මේ අවස්ථාවේ ද දානය පිළිබඳ තවත් අර්ථයක් පැහැදිලි කර දීමට බුදුරජාණන් වහන්සේ ‘වේලාම’ කතාපුවතින් කරුණු ගෙනහැර දක්වනවා. ඒ කාලයේ උන්වහන්සේ ‘වේලාම’ නම් බමුණා ව උපත ලබා සිටියා ය. ඒ ජීවිතයේ දී මේ වේලාම බමුණා රිදී පුරවන ලද රත්රන් පාත්‍ර අසූහාරදාහක්, රන් පිර වූ රිදී පාත්‍ර අසුහාරදාහක්, අමුරන් පිර වූ කාංචන පාත්‍ර අසූහාරදාහක්, රනින් සරසන ලද රන් කොඩි රන් ගෙජ්ජි වලින් සැරසූ ඇතුන් අසූහාරදාහක්, සිංහ හම්, කොටි හම්, දිවි හම්, පණ්ඩුකම්බල හෙවත් පඬුවන් වර්ණ ඇති සුවපහසු ඝන ලෝමවලින් එලන ලද රන්කොඩි හා රන්ගෙජ්ජිවලින් සැරසූ රථ අසූහාරදාහක්, දුහුල් කාංචනයෙන් සැරසූ දෙනුන් අසූහාරදහක්, පලස් සහිත, ඝන සුවපහසුකම් දැනෙන එළු ලෝමවලින් ඇතිරූ දෙපැත්තට තබන ලද කොට්ට ඇති යහන් හෙවත් කවිච්චි ඇඳ වැනි දේ අසූහාරදාහක් ආදී වන ගරු භාණ්ඩත් කෝසෙය්‍ය පට ආදී සිනිඳු රෙදි වර්ග අසූහාරදාහක් කන බොන දෑ පිළිබඳ ඉහළම තත්ත්වයේ අප්‍රමාණ ප්‍රණීත වර්ග ආහාර පාන වර්ග රාශියක් ආදී වශයෙන් දන් දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ‘සිටුතුමනි, එදා මම වේලාම බමුණා ව ඉපදී ඒ දුන්නේ සැබෑ දානයක්. පළවිපාක ලැබෙන දානයක් කියා නම් හිතන්න එපා. මම නම් එදා ඒ මහා දාන කියා හිතාගෙන දන්දුන්නා තමා. එහෙම වුණත් ඒ දානය පිළිබඳ අබමල් රේණුවක් තරම්වත් පිරිසුදු බවක් පැවතුණේ ම නැහැ. ඒ පිරිසුදු බව ඇති වීමට නම් දක්ෂිණාර්හ පිරිසක් උදෙසා අප දන්දිය යුතු වෙනවා. වේලාම බමුණාට දන්දීමට ලැබුණේ එවැනි දක්ෂිණාර්හ පිරිසක් නොවේ. ඉතින් මොන ම ප්‍රමාණවලින් දාන මාන දුන්නත් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එහෙම වුණත් දානය කියන මෙයින් සිදුවන අත්හැරීම එහෙම නැත්නම් තමන් සතු වෙනත් අයට පරිත්‍යාගයෙන් සිදු වන ලෝභ සිතිවිල්ල මැඩ පවත්වා ගැනීමට හේතු කාරක වෙනවා. දානයෙහි පාරිශුද්ධ භාවය ආරක්ෂා වීමට දන්දෙන දායකයා වගේ ම දන් පිළිගන්නා පිරිසත් සීලාදි ගුණයෙන් යුක්ත විය යුතු වෙනවා. මෙහිදී විශේෂයෙන් දන් ලබා ගන්නා ප්‍රතිග්‍රාහක පිරිස සීලාදී ගුණයෙන් යුක්ත වීම ඒ දානය මහත්ඵල වීමට ප්‍රබල හේතුවක් ම වෙනවා. එහි දී බුදුරජාණන් වහන්සේ මේ දානය පිළිගන්නා පිරිස අතර සෝවාන් වූ ආර්ය මාර්ගයට යොමු වූ උත්තමයෙකු සිටියා නම් ඒ දානය වෙලාම නම් බමුණා ව තමන් දුන් අසූහාරදහසේ ගණන්වලින් දුන් දානයට වඩා මහත්ඵල බවයි. ඒ සෝවාන් වූ සියයක් දෙනා වැළඳූ දානයට වඩා එකදු සකෘදාගාමී අයෙකුවත් සිටියා නම් එය ඊට වඩා මහත්ඵල වෙනවා. මෙසේ සකෘදාගාමි එක අයෙකුටවත් ඒ දානය පිළිගත්තා නම් එය සෝවාන් වූ අය සියයක් සඳහා දුන් දානයට වඩා මහානිසංස, වෙනවා. එවැනි සියයකට වඩා අනාගාමි එක අයෙකුවත් ඒ දානය වැළඳුවා නම් එය සෝවාන් වූ අය සියයක් සඳහා දුන් දානයට වඩා මහානිසංස වෙනවා. එවැනි සියයකට වඩා අනාගාමි එක අයෙකු ඒ දානය වැළඳුවා නම් එය මහත්ඵල වෙනවා. අනාගාමි සියයකට දුන් දානයට වඩා එබඳු රහතන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵල වෙනවා. පසේ බුදුවරු සියයකට දෙන දානයට වඩා එක ලොවුතුරා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵල වෙනවා. එක සම්බුදුරජාණන් වහන්සේ නමකට වඩා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සතර දිසාවෙන් වැඩමවන මහාසංඝරත්නයට දනක්දීම, විහාරයක් කරවා පූජා කිරීම මහත්ඵල වෙන බව බුදුරජාණන් වහන්සේ මෙහි දී අවසාන වශයෙන් පෙන්වා දුන්නා.