නාලන්ද එල්ලාවල ඝාතන නඩුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි හමුවේ අද (18) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය. එහි දී විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු නිදොස්කොට නිදහස් කර කළ බව අධිකරණ ආරංචි මාර්ග සදහන් කරනවා.එවකට එජාප මන්ත්‍රීවරුන් වූ සුසන්ත පුංචිනිලමේ මහතාට සහ මහින්ද රත්නතිලක මහතාට චෝදනා එල්ල වී තිබුණේ 1997 පෙබරවාරි 11 වැනි දා හිටපු මන්ත්‍රී නාලන්ද එල්ලාවල සහ ඇමැති ඩිලාන් පෙරේරාගේ රියදුරකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් පිරිසකට බරපතල තුවාල සිදුකිරීම යන චෝදනාවන්ටයි.1988 වසරේ සුසන්ත පුංචි නිළමේ හා ඔහුගේ මැරයන් විසින් ඔලූවට පොල් පරාල ඇන ගසා ඝාතනය කරන ලද කොළඹ වෛද්‍ය පීඨයේ අවසාන වසරේ ශිෂ්‍ය පද්මසිරි ත්‍රිමාවිතාන ඝාතන නඩුවේ සාක්‍ෂිවල දුර්වලතාවය හා පරස්පරතාවය නිසා සුසන්ත පුංචිනිලමේ නිදහස ලබන ලදී.නාලන්ද එල්ලාවල නඩුවේ දෙවන විත්තිකරු වන එවක රත්නපුර හිටපු නගරාධිපති මහින්ද රත්නතිලක මියගොස් ඇති බවට ජූලි මස 05 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී මරණ සහතිකයක් ගොනු කර තිබුණි. මෙම නඩුවේ විශේෂත්වය වන්නේ මහාධිකරණය විසින් සිතාසි යවා සාක්‍ෂිදීමට කැඳ වූ කිසිම සාක්‍ෂිකරුවෙක් අදාළ දිනයේ අධිකරණයට නොපැමිණීමයි.2000 වසරේ රත්නපුර අධිකරණය ගිනි තැබූ අවස්ථාවේදී නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ බොහෝ සාක්‍ෂි විනාශව ගොස් ඇති අතර, මෙම ගිනි තැබීම පිළිබඳව චෝදනා එල්ල වූ පාතාල නායකයෙකු වන 'අම්බිගා’ නමැත්තා ඊට පසු කාලයකදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වන ලදී.