ඔවුන්ගේ ඒ අරමුණ, හරිනිගේ නිබන්ධනය ඔවුන්ගේ ලේඛනාගාරයේ නොමැතිවීම සහ ඔවුන්ගේ ප්‍රශස්තියේ ඇගේ උපාධිය සම්පූර්ණ කළ වර්ෂය වැරදියට යෙදීම වැනි කරුණු සැලකිල්ලට ගත් කල, හරිනිගේ උපාධිය පිළිබඳ සැකය තවත් වර්ධනය වෙයි.
එම නිසා, එඩින්බරෝ හා මාගරට් විශ්වවිද්‍යාල දෙකේ නිල ලාංඡන සහිත උපාධි සහතිකය මුහුණු පොත් පිටුවේ පළ කර හෝ වෙන යම් ක්‍රමයකින් සමාජගත කර, ජනතාව තුල ඇති කකුස නැති කරන මෙන් අපි හරිනි අගමැතිවරියගෙන් ඉල්ලමු.
හරිනි වසර කීපයක් ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කරන ලද පර්යේෂණ සඳහා දර්ශනපති උපාධිය පිරිනමන ලද බව මාගරට් විවි ලිපියේ සඳහන්ය. ලෝක සෞඛ්‍යය හා සංවර්ධනය යනු සමාජ මානවවිද්‍යා විෂය ධාරාවේ අනුවිෂයයකි. හරිනිගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ මාතෘකාව Guardians of childhood: state, class and morality in a Sri Lankan bureaucracy යනුයි. එම නිබන්ධනයේ මාතෘකා මෙසේය.
Chapter 1: Probation and Child Care Services in Sri Lanka
Chapter 2: The Field Site: The Probation Unit Office
Chapter 3: Institutional Rivalries
Chapter 4: Maintaining boundaries: child rights, the state and NGOs
Chapter 5: The tale of two forms: “Jenny’s Forms vs. the Social Report”
Chapter 6: The many faces of Sinhala nationalism
Chapter 7: Abbuddassa Kale :A time of Godlessness
නිබන්ධනයේ මාතෘකාවෙහි හෝ පටුනෙහි පෙළගැස්මෙහි ළමා සෞඛ්‍යයට ඍජුව සම්බන්ධ බවක් නොපෙනේ. මෙය නව යටත් විජිතවාදීන් කබරයා තලගොයා කරන ක්‍රමයකි.
නිබන්ධනයේ අන්තර්ගතය පිළිබඳව එහි ආරම්භයේ ඇති සාරාංශයේ වාක්‍ය කීපයක සිංහල අනුවර්තනය මෙසේය:
“මෙම නිබන්ධනය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස ඒකකයක එදිනෙදා කටයුතු, සබඳතා සහ අන්තර්ක්‍රියා ගවේෂණය කරයි. බහු ස්ථානීය ජනවාර්ගික විද්‍යාව සහ මෙම ක්ෂේත්‍රය පිළිබඳ ජනවාර්ගික පර්යේෂකයාගේ (ethnographer) අත්දැකීම්ද භාවිතා කරමින් පරිවාස ඒකකයේ සේවකයින්, තම සගයින් සහ සේවාදායකයින් සමග සම්බන්ධ වීමට දරුවන් සහ ළමා විය පිළිබඳ ජාත්‍යන්තර හා දේශීය සංවර්ධන කතිකාවන්, අදහස් සහ න්‍යායන් සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න පරීක්ෂා කරයි.
… ‘රාජ්‍ය ආයතන යනු ගෝලීය සංවර්ධන කතිකාව දේශීය භාවිතය සමග සම්බන්ධ වන ස්ථාන වේ’, යන්න, මෙම නිබන්ධනය එහි විශ්ලේෂණාත්මක ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගනී. ඒ අතරම, ඒවා ජාතිකවාදය, පන්තිය, සදාචාරය සහ වෘත්තීය අනන්‍යතාව පිළිබඳ අදහස් සහ භාවිතයන් නිෂ්පාදනය හා ප්‍රතිනිෂ්පාදනය කරන ස්ථානද වේ.”
ලෝක සෞඛ්‍යයට සම්බන්ධ යැයි මාගරට් විශ්වවිද්‍යාලය පවසන මේ පර්යේෂණ පත්‍රිකාවේ 6 වැනි පරිච්ඡේදය, පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි, ආචාර්ය නලින්ද සිල්වා වැනි සිංහල බෞද්ධ සමාජය වෙනුවෙන් මෙහෙයක් කළ චරිත හා සිංහල ජාතිකවාදය සඳහා වෙන්ව තිබේ.
නිබන්ධනයේ සැබෑ අරමුණ කුමක්ද යන්න පිළිබඳව ස්ථිරව යමක් කීමට එය ගැඹුරින් පරිශීලනය කළ යුතුය. බැලු බැල්මට සාමාන්‍ය උපාධි නිබන්ධනයක මාතෘකාවක් සේ පෙනෙන නමුදු, ඊට ආචාර්ය උපාධියක් පිරිනමා ඇත්තේ කිසියම් ‘විශේෂ හේතුවක්’ නිසා විය යුතුය. හරිනි සිය නිබන්ධනයේ සමාප්ති සටහනේ (කන්ක්ලුෂන්) සඳහන් මේ ඡේදය (පරිවර්තනය ලියුම්කරුගේය), ගොනා හැරෙන්නේ පොල් පැළය දෙසට නේදැයි සැක පහළ කරවයි.
“6 වැනි පරිච්ඡේදයේ මම සිංහල ජාතිකවාදයේ වංශ කතාව විස්තර කරමි. මම සිංහල ජාතිකවාදය තුළ ඇති සංකීර්ණතා සහ විවිධ ධාරා පැහැදිලි කරන අතර, එහි ඓතිහාසික පදනම, සමකාලීන දේශපාලනික හා සංස්කෘතික අවශ්‍යතාවලට ගැලපන පරිදි හැඩගස්වාගෙන ඇත්තේ කෙසේද යන්නද පැහැදිලි කරමි. සිංහල ජාතිකවාදයේ පදනම සහ එය සුවිශේෂ දේශපාලන චාටුකතා මගින් ගොඩනගා ගන්නා ආකාරයත් පෙන්වා දෙමි. පරිවාස ඒකක කාර්ය මණ්ඩලය, “රාජ්‍යය”, “ජාතිය”, “සංස්කෘතිය” හා “සදාචාර” යන සංකල්පවලට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සහ ඒ සඳහා ඔවුන් සිංහල ජාතිකවාදයේ සුශේෂ ආකෘතීන් පාවිච්චි කරන්නේ කෙසේද යන්න මම මේ පරිච්ඡේදයේ විස්තර කරමි.”
හරිනි අමරසූරියගේ ආචාර්ය උපාධියේ එක් උපදේශකයකු වශයෙන් කටයුතු කර ඇති මහාචාර්ය ජොනතන් ස්පෙන්සර්, ශ්‍රී ලංකාව ගැන දැඩි අවධානයක් යොමු කළ උගතෙකි. ශ්‍රී ලංකාව අළලා ඔහු පළ කළ පොත් ගණනාවකි. සිංහල බෞද්ධ සමාජයට පහර ගැසූ ස්ටැන්ලි තම්බයියා, ගනනාථ ඔබේසේකර, ජයදේව උයන්ගොඩ වැන්නන් සමඟ එක්ව පොත පත පළ කළ අයෙකි. ස්පෙන්සර්, හරිනි සමග එක්ව සිංහල බෞද්ධයන්ට පහර දීම පිණිස ලියන ලද පර්යේෂණ පත්‍රිකා ජාත්‍යන්තර සඟරාවල පළව තිබේ. මාගරට් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් හරිනිගේ මිතුරියක වන සාලි මලීකා පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳ මාතෘකාවකි. සිංහල බෞද්ධයා යනු සුළු ජාතීන්ට, සුළු ආගමිකයින්ට හිංසා පීඩා කරන පිරිසක් බවට මතයක් ලෝකයට ගෙන යන්නේ මේ ලිපි ලේඛන මගිනි.
හරිනිගේ ආචාර්ය උපාධි නිබන්ධනය ළාමකය. බීඒ උපාධි නිබන්ධනයක් බඳුය. එහි ඉංග්‍රීසි වැරදි පවා තිබේ. මේ නිසා එය මාග්‍රට් විශ්වවිද්‍යාලයෙන් අනුමත නොවී, ස්පෙන්සර්ගේ මැදිහත්වීමෙන් එඩිංබරෝ විශ්වවිද්‍යාලයෙන් පමණක් අනුමත වී දැයි අප තුල සැකයක් තිබේ.
සත්තිකුඹ ජාතකයේ ගිරවුන් ගැන සිත යොමු කළ විට, හරිනි වැන්නවුන් කටයුතු කරන්නේ කෙසේද යන්න සිතා ගැනීම ඒ අතරම් අපහසු නැත. තම්බයියා, ඔබේසේකර, උයන්ගොඩ වැන්නවුන් නැති හිස් තැන මකනු ඇත්තේ හරිනි වැන්නවුන් විසිනි. මොවුන් අතර ඇති වෙනස, හරිනි ක්‍රියාකාරී දේශපාලනයට පිවිස රටේ අගමැති ධුරයටද පත්වීමයි. එය සිංහල බෞද්ධ විරෝධීන්ගේ අලුත් අත්හදාබැලීමක් බව පෙනේ.
සැබෑ ගැටලුව හරිනිට ආචාර්ය උපාධියක් තිබේද නැද්ද යන්න නොවේ. ඇය කටයුතු කරන්නේ රටට හිතවත්වද යන්න සහ රට ගොඩගැනීමට තරම් බුද්ධි මට්ටමක් ඇයට තිබේද යන්නයි. ආචාර්ය උපාධියක් පිරිනමනුයේ කිසියම් ක්ෂේත්‍රයක් පිළිබඳව පර්යේෂණ කර, අලුත්ම අලුත් දර්ශනයක් ඉදිරිපත් කිරීම වෙනුවෙනි. එය කෙනෙකුට ලබාගත හැකි ඉහළම පශ්චාත් උපාධියයි. ආචාර්ය උපාධි පර්යේෂණයක අරමුණ කෙනෙකුගේ පර්යේෂණ, විමර්ශණ, විශ්ලේෂණ හැකියාව මැන බැලීමයි. ඒ අරුතින් ගත් කළ ආචාර්ය උපාධිධරයකු යනු දර්ශනවාදියෙකි. දාර්ශනිකයෙකි. ආචාර්ය උපාධිධාරීන් දසදහස් ගණන් අතරින් – විශේෂයෙන්ම කලා විෂය ධාරා යැයි ප්‍රසිද්ධ ක්ෂේත්‍රයන්හි – දාර්ශනිකයකු සොයාගැනීම මුහුදේ වැටුණු ඉදිකටුවක් සොයාගැනීම වැනි කාර්යයක් බව තතු දන්නෝ දනිති. අලුත් දර්ශන ඉදිරිපත් කිරීම කෙසේ වෙතත්, දශක ගණනාවක් මුළුල්ලේ සිදු වන්නේ ගුරාගේ දර්ශනය දිගටම පවත්වාගෙන යෑමට මුක්කු ගැසීමයි. එසේ නොකරන තැනැත්තන්ට පීඑච්ඩී ලබාගැනීමටද නොහැකිය.
හරිනි අමරසූරිය කරන කියන සමහර දේවලින් ඇගේ බුද්ධි මට්ටම පිළිබඳ සැකයක් ඇති වේ. වරක් ඇය, ‘තමා ඩයනා කුමාරි වගේ යැයි ඇතැමුන් කියන බව’ පවසා තිබුණි. සමහර විට ඒ කියන්නේ වෙන ඩයනා ගැන කෙනෙකු ගැන විය හැකිය.
‘ඇයි අපිව අල්ලන්නෙ නැත්තේ කියලා හොරු අහනවා. අපිට හදිස්සියක් නෑ. වෙලාවට අල්ලන්නම්’ යැයි ඈ ප්‍රසිද්ධියේ කී කතාව ඊට වඩා බරපතල එකකි. ඇගේ කතාවෙන් පැවසෙන්නේ, ඇය සැබෑවටම හොරුන් කවුරුන්ද යන්න දන්නා බවයි. ආචාර්ය උපාධියක් ඇති දාර්ශනිකයකු, බුද්ධිමතෙකු එවැනි කතා කියන්නේ සාක්කි සහිතව මිස ආවාට ගියාට විය නොහැකිය. එසේ නම්, අඩුම තරමින් කන්නට හාල් ඇටයක් පොල් ගෙඩියක් නැතිව මිනිසුන් යක්ෂාවේෂ වී සිටින මේ වෙලාවේ වත් මහ හොරුන් එකෙකු දෙන්නෙකු අල්ලන්නට හරිනි අගමැතිවරිය ඔත්තු නොදෙන්නේ ඇයි? මාලිමාවට ඡන්දය දුන් ජනතාව කට ඇරගෙන බලා සිටින්නේ ජනතා ධනය කොල්ල කෑ මහ හොරුන් අල්ලන තෙක්ය. ඇය හොරුන් ගැන ඇත්තටම නොදන්නවා නම්, මෙවැනි කතා කීමෙන් ඔප්පු වන්නේ, ඇය නිකංම නිකං නිලන්ති කොට්ටහච්චි වැනි තවත් චරිතයක් පමණක් බවයි.
එක්තරා පීඑච්ඩී උපාධි අපේක්ෂකයෙක් තණකොළපෙත්තකුට කටහඬ පුරුදු කිරීමේ පර්යේෂණයක් කළේය. අවසානයේ පැනපං කී විට පිම්මක් පනින්නට තණකොළපොත්තාට පුරුදු කරවන්නට ඔහුට හැකි විය. පසුව ඔහුට අපූරු අදහසක් ආවේය. ඔහු තණකොළපෙත්තාගේ අඬු දෙකක් කඩා පැනපං යැයි කීවේය. ඌ අමාරුවෙන් පිම්මක් පැන්නේය. ඉන් පසු ඔහු තවත් කකුල් දෙකක් කඩා පැනපං යැයි කීවේය. ඌ ඉතා අමාරුවෙන් පිම්ම පැන්නේය. අන්තිමේ පර්යේෂකයා උගේ ඉතිරි කකුල් දෙකත් කඩා පැනපං කිව්වේය. කකුල් නැති ඌට පිම්ම පනින්නට බැරි විය. පර්යේෂකයා සිය පර්යේෂණ වාර්තාවේ මෙසේ ලීවේය.
‘සියලු කකුල් කැඩූ පසු තණකොළපෙත්තාගේ කන් ඇහෙන්නේ නැත’.
සෑම් සෙනෙවිරත්න විසිනි