කුල භේදය ගැන පැතුම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගාඩි

    ලෝක ඉතිහාසයේ විවිධ සමාජ ක්‍රම වල මිනිස්සුන්ව වර්ග කරලා සහසික ලෙස වේදනාවට පත් කරපු අඳුරු පරිච්ඡේද ඕන තරම් තියෙනවා.

    කළු සුදු වර්ණ බේද වාදය ඒ අතරින් ඉතා සුවිශේෂි එකක් වූවත් දැනටත් ඇෆ්ගනිස්තානය සහ ඉරානය වගේ රට වල පවතින කාන්තා නිදහස සීමා කීරීම් ආදිය ඒ ගණයටම වැටෙන දේවල්. ලංකාවේ ඉතිහාසයේත් මේවන් අඳුරු පරිච්ඡේද ඕනෑ තරම් තිබුනා. ඒ අතරින් දරුණුම එකක් තමයි කුල වාදය කියන්නේ. කුල ක්‍රමය ලංකාවේ තිබුන ප්‍රභලම වර්ගවාද වලින් එකක්. විශේෂයෙන් මහනුවර යුගයට එන විට එය උච්චතම අවස්ථාවට පත් වෙලා තිබුනා.

    ඒ කාලේ හිටපු පහත්ම කුලය රොඩී කුලය. ඉන්න හිටින්න නිවසක් නැති, ගැහැණුන්ට උඩට අඳින්න බැරි, හිඟා කෑමෙන් ජීවත් උන රෝඩීන් පයට පෑගෙන දූවිල්ලට සම කෙරුණා. මේ වන විට රොඩී කුලය වඳ වෙලා ගිහින්. එහෙම නැත්නම් ඒ රොඩී කුලයේ මිනිස්සු අනෙක් කුල අතරටම රිංගා ගෙන බොඳ වෙලා ගිහින්. හැබැයි මේ රොඩීන්ගේ කථාව ආයෙත් කියන්න ප්‍රසන්න විතානගේ සිය සිනමා නිර්මාණය තුලින් උත්සහ කරනවා. ඒ "ගාඩි" නම් සිනමා සිත්තම හරහා.

    මේ චිත්‍රපටියේ පළමු දර්ශනය පැවැත්වුනේ ඊයේ ලිබර්ටි සිනමා ශාලාවේ දී. මටත් එහි පැමිණෙන්න යැයි ආරාධනා කර තිබුනා. යන කොට ශාලාව සම්පූර්ණයෙන් පිරිලා. ඉස්සරහම පේළියේ අයිනට ආසනයක් විතරයි ඉතුරු. බෙල්ල ඇද කර ගෙන බලන්න ගත්තා.

    කතාව දිව යන්නේ 1800 දශකයේ මුලට. බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට රාජධානිය අල්ල ගන්න කාලේ. නිලමේ වරු ශ්‍රී වික්‍රමරාජ සිංහ රජුට විරුද්ධව ඉංග්‍රීසීන් සමග කරන කුමන්ත්‍රණය මේ කතාවට මූලාරම්භය ගත්තා. එහිදි ඒ කුමන්ත්‍රණය රජුට සැළ වී ඔහු කුමන්ත්‍රණ කරුවන් මර්ධනය කරන අකාරය එහි සටහන් උනා. එක් දිසාවෙ කෙනෙකු මරා දමා ඔහුගේ ගෙදර කාන්තාවන්ට පමුණුවන දඬුවම උනේ එක්කෝ ගලක් බැඳගෙන ගඟේ පනින එක. නැත්නම් රෝඩි කුලයට සරණ පාවා දෙන එක. එහි එක් තරුණ බිරිඳක් හැර අන් අය ගඟට පැන සිය දිවි තොර කර ගන්නවා. ඉතිරි වන තරුණ බිරිඳ රොඩියෙකුට පාවා දෙනවා. මේ රොඩී කොල්ලාට ඉන්නේ සජිත් අනුත්තර, ඒ බිරිඳ දිනාරා. කතාව යන්නේ මේ දීගේ එක්ක රොඩී කුලයේ ඉරණම තීරණය වන සිදු වීම එක්ක.

    මෙය එක් ආකාරයක දැවැන්ත සිනමා නිර්මාණයක්. කැළෑ වල, දුර්ග වල, අතීතය පරිස්සමෙන් නිර්මාණය කරමින් ඉතිහාසය සිත්තම් කළ සිනමා පටයක්. ඒ ස්ථාන, දර්ශන තල, ඇඳුම් පැළඳුම් හා වෙස් ගැන්වීම් ඉතා ඉහළ මට්ටමක තිබුනා. ඉතා දැවැන්ත කාර්‍ය මණ්ඩලයක් මෙන්ම විශාල නළු නිළියන් ප්‍රමාණයක් මෙහි යොදා ගෙන තිබුනා. දිසාවේලා, නිලමෙලා ආදී රදලයන් ගත කළ ජීවිතත්, එයට සාපේක්ෂව රොඩියන්ගේ හා අනෙකුත් පහත් කුල වර්ග වල මිනිසුන්ගේ ජීවිත වල වෙනස් කම් කැපී පෙනෙන ලෙස ඉස්මතු කරලා තිබුනා.

    නළු නිළියන් ලෙස ගැනීමේදී අයිරාංගනී සේරසිංහ ඇය තිරයේ සිටි ජවනිකා කීපය සදා මතක හිටින දර්ශන බවට පත් කර තිබුණා. ගෙදරට රාජ සෙබළුන් කඩා පනින මොහොතේ මෙන්ම ගඟට පනින මොහොතේ ඇයගේ මුහුණේ ඉරියව් ඒ සියල්ල කියා පෑවා. සජිත් අනුත්තර අර කතාවට කියන වතුර වගේ නළුවෙක් වෙන්න ඕනේ. දාන භාජනේ හැඩය ගන්න ඔහු නාඩගම්කාරයෝ සරා, බොහීමියානුවා හි තරුණයා ආදී චරිත වලින් මා රසිකයෙකු බවට පත් කර ගත්තා සේම මේ චිත්‍රපටය තුලද ඔහුගේ දස්කම් මතක හිටින ලෙස ඉදිරිපත් කර තිබුනා. තරුණ නිළියක වන දිනාරා මා මීට පෙර දැක තිබුණේ නෑ. ඇය ගේ චරිතය තව ප්‍රබල ලෙස ඉස්මතු විය යුතු යැයි මා විශ්වාස කරනවා. ඇයගේ මුහුණ තුල ඉරියව් මගීන් තව ප්‍රකාශනය විය යුතු දේ බොහෝ තිබුණ බවයි මට හිතෙන්නේ. ඇයට ඒ ශක්තිය දියුණු කර ගන්නට වෙනවා.

    පෙර සිනමා පට වලට වඩා හොඳ කැමරා තාක්ෂණයක් මෙහි භාවිතා කර තිබුණා. ඒත් කැමරා ශිල්පියා ඒ සියල්ල හොඳින් භාවිතා කර තිබුණා දැයි සැක සිතෙනවා. කැමරාවේ අනවශ්‍ය සෙළවීම් දර්ශනය එක දිගට බැලීමේදී වින්දනයට බාදා කලා.

    කතාවේ මුල් කොටස රාජ්‍ය කුමන්ත්‍රණ, රොඩීන්ට පාවා දීම් ආදිය එක්ක ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගත්තත් කතාවේ අග බාගය තරමක් ඒකාකාරීත්වයක් පෙන්නුම් කලා. කතාවේ අර්ථය කුමක් වුවත් මෙය සිනමා පටයක් බැවින් ප්‍රේක්ෂකයා තුල කුතුහලය ඇති කරමින් රසාස්වාදය ජනිත කරවීම සිනමාවේ මූලික කාර්‍යභාරයක්. සිනමාව තුලින් ජනතාව දැනුවත් වෙනවා. නොදන්න පැත්තක් පෙන්වනවා. සමාජයට පණිවිඩයක් දෙනවා. ඒ සියල්ල කෙරෙන්නේ රසාස්වාදය ඔස්සේ. එසේ නොවේ නම් සිනමා පටය වැඩි ජනතාවක් අතරට යන්නේ නෑ. ඒ වෙනුවෙන් වැය මුදල උපයා ගෙන ලාභයක් ජනිත කොට කර්මාන්තය දියුණු වෙන්නේ නෑ. ඒ මගීන් තව නිර්මාණ කරන්න ඇතිවන උනන්දුව ක්ෂේත්‍රය තුල වැඩෙන්නේ නෑ.

    එබැවින් චිත්‍රපටයක් තුල රසාස්වාදය, කුතුහලය , විශ්මිත භාවය ඇති වන සිදු වීම් අන්තර්ගත විය යුතුයි. ඒ හරහා ප්‍රේක්ෂකයා සතුටට පත් ව්‍ය යුතුයි. ඒ ඔස්සේ බැලූ කළ මෙම සිනමා පටය මගීන් ඒ මූලික කරුණ ඉටු වන වා දැයි ප්‍රශ්නාර්ථයක් නැගෙනවා. කතාව ලිවීමේදී එවන් කුතුහලය දනවන ආකාරයෙන්, රාසාස්වාදය නැගෙන ආකාරයෙන් ලියා නොමැති යැයි මට සිතෙනවා. ඒ වගේම අවසානය වූවත් එය බලාපොරොත්තු නොවූ ලෙස අවසන් වී යනවා. ඒම දක්ෂකම් ප්‍රසන්න විතානගේ ගේ අධ්‍යක්ෂණය තුල ගැබ් වී තිබුනේ නෑ. සිනමා පටයකට වඩා කරුණු ඉදිරිපත් කෙරූ වාර්ථා වැඩසටහනක ආකාරයේ අවසානයක් සිනමා පටයකින් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන්නේ නෑ. එබැවින් ප්‍රේක්ෂකයා තුල සිනමාව තුලින් බලාපොරොත්තු වන තෘප්තිය, ආනන්දය මින් නොලැබී යාමට වැඩි ඉඩක් තියෙනවා.

    කෙසේ වෙතත් සමස්ථයක් ලෙස මේ නිර්මාණය මා අගය කරනවා. දැඩි කැපකිරීමක්, වෙහසක් වෙලා ඉතිහාසය නිර්මාණය කිරීමට දැරූ උත්සහය අනිවාර්යයෙන් අගේ කළ යුතු වෙනවා. විශේෂයෙන් කාන්තාවන් සිය උඩු කය නිරාවරණය කරමින් පවා රංගනයට දායක වීම විශාල කැපකිරීමක් ලෙසයි මට පෙනෙන්නේ. එය අනෙක් එවන් චිත්‍රපට වලට වඩා තාත්ත්වික ලෙස ඉදිරිපත් කරන්නට ඔවුන්ට පුළුවන් වෙලා. මෙවන් ඉතිහාසයක් අපට තිබුන බවත්, ඉතිහාසයේ කුණු මුල්ලක සඟවා තබන්නට සමත් මෙවන් අඳුරු පරිච්ඡේද යළිත් සිහි පත් කොට වත්මන් සමාජයට පාඩමක් කියා දීම මෙන්ම වත්මනේ පවතින එවන් අඳුරු මුළු හඳුනා ගෙන ඒවාට එරෙහිව කටයුතු කිරීමට සමාජය බල ගැන්වීමත් මින් සිදු වන සමාජ සේවයන්. ඒ නිසා මෙහි සමස්ථ නිර්මාණ කරුවන්ට මා හිස නවා ආචාර කරනවා.

    ඔබත් මේ නිර්මාණය අනිවාර්යයෙන්ම බලන්න. මතක හිටින ඉතිහාසයේ පාඩමක් බවට එයට පත් වන වාට සැකයක් නෑ.

    ජය!!!

    පැතුම් කර්නර්

    #reviewedbypathumkerner
     
    • Dislike
    Reactions: SLK_sri