මැයි දිනයෙන්
වැඩක් ඇත්තේ කාටද?
කාටවත් වැඩක් නැති තවත් මැයි දිනයක් අද උදාවිය. කාටවත් වැඩක් නැතැයි කීවාට මෙයින් වැඩක් වන කිහිප පොළක් සිටිති. ඉන් පළමුවැන්නා ටී ෂර්ට් සහ කැප් සපයන්නාය. එක් එක් දේශපාලන පක්ෂවල ලණු ගිල මැයි පෙළපාලිවලට සහභාගි වීමට එන ලක්ෂ ගණන් ජනයාට පක්ෂයේ පාටින් කැප් සහ ටී ෂර්ට් සාදා දෙන සැපයුම්කරු මුළු අවුරුද්දේම ආදායම සතියක් තුළ උපයා ගනී. ඊළඟට උත්සව භාණ්ඩ සහ ලවුඩ්ස්පීකර් නොහොත් ශබ්දවාහිනී යන්ත්‍ර සපයන්නාට මෙහිදී ගනුදෙනුවක් උපයා ගත හැකිය. මැයි දිනය දවසට බාර් වහනු ඇත. එහෙත් එයට පෙර දවසේ බාර් ඇරලාය. වැඩ කරන ජනතාවට මහත් සේ ආදරය කරන වෘත්තීය සමිතිකාරයෝ පහුවැනිදාටත් එක්ක එදාට බඩු ගනිති. මේ නිසා බාර් වැහිල්ලෙන් කිසිදු පාඩුවක් නැත. බාර් වැහුවත් හොර පොළවල් ඕනෑ තරම් තිබෙන නිසා බඩුවල හිඟයක් මතුවන්නේම නැත.
කිසියම් දේශපාලන ව්‍යාපාරයක් හෝ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ ව්‍යාපාරයක් සාර්ථක වන්නේ එයට බහුජන පදනමක් තිබේ නම් පමණි. මේ කතුවැකිය ප්රතිගාමී ලියෑවිල්ලක් ලෙස නොසිතන්න. කරන්නේ බොරුවක් වුව එහි යථා ස්වභාවය දැනගෙන කටයුතු කළ හැකිනම් හෘද සාක්ෂියට උත්තර දිය හැකිය. ඇත්තම කතා කරනවා නම් අද ලංකාවේ තිබෙන කම්කරු පන්තිය හඳුනා ගැනීමට පවා නොහැකි තරම් කම්කරු පන්තියකි. කුණු ඇඳගෙන නාවර පෙරාගෙන නොකා නොබී කසිප්පු ගසා බර අදින කම්කරු පන්තියක් අද මේ රටේ නැත. කම්කරුවන් ලෙස හඳුනා ගත හැකි සුළු පිරිසක්a වතුකරයේ ජීවත් වෙති. උදේටත් දවල්ටත් රෑටත් පාන්පිටිවලින් තැනූ රොටි කන කහට බොන මේ පිරිස හැර සෙසු සියලු දෙනා සිටින්නේ කම්කරුත් වන, කම්කරුත්a නොවන අතර මැද තැනක ය. මේ අනුව මැයි දිනය හෝ එයට සම්බන්ධ ව්‍යාපාර සියයට සියයක්ම කම්කරු ව්‍යාපාර වීමට තවදුරටත් ඉඩ නැත. කම්කරු කෙසේ වෙතත් ජන පදනමක් ඇති ශ්‍රමික ව්‍යාපාරයක් ඇතොත් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණි. ඒ ව්‍යාපාරය තුළ කසිප්පු නැත. නොමිලයේ දෙන බත් පැකට් නැත. පෙළපාලියේ යන අයට වෙනත්a පක්ෂ මගින් දෙන රුපියල් 500 පටි ජ.වි.පෙ. ව්‍යාපාර තුළ නැත. මෙහි අවුලක් ඇතොත් ඇත්තේ ලාල් කාන්ත සිරිමතුන්ගේ දේශනවල පමණි. එතුමා කතා කරන විට ජනතා විමුක්ති පෙරමුණක් කොහොමටවත් මතක් කරගන්නට බැරිය. මතක් වන්නේ යූ. එන්. පී. සහ ශ්‍රී ලංකා පක්ෂවල පැරණි, දිරා ගිය, පුස් කෑ යටිගිරි කතාය.
හැබැයි, මැයි දිනයට හොඳ ඉතිහාසයක් තිබේ. කොම්ප්රදොaරු සමාජයේ සූරාකෑමට සහ තාඩන පීඩනවලට එරෙහිව ඇමරිකාවේදී පටන්ගත් මේ ව්‍යාපාරය කම්කරුවන් ලෙස පැහැදිලිව හඳුනාගත හැකි, තමන් කම්කරුවන් බව තේරුම් ගෙන සංවිධානය වූ ජනතාවක් ජීවත් වූ යුගයේදී ධනවාදයේ කලු කුහරයට එල්ල කර, සියලු රහස් හෙළි කළ බලගතු ආලෝක ධාරාවකි. අද මේ ආලෝක ධාරාවේ බල්බ්වලට විදුලිය සපයන බැට්රි බැස ගොස් තිබේ. මැයි දිනයේ ආරම්භක අරමුණ අද ඉතිරිව තිබේද? නැත. පසුගිය විසිපස් අවුරුද්ද තුළ මැයි දිනයක් පවත්වා ජනතාව විසින් දිනාගත් දෙයක් තිබේද?
එසේ තිබේ නම් අපට දන්වා එවන්න.
ම්‍ර අද දිවයින පත්තරේ කතුවැකිය