කොරෝනාව ජනතාව සහ ආණ්ඩුව

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    කොරෝනාව ජනතාව සහ ආණ්ඩුව

    කාලීන ලිපියකි. ඊ නිවුස් හි පලවූවකි
    බයියන්ට රිදෙන්න පුළුවන්
    ඒත් බයියනි ටොයියනි කියවා බලන්න

    ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.06, ප.ව.7.40) එක්සත් ජාතීන්ගේ සංගමය නම් කළ ලෝක සෞඛ්‍ය දිනය අප්‍රේල් හත්වන දා ලොව පුරා සමරයි. වසර 2018 අප්‍රේල් දහවන දා ලෝක සෞඛ්‍ය දිනය සැමරීමේ විශේෂ උත්සවයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්විය. එහි ප්‍රධාන අමුත්තා වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus ය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ආසියාවේ රටවල් අතර පමණක් නොව සමස්ථ ලෝකය සමඟ සංසන්දනය කරන විට ප්‍රමුඛ ස්ථානයක තිබෙන බව එහිදී කියා සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා එය ලෝකයේ ඉහළ ආදායම් රටවලට ද ආදර්ශයක් බව පෙන්වාදුන්නේ ය. එයට අදාල පුවත Daily News පුවත්පතේ වෙබ් අඩවියේ පල කර තිබූ අන්දම http://www.dailynews.lk/2018/04/10/...ervice-among-worlds-best-who-director-general පිවිසීමෙන් කියවිය හැකි ය.

    විරුවාට නැතිවම බැරි බොරුව මවාපෑම සහ භීතිය..


    මෙම ප්‍රවෘත්තිය මේ දිනවල සමාජ ජාලයන්ගේ වේගයෙන් පැතිර යන්නකි. ගෝඨාභයවාදීන් විසින් මෙය සිය "වැඩ කරන විරුවා"ගේ දක්ෂතාවයන්ට ලැබුණු ජාත්‍යන්තර සහතිකයක් වශයෙන් නිර්මාණ කර තිබෙන තවත් එක් ව්‍යාජ පුවතකි. Daily News පුවත්පතේ වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම පුද්ගලයකුට වසර 2018 අප්‍රේ්ල් දහවන දා පලවූ සම්පූර්ණ වාර්තාව කියවිය හැකි ය. මෙවැනි ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම මගින් ප්‍රදර්ශනය වන්නේ "වැඩ කරන විරුවා" ගෙන් ඔහුගේ ආධාරකරුවන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබී ඇති බවයි. බලය ලබා ගත් ආකාරයටම එම බලය පවත්වා ගැනීමට ද බොරුව මවාපෑම සහ භීතිය නිර්මාණය කිරීමට අද ඔවුනට සිදුව තිබේ.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට හිමි ගෞරවය යා යුත්තේ කාටද?

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම සහතිකය ශ්‍රී ලංකාවට ලබා දෙනවිට රට පාලනය කළේ යහපාලන ආණ්ඩුවයි. සෞඛ්‍ය ඇමතිවරයා දොස්තර රාජිත සේනාරත්න ය. එසේ නම් එහි ගෞරවය හිමිවිය යුත්තේ ඔවුනට ද? නැත. පැහැදිලිව නැත. එහි මූලික ගෞරවය හිමිවිය යුත්තේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ට ය. ඔවුහු බ්‍රිතාන්‍ය යටත්විජිතයන්හි නිදහස් සෞඛ්‍ය සේවය ස්ථාපිත කළහ. ඒ සඳහා දේශපාලන මග පෙන්වීම සහ බලපෑම කළේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයයි.
    නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ වැඩි වශයෙන් ලාංකීය පොදු ජනතාව වෙනුවෙන් ලබාදීමට සටන් කළේ පිලිප්, එන්.එම්, කොල්වින්, එස්. ඒ. වික්‍රමසිංහ වැනි වමේ නායකයෝය. නිදහසින් පසුව බලයට පැමිණ කිසිදු ආණ්ඩුවකට නිදහස් සෞඛ්‍ය සේවයෙන් වියෝවීමට නොහැකි විය. ඒ සෑම ආණ්ඩුවක්ම අඩුවැඩි වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කළේය. අපේ නිදහස් සෞඛ්‍ය සේවයේ ශක්තිමත් අංශයක් වන්නේ ප්‍රජා සෞඛ්‍ය සේවයයි. එමගින් රටේ සිටින ඕනෑම පුරවැසියෙක් ආවරණය කළ හැකිය. මහජන සෞඛ්‍ය සේවකයන්, වින්නඹු මාතාවන්, ඇතුළු බිම් මට්ටමේ සෞඛ්‍ය සේවකයෝ මෙහි දී ඉමහත් කාර්යයක් ඉටු කරති. නිදසුනකට ලංකාවේ ළදරු මරණ අනුපාතය ඉතා අවම මට්ටමක පවත්වා ගෙන යෑමට හැකිව ඇත්තේ දශක ගණනාවක් පුරා අපේ වින්නඹු මාතාවන් සිදු කළ අමිල සේවාව හේතුවෙනි.
    බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් හඳුන්වාදුන් පරිපාලන සේවය ද ප්‍රජා සෞඛ්‍ය සේවය වඩාත් ශක්තිමත් කරයි. ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිට ග්‍රාම නිළධාරියා දක්වා වන ජාලය රට තුළ ශක්තිමත්ය. අපේ නිදහස් සෞඛ්‍ය සේවය ඉහළ මට්ටමක පවතින්නේ මේ සියළු අංශ එක්ව දශක ගණනාවක් පුරා සිදු කරන සුවිශාල කාර්යභාරය හේතුවෙනි. එම ක්ෂේත්‍රයන්හි සියළු සේවකයන්ගේ දහඩිය මහන්සිය සහ කැපකිරීම් හේතුවෙනි. දශක ගණනාවක් පුරා එම ක්ෂේත්‍රයන්හි ලබා ගත් දියුණුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ගිණුමට බැර කිරීමට උත්සාහ කිරීම මනුෂ්‍යයත්වයට තරම් නොවෙයි. එය එතරම් නින්දා සහගත ක්‍රියාවකි.

    දැන් මෙය ගෝලීය සටනකි..

    කෝවිඩ් 19 වසංගතය යනු ගෝලීය වසංගතයකි. මෙයට පෙර එවැනි වසංගතයකට ලෝකය මුහුණ දුන්නේ ශතවර්ෂයකට පෙරය. අද සමස්ථ ලෝකයම වසා ගෙන තිබෙන කෝවිඩ් 19 වසංගතය පරාජය කළ හැක්කේ මානව සංහතිය වශයෙන් එක්ව මුහුණදීමෙනි. මේ වසංගතය පරාජය කිරීමට අවශ්‍ය එන්නතක් සොයා ගැනීමට ලෝකයේ රටවල් ගණනාවක් මේ මොහොතේදී උත්සාහ ගනියි. එම විශේෂඥ කණ්ඩායම් තම තොරතුරු හුවමාරු කර ගනිමින් පොදු සතුරා පරාජය කිරීමට උත්සාහ කරති. බොහෝ රටවල් සහ සංවිධාන හැකි පමණින් එකිනෙකාට උදව් උපකාර කර ගනිති. ඉතාලියේ වසංගත තත්ත්වය මර්දනය කිරීමට සහයවීම සඳහා කියුබාව ඇතුළු රටවල් කිහිපයක වෙෙද්‍යවරු ඉතාලියට පැමිණයහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍ය සහ ද්‍රව්‍යමය සම්පත් සපයයි. දැන් මෙය ගෝලීය සටනකි.

    ද.කොරියාව උදම් ඇනුවේ නැත, උපාය කියා දුන්නේය..

    කෝවිඩ් 19 වසංගතය සාර්ථකව මර්ධනය කළ දකුණු කොරියාවේ විදේශ ඇමතිනිය Kang Kyung wha බී.බී.සී රුපවාහිනියට පසුගිය මාර්තු 15 වනදා පැවසූයේ සමස්ථ ලෝකයම මේ වසංගතයෙන් ගැලවෙන තුරු එය දකුණු කොරියාවේ ජයග්‍රහණයක් නොවන බවයි. දකුණු කොරියාව ලෝකයේ බොහෝ රටවල් ආර්ථික සහ සාමාජීය ගණුදෙනු පවත්වන බැවින් අනෙකුත් රටවලට ඇතිවන අයහපත් බලපෑමෙන් තම රටට ගැලවීමක් නොමැති බව ඇය පැවසූවාය. ලෝකයේ මහ බලවතුන් පස්දෙනා අතරින් චීනය, ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයට වඩා ඉදිරියෙන් සිට කොරෝනා වසංගතය මර්දනය කිරීම ගැන ඇය උදම් ඇනුවේ නැත. අනෙක් රටවලට අපහාස, උපහාස කළේ නැත. අනෙක් රටවල් අපහසුතාවයට පත් කරන ප්‍රකාශ කළේ නැත. ඒ වෙනුවට ඇය මාධ්‍යවේදී Andrew Marr ට පැහැදිලි කළේ , දකුණු කොරියාව කොරෝනා වසංගතය මර්දනය කිරීමට ගනු ලැබූ උපාය උපක්‍රමයි. කෝවිඩ් 19 හඳුනාගැනීම සඳහා ජනතාව දස දහස් ගණනින් වෙෙද්‍ය පරීක්ෂාවට භාජනය කිරීම පළමු උපායයි. දිනකට රටපුරා පරීක්‍ෂණ විසිදාහක් පමණ සිදු කළ බවත් එමගින් කල්ගතවීමෙන් තොරව රෝගීන් හඳුනා ගැනීමට තම රටට හැකි වූ බව ඇය කියා සිටියා ය. විවෘතභාවයෙන් යුතුව ජනතාවට සත්‍ය තත්ත්වය සැමවිට ම හෙළි කිරීම සිය රටේ දෙවන උපාය වූ බව ඇය හෙලි කළාය. කොරෝනා වසංගතය සමඟ සටන් වදිමින් සිටි ලෝකයේ අනෙකුත් රටවලට තම රටේ අත්දැකීම් ප්‍රයෝජනවත් විය හැකි බවද ඇය පැවසුවාය.

    සිංහල බෞද්ධයන්ට දරුණුව වැළඳී ඇති අහංකාරකම, උද්දච්ඡභාවය සහ බොරු මාන්නය..

    දකුණු කොරියාව යනු ලෝකයේ ආර්ථික බලවතෙකි. G-20 රටවල් කණ්ඩායමේ සාමාජික රටකි. දළ ජාතික නිෂ්පාදන වටිනාකම අතින් ලෝකයේ දොළොස්වන ස්ථානයේය. ශ්‍රී ලංකාව නිදහස ලබාගත් වකවානුවේ, අපේ ඒක පුද්ගල ආදායම සහ විදේශ මූල්‍ය සංචිත ප්‍රමාණය සමඟ සංසන්දනය කරන විට කොරියාව අපට වඩා පහළ ස්ථානයක ස්ථාන ගතවී සිටියේය. ඒ වකවානුවේ ලංකාවේ නිවාස පහසුකම් හරිහැටි නොමැති මුඩුක්කු ප්‍රදේශ හැඳින්වූයේ "කොරියාව" වශයෙනි. එහෙත් දශක කිහිපයකට පසුව දකුණු කොරියාව ලෝකයේ ආර්ථික බලවතෙකි. නිදහසින් දශක හතකට පසුව ලංකාව සිටින ස්ථානය ගැන අමුතුවෙන් සාකච්ඡා කළ යුතුව නැත. එහෙත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප තුළ තිබෙන අහංකාරකම, උද්දච්ඡභාවය සහ බොරු මාන්නය නිදහසින් පසු දශක හතේදී සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ ආසාදනය දරුණුව වැළඳී ඇත්තේ සිංහල බෞද්ධයන්ටය. එහෙත් වසර දෙදහස් පන්සීයක ඉතිහාසය ගැන උදාර වාක්‍යය කියනවා හැරෙන්නට වැඩියමක් ප්‍රායෝගිකව සිදුවී නැත.

    ස්වෝත්තමවාද ආසාදනයට ලක්වූ ‘බයි’ ජනයා..

    සිංහල බෞද්ධයන් තුළ තිබෙන මේ ස්වෝත්තමවාද ආසාදනය පසුගිය දශක දෙකකට ආසන්න කාලයේදී ජාතිවාදී දේශපාලන සඳහා සූක්ෂමව භාවිතා කළේය. එම දේශපාලන බලවේගයේ නිර්මාපකයන් වන්නේ රාජපක්ෂ පවුලයි. එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවති යුද්ධය සමයේ රට තුළ ද්‍රවිඩ විරෝධයක් නිර්මාණය කරමින් රට මෙහෙයවු ඔවුහු යුද්ධයෙන් පසුව මුස්ලිම් විරෝධයකට සීරුමාරු වූහ. එයට අමතරව ඇමරිකන් ප්‍රමුබ බටහිර විරෝධයක් ද ගොනු කළහ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් නිරන්තරයෙන් බලාසිටින්නේ සිංහල බෞද්ධ ජනතාව ගිලගැනීමට බවත් ඔවුන් ඒ සඳහා සෑම මොහොතේම ක්‍රමන්ත්‍රණය කරන බවත් ඔවුහු දූපත් මානසිකත්වයෙන් පෙලෙන බහුතරයට ඒත්තු ගැන්වූහ. මෙම ක්‍රමන්ත්‍රණයෙන් සිංහල ජාතිය, බෞද්ධ ආගම ඇතුළු ශ්‍රී ලංකා පිං බිම ආරක්ෂා කර ගත හැක්කේ රාජපක්ෂලාට පමණක් බව ඔවුහු සමාජ ගත කළහ. දකුණේ බහුතරයක් මෙම මතය භක්තිමත්ව වැළදගෙන "මහින්ද රාජපක්ෂ" ආගමේ අනුගාමිකයෝ බවට පත්වූහ. කාල් මාක්ස් ආගම මිනිසාට අබිං කීවා සේ, මහින්ද රාජපක්ෂ ආගමට සිංහල බෞද්ධයෝ බහුතරයක් අන්ධ ලෙස ඇබ්බැහි වූහ. එහිදී අධ්‍යාපන, වයස්, ආර්ථික හෝ සමාජ මට්ටම් අදාළ නොවෙයි. "බයි" ජනතාව වශයෙන් සරළව හඳුන්වන මෙම කණ්ඩායම ලාංකීය සමාජයේ ගාමක බලවේගයකි. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මේ සියල්ලේ අභ්‍යන්තර පදනමයි. මෙය රාජපක්ෂ පවුලේ දේශපාලන පදනමයි. මේ සිංහල බෞද්ධ ජාතිවාදී "බයි" ජනතාව සිටින්නේ ලංකාව තුළ පමණක් නොවෙයි. විදේශගතව ද මේ ආකාරයේ කණ්ඩායමක් ජීවත්වෙයි.

    සැබෑ ගෝත්‍රික ගතිය ප්‍රදර්ශනය කරති..

    කොරෝනා වසංගතය සමඟ දේශීය සහ විදේශ "බයි" හමුදාව නැවන අද කරලියට පැමිණි සිටිති. ජානගත අහංකාරකම, උද්දච්ඡභාවය සහ බොරු මාන්නය යළිත් ප්‍රදර්ශනය කරමින් ඔවුහු කොරෝනා මර්දනය කිරීමේ ශ්‍රී ලංකා වැඩ පිළිවෙලේ සාර්ථක භාවය පිළිබඳ උදම් අනති. එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ ජයග්‍රහණයක් වශයෙන් අර්ථ දක්වති. හුදු බටහිර විරෝධය ප්‍රදර්ශනය කරමින් බ්‍රිතාන්‍යය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා රටවල ජනතාව කොරෝනා වසංගතයට ගොදුරු වී මියයෑම පිළිබඳ උදම් අනති. සමච්චල් කරති. උපහාස අපහාස කරති. ඔවුහු සිය සැබෑ ගෝත්‍රික ගතිය ප්‍රදර්ශනය කරති. කොරෝනා මර්දන මෙහෙයුමේ ප්‍රධාන චරිතයක් නියෝජනය කරන පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ ද සෙසු "බයි" ජනතාව මෙන්ම සිය ගෝත්‍රික ගතිය ප්‍රදර්ශන කරමින් කොරෝනා වසංගතයෙන් මිය යන ඉතාලි ජාතිකයන්ට දිගින් දිගටම අපහාස කරමින් ව්‍යාජ කරුණු ප්‍රචාරය කළේය. අවසානයේ ඉතාලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් ප්‍රකාශකයාගේ අවලාද අසත්‍යය බව අවධාරණය කළේය.
    බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයට (NHS) අපහාස කරමින් ඔවුනට කොරෝනා වසංගතය මර්දනය කිරීමට නොහැකි වුවත් ලංකාවේ සෞඛ්‍ය සේවයට එය කළ හැකි බවට "බයි" ජනතාව උදම් අනති. ලංකාවේ පවතින ශක්තිමත් සෞඛ්‍ය සේවය බිහි කළේ රාජපක්ෂ පවුල යැයි "බයි" ජනතාව සිතා සිටිනවා නොඅනුමානය. එහෙත් අවාසනාවකට ලංකාවට මේ නිදහස් සෞඛ්‍ය සේවය හඳුන්වාදුන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයෝ ය. කොරෝනා වැනි වසංගතයන්ට එරෙහිව සටන් කිරීමේ ප්‍රධාන බල සේනාව වන ප්‍රජා සෞඛ්‍ය සේවය ලංකාවට හඳුන්වා දුන්නේ ද බ්‍රිතාන්‍ය පාලකයෝ ය.

    බාල්දු වී ගිය රාජපක්ෂවාදී වෛරස් මහාචාර්ය...

    මේ මොහොතේ කොරෝනා වෙෙරසය මර්දනය කිරීමේ මූලික බලවේගයක් කර ගතයුත්තේ ප්‍රජා සෞඛ්‍ය සේවයයි. එහෙත් අවාසනාවකට ජනාධිපතිවරයා ප්‍රමුඛත්වය ලබාදී තිබෙන්නේ යුධ හමුදාවටය. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මෙම සටනේදී විශේෂ කාර්රයභාරයක් ඇති බව රහසක් නොවෙයි. එහෙත් ප්‍රජා සෞඛ්‍ය සේවයේ කාර්යය ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට කළ නොහැකිය. මේ පිළිබඳ අපගේ මතය පිලිගැනීමට අවශ්‍ය නැත. "බයි" ජනතාවට මෙරට සිටින විශිෂ්ට වෙෙරස් විශේෂඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණගෙන් මේ පිළිබඳ අසා දැන ගත හැකි ය. ඔහු පොහොට්ටුවේ සාමාජික පක්ෂයක් වන ල.ස.ස.ප (සුළුතර කණ්ඩායම) යේ නායකයා ය. ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි විගස ඔහුව උතුරු මැද පළාතේ ආණ්ඩුකාරධූරයට පත් කළේය. ඔහු රාජපක්ෂවාදියෙකි. එහෙත් අවාසනාවකට මේ මොහොතේ කොරෝනා වසංගතයට එරෙහි සටන මෙහෙයවන්නේ ශවේන්ද්‍ර සිල්වලා, අජිත් රෝහණලා, සීතා අරඹේපොලලා ය. මහාචාර්ය තිස්ස විතාරණලා සිල්ලර කාසි මෙන් බාල්දුවී ගොසිනි.

    කොයි රට සිටියත් බයියා බයියාමය..

    ලංකාවේ සිටියත් විදේශ රටක ජීවත්වුවත් බයියා බයියාමය. සිංහල බෞද්ධ ජාතිවාදයේ ජානගත අහංකාරකම, උද්දච්ඡභාවයෙන් මිදීමට ඔවුනට නොහැකිය. මේ දිනවල වේගයෙන් සමාජ ජාලාවන්හි ව්‍යාප්තව යන "බයි" ජනතාව අතර ජනප්‍රියත්වයට ලක්ව තිබෙන වීඩියෝවක් වන්නේ බ්‍රිතාන්‍යයේ ජීවත්වන "බයි" වෙෙද්‍යවරයෙක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සහ බලධාරීන් අපහාස උපහාස කරමින් ගෝඨාභය රාජපක්‍ෂගේ කොරෝනා මර්දන ව්‍යාපාරය ප්‍රශංසාවට කිරීමයි. මෙයට පෙරද මෙවැනි වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ජාලාවන්හි සංසරණය විය. මේ අතර ඇමරිකාවේ, කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාවේ "බයි" වෙෙද්‍යවරු වෙති. පළමුව කිවයුත්තේ වෙෙද්‍යවරු වුවත් මොවුන් සැබෑ ගෝත්‍රික බයියන් බවයි. මොවුනගේ හැසිරීම වෙෙද්‍ය වෘත්තියට තබා මානුෂිකත්වයට ද තරම් නොවන බවයි.
    හිපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව වෙෙද්‍යවරයෙකුට ජාති, ආගම්, කුල, ගෝත්‍ර හෝ දේශසීමා නොමැත. ඔවුහු සමස්ථ මානව වර්ගයට සේවය කිරීමට ගිවිසගත් පිරිසකි. වසංගතයකින් දස දහස් ගණනින් ජනතාව මිය යන විට ඒ දෙස බලා සතුටු විය හැක්කේ නරුමයෙකුට පමණි. එවැනි මෙහොතක මිය යන ජන සංඛ්‍යාව මත තම රට අනෙක් රටවලට වඩා උසස් යැයි කිව හැක්කේ තුප්පහි ජාතිවාදියකුට පමණයි. ලංකාවේ කොරෝනා මර්දනය සමඟ යුරෝපයේ, උතුරු ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ කොරෝනා මර්දනය සංසන්දනය කළ නොහැකිය. ජනගහනය, භූ පිහිටීම, සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද, කාලගුණික තත්ත්වය ඇතුළු සාධක ගණනාවක් වසංගතයක් මර්දනය කිරීමේදී වැදගත්වෙයි. කොරෝනා වසංගතය මර්දනයේදී විවිධ රටවල් විවිධ ප්‍රවේශ අනුගමනය කරයි. කිසිවෙක් සර්ව සම්පූර්ණ නැත. දකුණු කොරියානු විදේශ ඇමතිනිය පැවසුවාසේ එකිනෙකාගේ අත්දැකීම් වලින් ඉගෙන ගතයුතුය. මෙය ගෝලීය සටනක් මිස ගෝත්‍රික සටනක් නොවෙයි.

    කන්න දුන්න අත හපාකන බයියෝ..

    යුරෝපයේ, උතුරු ඇමරිකාවේ,ඕස්ට්‍රේලියාවේ හෝ කිසිදු දියුණු රටකට ලාංකිකයන් බලහත්කාරයෙන් රැගෙන ගොස් නැත. ඒ සියලු දෙනා දන්නා උපක්‍රම සියල්ල පාවිච්චි කරමින් මේ රටවලට සංක්‍රමණය වූහ. ඉන්පසුව අඩුවැඩි වශයෙන් සිය සනුහරේම එහි ගෙන්වා ගනිති. තම දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට සංවර්ධිත රටක ලැබෙන සියලු සමාජ, ආර්ථික, දේශපාලන වරප්‍රසාද ඔවුහු ලබාදෙති. එම රටවල් ක්ෂණිකව සංවර්ධිත තත්ත්වයට පත්වූයේ නැත. ඒ සඳහා එම රටවල ජනතාව ශතවර්ෂ ගණනාවක් ඉමහත් කැපවීම් කළහ. එම කැපවීම් වල ප්‍රතිඵල භුක්ති විදින මේ රටවල ඇතැම් ලාංකිකයන්ගේ හැසිරීම නින්දා සහගතය. තමන් වසර ගණනාවක් ජීවත්වෙමින් ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට බලපෑ රට වසංගතයකට ගොදුරුව මහා ව්‍යසනයකට පත්ව ඇති මොහොතක එම රටට අපහාස උපහාස කරමින් සතුටු විය හැක්කේ කුමන අන්දමේ මනුෂ්‍යයකුට ද? මේ කන්න දුන්න අත හපාකන වර්ගයේ අසත්පුරුෂයෝය. මේ මොහොතේ සිංහල බෞද්ධ ජාතිවාදයේ ජානගත අහංකාරකම, උද්දච්චභාවයෙන් හැසිරිය හැක්කේ "බයි" ජනතාවටම පමණි.
    පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ ඉතාලියේ කොරෝනා වසංගකයෙන් මියයන ජනතාවට දිගින් දිගටම අපහාස කරන විට එයට දැඩි පිළිතුරක් දීමට ඉදිරිපත් වූයේ ඉතාලියේ ජීවත්වන ලාංකීක කාන්තාවකි. ඇය වෘත්තීයවේදිනියක් නොවෙයි. ඉතා ආවේගයෙන් පිළිතුරු ඇගේ භාෂා විලාසය ගැන අප එකඟ විය නොහැකිය. එහෙත් ඇය ඉතා අවංකය. සත්‍යවාදී ය. ඉතාලියට සංක්‍රමණය වූ ලාංකිකයන්ට ඉතාලි ජාතිකයන් ඉතා හොඳින් සැලැකූ බවත් තමන් ඇතුළු ලාංකිකයන් ඉතාලි ආර්ථිකයේ ඵල භුක්ති විඳිමින් තම පවුල්වල ජීවන තත්ත්වය ඉහළ දමාගත් බව කියා සිටි ඇය, එවැනි රටකට, එවැනි ජනතාවකට "අපහාස කරන්න එපා මිනිහෝ" යැයි පොලිස් ප්‍රකාශකට අවධාරණය කරන්නීය. ඇය කළගුණ දත් තැනැත්තියකි. ඇය කන්න දුන් අත හපාකන වර්ගයේ චරිතයක් නොවෙයි.

    ලෝකයේ විශිෂ්ටතම නිදහස් සෞඛ්‍ය සේවයේ සිටින සිංහල බයි නරුමයා..

    බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) යනු රටේ ජීවනාලියයි. විවිධ අඩුපාඩුකම් පැවතිය ද එය ලෝකයේ විශිෂ්ටතම නිදහස් සෞඛ්‍ය සේවයයි. ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය සේවය NHS හි දිගුවකි. බ්‍රිතාන්‍ය ජාතිකයෝ එම සෞඛ්‍ය සේවයට ඉමහත් ආදරයක් භක්තියක් දක්වති. බ්‍රිතාන්‍යයේ පෞද්ගලික රෝහල් අල්පය. එබැවින් අති බහුතරයක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ NHS සේවය මත රැඳී සිටිති. ජාති, ආගම්, ආර්ථික සහ පුරවැසිභාවයන් නොසලකා NHS සංවිධානාත්මකව ජනතාවට සේවය කරයි. පසුගිය අප්‍රේල් 2 වන දා සවස සිය නිවෙස් වලින් එළියට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෝ NHS සෞඛ්‍ය සේවකයන් කොරෝනා මර්දන සටනේදි දක්වන දායකත්වය අගය කිරීමට අත්පොළසන් දෙමින් සිය කෘතඥතාවය පල කළහ. බ්‍රිතාන්‍ය ජන ජීවිතයේ ජීවනාලිය බඳු NHS හි සේවය කරන පුද්ගලයකු ලංකාව සමඟ සංසන්දනය කරමින් තමන් සේවය කරන තමන් ප්‍රතිලාභ ලබන සෞඛ්‍ය සේවයට අපහාස පරිභව කිරීම සිතා ගත නොහැකිය. ලොව පුරා ජනතා දිනකට දහස් ගණනින් මිය යනවිට සතුටු විය හැක්කේ කවරකුට ද? එවැනි පහත් නින්දා සහගත තත්ත්වයකට පත්විය හැක්කේ සිංහල බෞද්ධ ජාතිවාදයේ ජානගත අහංකාරකම, උද්දච්ඡභාවයෙන් හිස උදුම්මාගෙන සිටින අමනයන්ට පමණි.

    ප්‍රජාතන්ත්‍රවාදය බුල්ඩෝසර් කරමින් යන ජනාධිපති..

    සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය ආසාදනයවී සිටින "බයි" ජනතාව රාජපක්ෂවරුන්ගේ කොරෝනා දේශපාලන උත්කර්ෂයට නංවත්දී ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් බුල්ඩෝසර් කරමින් ඉදිරියටයමින් සිටියි. රටේ ව්‍යවස්ථාවට අනුව අප්‍රේල් 20 වන දාට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. ඒ රාජ්‍ය වියදම් වෙනුවෙන් අවශ්‍ය මුදල් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමටය. මහජන මූල්‍ය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යය. අමාත්‍යාංශය සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යය. එහෙත් ජනාධිපතිවරයා සහ ඔහුගේ සට්ටැඹිරාළ ලා කියා සිටින්නේ පාර්ලිමේන්තුවෙන් මූල්‍ය අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නොවන බවයි. ජනාධිපතිවරයාට රිසි සේ රටේ මුදල් පරිහරණය කළ හැකි බව ඔවුහු කියා සිටිති. එයට අත්වැල් ගායනා සපයන "බයි" ජනතාව කියා සිටින්නේ පාර්ලිමේන්තුව හෝ පාර්ලිමේන්තු මැතිවරණ වලින් තොරව ජනාධිපතිවරයාට හමුදාව සමඟ එක්ව රට පාලනය කරන ලෙසය. අප්‍රේල් 20 වන දාට පෙර පාර්ලිමේන්තුව නොකැඳවා, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය මූල්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළහොත් එය ව්‍යවස්ථා විරෝධී ඒකාධිපති ප්‍රවේශයකි.
    කොරෝනා වසංගතය ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ හමුදා කණ්ඩායමට වෙස්වලාගත් ආශීර්වාදයක් බව අපි මෙයට පෙර ද අවධාරණය කළෙමු. ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කළ ආකාරයට දැන් අධිකරණය සහ පාර්ලිමේන්තුව නොසලකා හැර රට පාලනය කිරීමේ හැකියාවක් ඔහුට ලැබී ඇත.

    විරුද්ධ මත මර්දනයට ලබා දුන් බලපත්‍රය..

    කොරෝනා මර්දනයට මුවාවෙමින් රට පුරා සංවිධානාත්මක භීතියක් නිර්මාණය කරමින් තිබේ. ජනමාධ්‍ය, සමාජ ජාලා හරහා රාජපක්ෂවාදී නිර්මාණය කරන භීතියේ අරමුණ වන්නේ කොරෝනා වසංගතය මර්දනය කළ හැක්කේ ජනාධිපතිවරයා ඇතුළු හමුදා කණ්ඩායමට පමණක්ම යන්න සමාජ ගත කිරීමයි. එම වැඩ පිළිවෙල විවේචනය කරන ඕනෑම අයෙකු දැන් "ද්‍රෝහියකු" වශයෙන් හංවඩු ගසනු ලැබේ. සමාජ ජාලාවල ක්‍රියාත්මක වන "බයි" හමුදාව ඔවුන් අල්ලා පරසක්වල ගසනු දැකිය හැක. මෙහි අවසාන ඉලක්කය ජනතාව මත ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ හමුදා කණ්ඩායමේ ආධිපත්‍යය පැතිරවීමය. පොදු ජනතාවට ඔවුන්ගෙන් තොර ගැලවීමක් නොමැති බව තහවුරු කිරීමය.
    මෙය සංවිධානය ගත මානසික මෙහෙයුමකි. මෙයට සමාන්තරව මර්දන මෙහෙයුමක් ද ක්‍රියාත්මකවෙයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය අප්‍රේල් පළමුවන දා නිකුත් කළ නිවේදනයකට අනුව "අන්තර් ජාලය ඔස්සේ අසත්‍යය හෝ ද්වේෂසහගත ප්‍රකාශ කරන පුද්ගලයන් එරෙහිව දැඩි පියවර" යන නිවේදනය හිට්ලර්ගේ ෆැසිස්ට් පාලනය සිහිගන්වන අන්දමේ භාෂනයේ නිදහස සීමා කිරීමකි. මෙය 'අසත්‍යය හෝ ද්වේෂසහගත" ලේබලය අලවා ඕනෑම විරුද්ධ මතධාරියකු මර්දනය කිරීමට ලබා දුන් බලපත්‍රයකි. මේ පිළිබඳව ලංකාවේ මාධ්‍ය සහ මානවහිමිකම් සංවිධාන දැනටමත් විරෝධය දක්වා තිබේ. Human Rights Watch ආයතනය ද මේ පිළිබඳ විරෝධය දක්වමින් ප්‍රකාශක් නිකුත් කර තිබේ. කොරෝනා වසංගත පාලනය කිරීමේ වැඩ පිලිවෙලට සම්බන්ධ රජයේ නිළධාරියකු විවේචනය කළහොත් අදාළ පුද්ගලයන් අත්ඩංගුවට ගන්නා බවට මෙයට පෙර වැඩබලන පොලිස්පතිවරයා තර්ජනය කළේය. තත්ත්වය දැන් වඩාත් බරපතල වෙමින් පවතියි. මේ වන විටත් "අන්තර් ජාලය ඔස්සේ අසත්‍යය හෝ ද්වේෂ සහගත ප්‍රකාශ කරන පුද්ගලයන් එරෙහිව දැඩි පියවර" යටතේ තරුණයන් කිහිපදෙනෙකු අත්ඩංගුවට ගෙන රිමාන්ඩ්භාරයට පත් කර ඇත.

    ඇඳිරි නීතිය අතරේ පැවැති දහම්ගේ රූෆ් ටොප් පූල් පාටිය...

    ලංකාවේ නීතිය යනු ගෝඨාභය රාජපක්ෂගේ කැමැත්ත බව අපි මෙයට සති කිහිපයකට අවධාරණය කළෙමු. කොරෝනා වසංගතය හමුවේ එය යළිත් සනාථවෙමින් පවතියි. කොරෝනා මර්ධන නීතිරීති සියල්ල නොසලකා හරිමින් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සහ කාංචන විජේසේකර හිටපු මන්ත්‍රීවරයා සිය ගණනක් පාක්ෂිකයන් රැස්කරමින් මැතිවරණ රැස්වීමක් පැවැත්වූ අතර ඒ පිළිබඳ කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් අදටත් ගෙන නැත. හිටපු ජනාධිපති සිරිසේනගේ පුත්‍රයා වන දහම් සිරිසේන පසුගිය මාර්තු 28 වන දා රාත්‍රියේ සිය කොළඹ නිවසේ පසුදා පාන්දර දෙක වනතෙක් මිතුරන් සමඟ එක්ව Roof top pool සාදයක් පැවැත්වීය. මේ නීතිවිරෝධී සාදය පැවැත් වූයේ කොළඹට ඇඳිරි නීතිය පැවැති වේලාවේය. පොලීසිය එම නිවස අවට සිට සාදයට ආරක්ෂාව සැපයීය. මේ පිළිබඳව ජේෂ්ඨ මාධ්‍යවේදිනියක් වන නාමිනී විජේදාස පොලිස් ප්‍රකාශක අජිත් රෝහණගෙන් ලිඛිතව විමසීය. එහෙත් අද වනතුරුත් පොලිස් ප්‍රකාශකයා ඒ සිද්ධිය පිළිබඳව පිළිතුරු ලබා දී නැත. ඩලස්, කාංචන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ප්‍රකාශකයා සහ පොලීසිය අදටත් නිහඬය. පැය විසිහතර පුරා විද්‍යුත් නාලිකා හරහා කොරෝනා මර්දනයේ වටිනාකම කියා දෙන පොලිස් ප්‍රකාශක අජිත් රෝහණගේ මේ නිහඬතාවයෙන් පෙනී යන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ පක්ෂග්‍රාහී ආකාරයයි.

    ඒකාධිපතියන්ට කොරෝනාව ලොතරැයි දිනුමක් නොකළ යුතුය...

    ජනාධිපතිවරයා කොරෝනා භීතියට මුවාවී "රණවිරු" සුනිල් රත්නායක නම් මිනීමරුවා නිදහස් කළේය. ඔහු සිදු කළ ඝාතන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ හමුදා පොලීසියයි. නඩු විභාගයේදී හමුදා පොලිස් නිළධාරීහු සාක්ෂි දුන්හ. ශ්‍රේෂ්ඨාධිකරණය පවා ඔහුට ලබාදුන් මරණ දඩුවම අනුමත කළේය. එවැනි මිනීමරුවකුට ජනාධිපතිවරයා මේ අවස්ථාවේ දී සමාව දුන්නේය. ඔහු මුට්ටිය දමා බැලුවේය. දුමින්ද සිල්වා මීලඟ වාසනාවන්තයා විය හැකිය.
    ඒකාධිපති බල ආශාවෙන් පෙලෙන පාලකයෝ මෙම කොරෝනා වසංගතය සිය බලය ස්ථාපිත කර ගැනීමට භාවිතා කරති. මෙය ලංකාවට පමණක් අදාල වන්නක් නොවෙයි. ඒ පිළිබඳව The New York Times පුවත්පතට Selam Gebrekidan සැපයූ "For Autocrats, and Others, Coronavirus Is a Chance to Grab Even More Power" ලිපිය කියවන ලෙසට අපි ඔබට ආරාධනා කරමු. කොරෝනා වසංගතය ඒකාධිපති වියරුවෙන් පෙළෙනවුන්ට ලොතරැයි දිනුමක් නොකළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පුරවැසියන් මේ මොහොතේ වඩාත් සුපරික්ෂාකාරීව අවදියෙන් සිටිය යුතුය.