.jpg
am1104032-2.jpg

අස්ථි පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝග අතරින් ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගොදුරු වූ රෝගීහු ශ්‍රී ලංකාව තුළ සුලබව හමුවෙති. සාමාන්‍ය ව්‍යවහාරයේ මෙම රෝගය හඳුන්වනු ලබන්නේ රක්තවාතය - රක්ත ප්‍රමේහය ලෙස ය. ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට බහුලව ම ලක්වන්නේ පාදවල දණහිස සන්ධි දෙක ය.

ඊට අමතරව උකුල් සන්ධිය උරහිස සන්ධිය ඇතුළු අස්ථි පද්ධතියේ තිබෙන ඕනෑම සන්ධියක් ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගොදුරු විය හැකි ය.

අපගේ ශරීරයේ සෑම සන්ධියක මෙන් ම දණහිස් සන්ධියේ ද අස්ථි දෙකක් ඇත. එම අස්ථි දෙක වටා ආස්තර කාටිලේජයක් ඇත. අස්ථි දෙක ආවරණය කරනු ලබන්නේ මෙම කාටිලේජය මගිනි. දණහිසේ ඇති එම අස්ථි සුමටව ක්‍රියා කරනු ලබන්නේ මෙම ආස්ථර කාටිලේජය නිසා ය. විවිධ හේතු මත මේ ආස්ථර කාටිලේජය ටිකින් ටික ගෙවීමට පටන් ගනී.

ඉන්පසුව අස්ථි දෙක එකිනෙක ගෑවීමට පටන් ගනී. එවිට අධික වේදනාවක් ඇතිවේ. ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ලෙස හඳුන්වන්නේ මෙලෙස ඇතිවන රෝග තත්ත්වය ය.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇති වීමට හේතු කීපයක් ම බලපාන බව පෙනී යයි. පාදයේ සන්ධි අතර ආස්ථර කාටිලේජය ගෙවී, ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන ම හේතුව වන්නේ වයසට යාම ය. වයසට යාමත් සමඟ ම ඕනෑම අයකුගේ දණහිස්වල කාටිලේජ ගෙවීමට ලක්වේ. එහි ප්‍රතිඵලය වන්නේ පාදයේ අස්ථි දෙක එකිනෙක ගැටීම ය. එවිට අධික වේදනාවක් මෙන් ම දණහිස අවට ඉදිමීමක් ද ඇතිවේ. මෙය Degenerative Osteo arthritis ලෙස හැඳින්වේ.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමට හේතුවන අනෙක් සාධකය වන්නේ ස්ථුලතාවයයි. අපගේ ශරීරය අනවශ්‍ය ලෙස මහත්වූ විට ශරීරය දරා සිටීමට පාදවලට අධික වෙහෙසක් දැරීමට සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේද පාදයේ සන්ධි ඉක්මනින් ගෙවීම ය. ඒ ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමට බලපාන තවත් හේතුවකි.

(ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමට හේතුවන අනෙක් සාධකය වන්නේ ජානමය බලපෑමය. ආතරයිටිස් රෝගය පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයක් ලෙස හැඳින්විය හැකි ය. මවට හෝ පියාට ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇත්නම් පුතාට හෝ දියණියට රෝගය හට ගැනීමේ හැකියාව වැඩි ය. සන්ධි ආශ්‍රිතව ඇති වන වෙනත් රෝගයන් ද පසුකලකදී ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමට හේතුවන බව දැන් පැහැදිලි වී ඇති කරුණකි.

උදාහරණ ලෙස රුමටොයිඩ් ආතරයිටිස්, සොරයිටික් ආතරයිටිස් වැනි සන්ධි රෝග නිසා පසු කලකදී, ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගොදුරුවීමේ හැකියාව ඇත.

ආතරයිටිස් ඇතිවීමට හේතුවන මීළඟ සාධකය ලෙස සන්ධි ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම් (භග්නයන්) හැඳීන්විය හැකි ය. සන්ධියක් ආශ්‍රිතව අස්ථි බිඳීමක් සිදුවී ප්‍රතිකාර කිරීමෙන් පසුව එම අස්ථි නිසි පරිදි සවි නොවුණහොත් එය ද ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමට හේතු විය හැකි ය. මෙය ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ ද්විතික අවස්ථාව ලෙස හැඳින්වේ.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳව දැන් අපි විමසා බලමු.

ප්‍රධාන රෝග ලක්ෂණයන් වන්නේ දණහිස ඉදිමීම, දණහිස් ආශ්‍රිතව ඇතිවන අධික වේදනාව කැක්කුම සහ සන්ධි ඇදවීම යන ඒවා ය. ඒ අතරින් ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාව ය. මේ වේදනාව ඇතැම් විටෙක දණ හිස තුළ පමණක් ඇතිවිය හැකි ය. ඇතැම් විටෙක එම වේදනාව දණ හිස තුළ සිට කලව ප්‍රදේශයට හෝ කෙණ්ඩ ප්‍රදේශයට විහිදිය හැකි ය.

ඇතැමුන් ගේ දණ හිස ආශ්‍රිත වේදනාව සමඟ උකුල් සන්ධියේ වේදනාවක් ද ඇතිවිය හැකි ය. ඒ ප්‍රධානම රෝග ලක්ෂණය වන වේදනාව පිළිබඳව ය. ඉදිමුම පිළිබඳව සැලකීමේදී දණ හිස වටා ම එක හා සමානවම ඉදිමීම ඇති විය හැකි ය. එසේ නැතහොත් ඇතැමුන් ගේ දණහිස ඉදිරිපසින් හෝ පිටුපසින් ඉදිමුමක් ඇතිවිය හැකි ය.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගය නිසා දණහිස එසේ ඉදිමීමට ප්‍රධාන හේතු දෙකක් ඇති බව පෙනී යයි. ඉන් පළමු වැන්න දණ හිස ආශ්‍රිතව තිබෙන පටල ඉදිමීමයි; ගනකම් වීම ය.

am1104032-4.jpg

අපගේ ශරීරයේ සෑම සන්ධියක් ආශ්‍රිතව ම සුවිශේෂ තරලයක් ඇත. එම තරලය වෑහෙන්නේ සන්ධිය ආශ්‍රිත ආස්ථර පටලයෙනි. යමෙකුට ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවූ විට මේ තරලය අවශ්‍ය ප්‍රමාණයට වඩා වෑස්සේ. දණ හිස ඉදිමෙන්නේ එවිට ය. එසේ වැඩියෙන් තරලය වෑස්සෙන්නේ සන්ධිය ආරක්ෂා කර ගැනීම සඳහා ය. සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘දණහිසේ වතුර’ යැයි කියන්නේ මේ අවස්ථාවට ය. දණහිස ආශ්‍රිතව තරලය වැඩියෙන් එකතු වනවිට ඉදිමුම මෙන් ම වේදනාව ද වැඩිවේ.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ අනෙක් රෝග ලක්ෂණය වන්නේ සන්ධි ඇදවීමය. ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ දී සන්ධියේ අස්ථි අතර කාටිලේජය ගෙවුණු පසුව අස්ථිය ගෙවීමට පටන් ගනී. දණහිස සන්ධියේ එක් පැත්තක් ගෙවෙන විට දණහිස ක්‍රම ක්‍රමයෙන් ඇදවීමට ලක්වේ. මෙහිදී පාදය බකල ස්වභාවයක් ඇතිවීම හෝ එළියට ඇදවීමක් සිදු වේ.

ආසියාවේ බොහෝ රටවල වැඩි පිරිසක් ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ගොදුරු වීමට බලපාන ප්‍රධාන කරුණක් වන්නේ දණ නමාගෙන සිටින ඉරියව්වෙන් වැඩි වේලාවක් ඉඳගෙන යම් යම් රැකියාවල නිරත වීම මෙන්ම එම ඉරියව්වෙන් හිඳගෙන වැසිකිළි යාමය.

වැසිකිළි යාම සඳහා කොමොඩ් භාවිත කරන බටහිර රටවල මෙම රෝගයට ගොදුරු වූවන් සාපේක්ෂව අඩුය. ඉහත ඉරියව්වෙන් බිම හිඳගෙන සිටින විට අංශක 140 ක් පමණ පාදයේ සන්ධිය නැමෙන නිසා සන්ධියේ ඇති කාටිලේජ ඉක්මනින් ගෙවී යාමට එය බලපෑ හැකිය.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී එය රෝගයේ ස්වභාවය අනුව කීප ආකාරයකට වර්ග කළ හැකිය. ඒ ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ පළමු අවස්ථාව, දෙවැනි අවස්ථාව, තුන්වැනි අවස්ථාව, හතරවැනි අවස්ථාව සහ පස්වැනි අවස්ථාව ලෙසය.

මෙහිදී පළමු සහ දෙවැනි අවස්ථාව යන අවස්ථා දෙකේ රෝගය පවතීනම්, ඖෂධ සහ ඖෂධීය නොවන ක්‍රම මඟින් රෝගයට ප්‍රතිකාර කළ හැකිය. ඖෂධ ලෙස ඇස්පි‍්‍රන්, පැරසිටමෝල්, ඉබියුප්‍රෝපේන් වැනි ඖෂධ භාවිත වේ.

වේදනාව නැසීමට භාවිත කරන එම ඖෂධ වලට අමතරව කාටිලේජ වර්ධනය කරන ඖෂධ වර්ග ද ඇත. ග්ලුකෝස් ඇමීන් සහ කොන්රොයිටින් සල්පේට් එම ඖෂධවලින් කීපයකි.

ඉහතින් දැක්වූවාක් මෙන් එලෙස ඖෂධවලින් රෝගයට සහනයක් ලද හැක්කේ රෝගය පළමු අවස්ථාවේ සහ දෙවැනි අවස්ථාවේ පවතින්නේ නම් පමණි. මෙම අවස්ථා දෙකේ රෝගය පවතින විට ඖෂධීය නොවන ක්‍රමයන් වන භෞත චිකිත්සක ප්‍රතිකාර, ව්‍යායාම ආදිය මඟින් ද රෝගයට සුවයක් ලබාගත හැකිය.

එසේම මෙහිදී දණහිස අවට තිබෙන මාංශපේශීන් ශක්තිමත් කිරීම සඳහා ගැළපෙන ව්‍යායාම යොදාගත හැකිය. ඖෂධීය නොවන ප්‍රතිකාර යටතට යම් යම් විශේෂිත ආලෝක කිරණ මඟින් සන්ධිය රත් කිරීම උතබපච ඉධභදඤ ප්‍රතිකාරය ද භාවිත වේ.

මෙම ප්‍රතිකර්මවලට අමතරව ඔස්ටියෝ ආතරයිටිස් රෝගය අවම කරගැනීම සඳහා සෙරෙප්පු පැලඳීම, ඇවිදීමේදී හිඳ ගැනීමේදී නිවැරැදි ඉරියව් භාවිත කිරීම වැනි සුළු සුළු ක්‍රියාකාරකම් ද යොදා ගත හැකිය.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ පළමු සහ දෙවැනි අවස්ථාවන්ට ඉහත ප්‍රතිකාර භාවිත කළ ද, රෝගයේ තුන්වැනි හතර වැනි සහ පස්වැනි අවස්ථාවේ පවතින විට එම ප්‍රතිකාර මඟින් සුවයක් ලැබීම අසීරුය.

මෙම රෝගය බරපතළ අවස්ථාවට පත්වන විට සන්ධිවල කාටිලේජ සම්පූර්ණයෙන්ම පාහේ ගෙවී යාමට භාජනය වී, අස්ථි මතු වී, එක් අස්ථියක් අනෙක් අස්ථිය මත ගැටෙන නිසා කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ ශල්‍යකර්මයක් මඟින් අස්ථි බද්ධයක් සිදු කිරීමය. මෙම ශල්‍යකර්මය සිදු කරනු ලබන්නේ රෝගියාගේ වයස පිළිබඳව සිතා බැලීමෙන් අනතුරුවය.

තරුණ වයසේ පසුවන අයකු ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ තුන්වැනි සතර වැනි සහ පස්වැනි අවස්ථාවන්ට පත් වී ඇත්නම් ශල්‍යකර්මයක් මඟින් සන්ධි බද්ධ කිරීමට වඩා ශල්‍යකර්මයක් මඟින් සන්ධියේ අස්ථියක කොටසක් කපා ඉවත් කිරීමෙන් මෙම රෝගයට ප්‍රතිකාර කළ හැකිය.

වයස අවුරුදු 50 - 65 වයසේ පසුවන අයකුට ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ තුන්වැනි හතර වැනි හෝ පස්වැනි අවස්ථාව ඇත්නම් සන්ධි බද්ධ කිරීමක් සිදු කෙරේ.

සන්ධි බද්ධ කිරීමක් ලෙස මෙහිදී හඳුන්වනු ලබන්නේ සම්පූර්ණ දණහිසක් යෙදීම නොවේ. මෙහිදී සිදු කෙරෙන්නේ රෝගය හටගෙන ඇති සන්ධියේ ආස්ථර කාටිලේජය ඉවත් කර ඒ වෙනුවට ලෝහමය සන්ධියක් බද්ධ කිරීමය.

am1104032-5.jpg

මෙහිදී භාවිත වන ලෝහ ලෙස ටයිටේනියම්, ස්ටේන් ස්ටිල්, නිකල් ක්‍රෝම් වැනි ඒවා භාවිත වේ. මෙම කෘත්‍රිම ලෝහමය සන්ධියේ ලෝහ අස්ථි දෙක අතරට හයිඩෙන්සිටි පොලි එතලින් වැනි ද්‍රව්‍යයක් භාවිත වේ. ඒ මෙම සන්ධියේ සුමට බව ආරක්ෂා වීමටය. මෙමඟින් දණහිස ගෙවීම වළක්වාගෙන, දණහිසේ ඇදය නිවැරැදි කරගෙන ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් මිදීමේ හැකියාව ඇත.

මෙම ශල්‍යකර්මය සිදුකර වසර 15 ක් 20 ක් පමණ ගතවූ පසුව සන්ධියේ ලෝහමය කොටස් දෙක අතරට යොදා ඇති හයිඩෙන්සිටි පොලි එතිලින් කොටස ගෙවී යාමකට ලක්විය හැකිය. එහිදී නැවත ශල්‍යකර්මයක් මඟින් එම තත්ත්වය සුවපත් කරගත හැකිය. දෙවැනි අවස්ථාවේ කළ යුතු වන ශල්‍යකර්මය බරපතළ එකක් නොවේ.




ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ ආනන්ද පෙරේරා

සිළුමිණ පුවත්පතට ලිව්වේ ගාමිණි සුසන්ත​
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මචන්ලා කමෙන්ට් වලට, බම්ප් වලට, රෙප් වලට බොහොම ස්තුතියි.