කොලොම්බියා ෂටල ඛේදවාචකය සිදුවී අදට වසර 19 යි...

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,663
    7,021
    113
    United States
    කොලොම්බියා ෂටල ඛේදවාචකය සිදුවී අදට වසර 19 යි... 😢

    1200px-Crew_of_STS-107%2C_official_photo.jpg


    අභ්‍යාවකාශ ෂටල ව්‍යාපෘතියේ 113 වන මෙහෙයුම ලෙස කොලොම්බියා ෂටලය 2003 ජනවාරි 16 දින ඇමරිකාවේ කැනවරල් තුඩුවෙන් දියත් කෙරුනේ විද්‍යාත්මක පර්යේෂණ රැසක් සිදුකිරීමේ බලාපොරොත්තුවෙනුයි. එහෙත් මෙම දියත් කිරීමේදී ෂටලයේ බාහිර ඉන්ධන ටැංකියේ තාප පරිවාරක කොටසක් ඉන් ගැලවී ෂටලයේ වම් පියාපතේ වැදී තිබුනේ කිසිවෙකුත් නොදැන යි. මෙමගින් එම ස්ථානයේ තිබූ පෙරසවි කාබන් පරිවාරක කොටසක් කැඩී ගොස් තිබුනා. මෙම තාප පරිවාරක කොටස් කැඩී වැටීම ඡායාරූප වල සටහන් ව තිබුන ද එමගින් හානි වූ ස්ථානය සටහන් ව තිබුනේ නෑ.

    STS-107 ලෙස නම් කර තිබූ මෙම මෙහෙයුම දින 16 කට ආසන්න කාලයක් පෘථිවි කක්ෂයේ විවිධ පර්යේෂණ රැසක් සිදුකල අතර SPACEHAB හා FREESTAR පර්යේෂණ ඉන් ප්‍රධානත්වයක් ගත්තා.

    මෙම මෙහෙයුමට සහභාගි වූ ගගනගාමීන්:

    1. රික් හස්බන්ඩ්, අණදෙන නිලධාරී
    2. විලියම් මැක්කූල්, ෂටල නියමු
    3. මයිකල් ඇන්ඩර්සන්
    4. ඩේවිඩ් බ්‍රව්න්
    5. ලෝරල් ක්ලාක්
    6. කල්පනා චව්ලා
    7. ඉලන් රමොන්

    මින් කල්පනා චව්ලා සහ ඉලන් රමොන් විශේෂත්වයක් ගත් අතර මෙහෙයුමට පෙර ගගනගාමීන් ලබාගත් ඡායාරූපයක් ද ඉහත දැක්වේ.

    කල්පනා චව්ලා ඉන්දියානු සම්භවයක් සහිත පලමු ගගනගාමීවරිය යි. 1962 වසරේ දී ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ උපත ලද ඇය 1991 දී ඇමරිකාවට සංක්‍රමණය වූ අයෙක්. මෙය ඇගේ දෙවන හා අවසාන ෂටල මෙහෙයුම යි.
    ලොව පළමු ඊශ්‍රායල් ජාතික ගගනගාමියා වූ ඉලන් රමොන් 1954 වසරේ ඊශ්‍රායලයේදී උපත ලැබූවා. මෙම මෙහෙයුම ඔහුගේ එකම අභ්‍යාවකාශ මෙහෙයුම යි.

    ෂටලය දියත් කිරීමේදී කැඩී වැටුනු තාප පරිවාරක මගින් ෂටලයේ තටු වලට යම් හානියක් විය හැකි බවත්, ඒ හේතුවෙන් නැවත පැමිණීමට පෙර ඒ පිලිබඳ හොඳින් පරීක්ෂා කල යුතු බවට නාසා ආයතනයේ විද්‍යාඥයන් තෙවරක්ම ඉල්ලීම කල ද ඒ පිලිබඳ ඉහල නිලධාරීන් තැකීමක් සිදුකලේ නෑ. නැවත වායුගෝලට ඇතුල් වීමට දින කීපයකට පෙර මෙහෙයුම් අධ්‍යක්ෂක විසින් ගගනගාමී රික් හස්බන්ඩ් වෙත දන්වා තිබුනේ කිසිදු ගැටලුවකින් තොරව ගොඩබැසීම සිදුවනු ඇති බවයි.

    2003 වසරේ අද වැනි දිනක, එනම් පෙබරවාරි 1 වන දින උදෑසන 8.15 ට කොලොම්බියා ෂටලය නැවත වායුගෝලයට ඇතුල් වීම සිදුකරනු ලැබුවා. ශබ්දයේ වේගය මෙන් 24 ගුණයක පමණ වේගයෙන් වායුගෝලයට ඇතුල් වූ ෂටලය මුල් මිනිත්තු 30 ක පමණ කාලය තුල සාමාන්‍ය ආකාරයට ගමන් කල අතර ගගනගාමීන් කිසිවෙක් පැමිණෙන අනතුර පිලිබඳ දැන සිටියේ නෑ.

    AUemh7a78NwpUUR-ERtq5rZKwFr8aQl8lftITCxDu040iAmJEDjwqdRf0sfapDGujY2zI6wtupxFg3qpBPH-kqGPSMv6j0UBhwHYWaGNutFk5eTUeTfetE74tx3C1T6DYJCYU_RU=s0-d
    debris-Streaks-space-shuttle-orbiter-Texas-Columbia-February-1-2003.jpg


    ෂටලය නැවත වායුගෝලයට ඇතුල් වීමේදී එහි පියාපත් හා ඉදිරිපස කොටස් 1650 °C පමණ අධික උණුසුමකට ලක්වන අතර මෙම තාපය දරාගැනීම සඳහා පියාපත් වල ඉදිරිපස පෙරසවි කාබන් තාප පරිවාරක කොටස් සකසා තිබෙනවා. නමුත් මෙම ෂටලය දියත් කිරීමේදී සිදුවූ අනතුර හේතුවෙන් මෙම අධික උණුසුම් වායු ධාරා ෂටලයේ වම් පියාපත තුලට ගමන් කල අතර ක්‍රමයෙන් ෂටලයේ වම් පියාපතේ කොටස් කැඩී යාම ඇරඹුනා. මෙලෙස ෂටලයෙන් කොටස් කැඩීයාම උදෑසන 8.53 පමණ සිට පොලොවේ සිට ෂටලය නැරඹූ බොහෝ දෙනා දැක තිබුනා. එහෙත් උදෑසන 8.54 ට යානයේ සංවේදක කිහිපයක් ක්‍රියා විරහිත වන තුරුම නාසා ආයතනය හා ගගනගාමීන් සැවොම සිතා සිටියේ ෂටලය නියමිත පරිදි ගොඩබසිනු ඇති බවයි.

    උදෑසන 8.59 ට ෂටලයෙන් ලැබෙන සියලු රේඩියෝ සබඳතා එක්වරම ඇණහිටි අතර ඉන් තත්පර කිහිපයකට පසු ෂටලයේ පාලනය ගගනගාමීන්ගෙන් ගිලිහී ගොස් කැරකැවීමට පටන් ගත්තා. උදෑසන 9 ට ටෙක්සාස් ප්‍රාන්තයට ඉහල අහසේදී ෂටලය කොටස් රැසකට වෙන්වී ගියේ එහි සිටි ගගනගාමීන් සත් දෙනාවම තත්පර කිහිපයක් ඇතුලත මරු තුරුලට යවමිනුයි. මෙලෙස ෂටලය කොටස් වලට වෙන්වී ගිය අවස්ථාව පොලොවේ සිට දිස්වූ ආකාරය තෙවන ඡායාරූපයෙන් දැක්වේ.

    eVupMkz3jVe24NP8KeEnB5.jpg
    KSC-03pd1574_large.jpg


    මෙම සිදුවීමෙන් පසු ගගනගාමී සිරුරු සහ ෂටලයේ කොටස් එක්රැස් කිරීමේ මෙහෙයුමක් ඇරඹුනු අතර එහිදී ෂටලයේ කොටස් 40,000 ක් පමණ හා මිනිස් ශරීර කොටස් රැසක් ද සොයාගැනුනා. මෙලෙස හමුවූ කොටස් මෙහි දෙවන ඡායාරූපයෙන් දැක්වේ.

    මෙම ඛේදජනක සිදුවීමෙන් පසු නාසා ආයතනය ෂටලයේ බාහිර සැකැස්මේ මෙන්ම සිදුකරන මෙහෙයුම් වලත් වෙනස්කම් කිහිපයක් සිදුකලා. මෙම ආරක්ෂක පියවරයන් හේතුවෙන් 2011 වසරේ ෂටල ව්‍යාපෘතිය අවසන් කරන තුරුම වෙනත් කිසිදු අනතුරක් සිදු වූයේ නෑ.


    Credit : © 𝚂𝙴𝙽𝙰𝙽 𝙺𝙰𝙽𝙽𝙰𝙽𝙶𝙰𝚁𝙰
    © 𝙰𝙽𝙳𝚁𝙾𝙼𝙴𝙳𝙰 𝚃𝙴𝙻𝙴𝚂𝙲𝙾𝙿𝙴𝚂