මට අවුරුදු 5 දී වගේ වුණ සිද්ධියක් මේක. හවස 6ට වගේ මම ගෙදර ඉස්සරහ(ගෙදර ප්‍රධාන දොරවල් දෙකක් තියෙනවා. මම දකුණු පැත්තේ ඉස්සරහා දොර ළඟ හිටියේ. අනිත් දොර නැගෙනහිර පැත්තේ තීයෙන්නේ. ) මිදුලේ අයියත් එක්ක සෙල්ලම් කර කර හිටියා. ඔය අතරේ කෙනෙක් මගේ දිහාවට එමින් ඉන්නවා මම දැක්කා. අයියට යමක් කියලා ඒ කෙනාව පෙන්නුවා මතකයි. ඒත් අයියා මගෙන් කවුද කවුද කියලා අහලා තියෙනවා. මොකද අයියට ඒ කෙනා පෙනිලා නෑ. කොහොම හරි එකපාරටම ගෙදර නැගෙනහිර පැත්තෙන් එමින් හිටපු මේ කෙනා දැකලා ලොකු බයකින් නෙවෙයි වුනත් තරමක් හයියෙන් කෑගහගෙන අම්මා ළඟට දිව්වා මතකයි. බයක්ම නැතත් පොඩි තිගැස්මක් තිබුණා කියලා මතක. එහෙම වෙන්න ලොකු හේතුවක් තිබුණා.මොකද ඒ ආපු කෙනාගේ ඔළුව තිබුනේ නෑ. ඒත් බෙල්ල තරමක් ඉතිරිවෙලා තිබුනා. හරියට මාළුවෙක් කපලා වගේ බෙල්ල එක ගානට කැපිලා තිබුණේ. ලේ ගැලීමක් වගේ දෙයක් දකින්න තිබුණේ නැති බව මතකයි. උඩු කයට මුකුත් ඇදලා හිටියේ නෑ. යන්තරයක් බෙල්ලේ දාලා තිබුණා. එක එක පාට පොඩි පොඩි රෙදිකෑලි මූට්ටු කරලා මහපු සරමක් ඇදලා හිටියා කියලයි මතක. සරම එච්චර පහළට දිග එකක් නෙවෙයි. දණ හිසෙන් පොඩ්ඩක් පහළට වෙන්න වගේ විතරයි තිබුණේ. කොහොමින් කොහොමින් හරි මේ සිද්ධිය හින්දා අන්තිමට මගේ බෙල්ලටත් යන්තරයක් වැටුණා. යන්තරය දාපුකෙනා කියලා තියෙන්නේ සෙනසුරුගේ ද කොහෙදෝ බලපෑමක් තියෙන කතාවක්. ඔන්න ඉතින් කාලේ ගෙවිලා ගියා. මම කාලයක් හිතුවේ මම ඇත්තටම දැක්කෙ අමනුෂ්‍යයෙක් කියලා. කොහොම වුණත් ඒ ගැන මට කිසිම බයක් දැනිලා නෑ. ඒ කෙනා දැකපු තැන වුනත් ඕන රෑක ඉන්න තනියක් තිබුණේ නෑ. ඒත් පස්සේ කාලෙක මට මේ සිද්ධියට හොඳ විකල්ප මතයක් හිතා ගන්න පුළුවන් වුණා. ඒ තමයි මම පොඩි කාලේ පෙනිලා තියෙන්නේ ඇත්තක් නෙවෙයි හිතින් මවා ගත්ත දෙයක් ඇත්ත වගේ පෙනුන එක බව. මේ ඔළුව නැති මනුස්සයාගේ හැම තොරතුරක්ම මගේ හිතට, නැත්තන් මතකෙට තැනින් තැනින් එකතුවෙච්ච දේවල් බව එකින් එක තේරුම් ගියා. කොටින්ම කිව්වොත් කවුරු හරි කියපු එක කතාවක් මේකට අත්තිවාරම දාලා තිබුණා. ඒ කතාව තමයි මනුස්සයෙක්ගෙ බෙල්ල කැපිලා මැරුණට පස්සේ කඳ විතරක් ඇවිදපු කතාවක්(මට ඕක ඇහිලා තිබුණා). ඒ වගේම ඒ මනුස්සයගේ බෙල්ලේ යන්තරයක් තියෙන්න හේතුව අපේ ගෙදර ඒ දවස් වල යන්තර ගැන අපල ගැන නිතර කතා වුණ එක (අපේ අම්මා වගේම ගෙදර කිට්ටුවම හිටපු ලොකු අම්මත් ඔයවගේ දේවල් සෑහෙන්න විශ්වාස කරන හේතුව නිසා)වෙන්න පුළුවන්. හරියටම කියන්න මතක නැති වුනත් පුංචි කොටු කොටු වැටුන එක එක පාට රෙදි මූට්ටු කරපු ඒ දවස් වල මම ආසම කරපු මොකක් හරි රෙදි කෑල්ලක් තිබුණා යන්තන් මතකයි. අන්න ඒ ඩීටෙල් එක තමයි අර ඔළුව නැති මනුස්සයගේ සරම ඒ විදියේ පාට පාට එකක් වෙන්න හේතුව කියාලා අනුමානයකට මම ආවා. මම සාමන්‍යයෙන් ඇහැට නොපෙනෙන දේවලුත්, නූතන ක්‍රම වලින් පැහැදිලි කරන්න බැරි දේවලුත් තියෙන බව විශ්වාස කරන කෙනෙක්. ඒත් මම මේ කියපු සිද්ධිය නම් එහෙම එකක් නොවෙන බව පිළි ගන්නවා. ඉතින් කෙනෙක්ට අහන දකින්න වෙන සමහර අසාමාන්‍ය දේවල් මේ වගේ මවා ගැනීම් වෙන්නත් ඉඩක් තියෙනවා.


