කොළඹට පැමිණීමට නියමිත අයවලුන් වෙනුවෙනි...

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    කොළඹට පැමිණීමට නියමිත අයවලුන් වෙනුවෙනි...


    ”කරූ ජයසූරිය මට කතා කළ විත්තියක් මට මතක නෑ.”

    ”පැහැරගත්ත මිනිහාව නිදහස් කරපු එක වරදක්ද කියලා මම ඇහුව්වා.”

    ඉහත සඳහන් වන්නේ රහස් පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීමෙන් පසුව හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ සිය නිල නිවසේ මිදුලේ සක්මනක යෙදෙමින් මාධ්‍යවේදීන් සමග කී වල්පල් කතා කීපයකි. හතර වටෙන් කැමරා අටවා ගත්, පස්ස ලෙවකන බලකායක් මහාපුරුෂයාගේ ඒ පූච්චානම් කතාවලින් පිනායමින් සිටියහ.

    ඔක්ස්ෆර්ඞ් ඉතිහාසඥ තිමොති ගාටන් ඈෂ් වරක් සඳහන් කළ පරදි, මතකය නැති වැඩිහිටියෙකු දරුවෙකු බවට පත්වන්නේ යම් සේ ද, මතකය සාමූහිකව අහිමිකරගන්නා ජාතියක් ළදරු ජාතියක් වන්නේය. ජාතියක් වශයෙන් අප ඒ තත්වයට වැටිය යුතු නැත.

    පැහැරගෙන ගොස් කෝටුමස් කිරීමෙන් පසු කෙනෙකු (කීත් නොයාර්* ඉන් බේරා ගැනීම කෙසේ නම් වරදක් වන්නේද? ඇත්තෙන්ම පැහැර ගත් මිනිසෙකු නිදහස් කිරීමේ කිසි වරදක් නැත. එතැන ඇත්තේ ශුද්ධ වූ නපුරයි. වරද, නපුරෙන් වෙන්කරන තුනී වෙනස බෝධිසත්ව රාජපක්ෂට පෙනෙන්නේ නැත.

    ඉතිහාසය කැනීම මහින්ද රාජපක්ෂට හෝ එකල ඔහුගේ ප‍්‍රධාන වැඩකාරයා වූ ගෝඨාභය රාජපක්ෂට දිරවන දෙයක් නොවේ. කීත් නොයාර් සිද්ධිය පිළිබඳව මහින්ද රාජපක්ෂ දැන සිටි හෝ නොදැන සිටි දෑ සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් කළ ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඔහු රඟ පෑ, ඒ අභීතරූපී නාඩගම, අපේ යුද ජයග‍්‍රාහී නායකයාගේ කටුසු අනුහසේ තරම මනාව පෙන්වන සාක්ෂියකි.

    හිටපු ජනාධිපතිවරයාගේ එකී ප‍්‍රතිචාර ඔහුගේ සිංහල බෞද්ධ දේශපේ‍්‍රමී පපුවේ නලියන ඒ භියකරු අපරූපියාව නිරුවත් කරයි. ඔහු ගානකට නැතිව මාධ්‍යවේදීන්ට මෙසේ කියන්නේ එබැවිනි. ”ඔය කියන මනුස්සයාව නිදහස් කළා නම් දැන් මොකක්ද තියෙන ප‍්‍රශ්නේ කියලා මං ඒගොල්ලන්ගෙන් ඇහුවා.” ත‍්‍රස්තවාදී ක‍්‍රෑරත්වය මුලිනුපුටා රාජපක්ෂ පවුල් සමාගමක් යටතේ අපේ ජාතිය හිස් සොමියක් තුළට ඇද දැමූ විමුක්ති දායකයාගේ අභ්‍යන්තර රූපකාය ඇදකුදක් නැති ඒ සරල ප‍්‍රකාශය හරහා නිරුවත් කෙරේ.

    ඔහුගෙන් පසුව බලයට පත් ගොබ්බ, තකතීරු පාලන තන්ත‍්‍රය අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වාටියේ කොනකින් ගලවාගෙන ඇත. මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුල් මාපියාව හරහා යුද්ධයෙන් පසු පසුවසක් තිස්සේ අපව පත්කළ තත්ත්වය, අපට කළ අවමාන තර්ජන සහ ඍජු තර්ජන විවිධාකාරයෙන් අපව ඇන්දූ ආකාරය අපට දැන් අමතකය. කිසි ගානකට නැතිව ඒ මහින්ද රාජපක්ෂ අද මෙසේ අසන්නේ එබැවිනි. ”හරි, එහෙම ටෙලිෆෝන් කෝල් එකක් ලැබුණාම කියමුකෝ. මිනිහාව නිදහස් කළානේ ඉතිං මොකක්ද තියෙන ප‍්‍රශ්නය” නැවත බලය පැමිණිය හැකි මහින්ද රාජපක්ෂ කෙනෙකු ගැන හිතෙන විට ඇඟ කිළිපොලා යන්නේ එබැවිනි. කීත් නොයාර් නැමති මාධ්‍යවේදියා පැහැරගෙන යාම සහ කුරිරු වධබන්ධනයට පත් කිරීම, ඔහුට හ`ඩා වැලපෙන්නට තරම් මහ බක්කක් නොවේ.

    මහින්ද අපේ ඉතිහාසය තුළ මතකයේ රැුඳෙනු ඇත. අපට අවශ්‍ය කළේ උමතු ත‍්‍රස්තවාදියාව නළවන නායකයෙකු නොවේ, ඌට එරෙහිව ක්ෂණික තීරණ ගතහැකි වැඩකාරයෙකි. ඉතින් එක නපුරක් මැඩලීමට ගොස් අපි තව නපුරක් නෙළා ගත්තෙමු. ඒ අනුව ප‍්‍රභාකරන්ගේ සන්නද්ධ ත‍්‍රස්තවාදී නපුර ඉවරයක් කරගෙන, රාජපක්ෂගේ මර්දනකාරී දේශපාලනික නපුර කරේ දාගත්තෙමු. ජීවත්විය යුත්තේ කවුද? මිය යා යුත්තේ කවුද? පැහැරගෙන යා යුත්තේ කවුද? අතපය කඩාගත යුත්තේ කවුද? යන්න තීරණය කළේ මහින්ද රාජපක්ෂ යටතේ ස්වෛරීවූ රාජ්‍ය විසිනි.

    අවධාරණය: මතකය නැති වැඩිහිටියෙකු දරුවෙකු බවට පත්වන්නේ යම් සේ ද, මතකය සාමූහිකව අහිමිකරගන්නා ජාතියක් ළදරු ජාතියක් වන්නේය.

    (සරත් ද අල්විස් - සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතේ පළ වූ පොලිටික්ස් ඔෆ් මෙමරි ලිපියෙන් උපුටාගත් කොටස් කිහිපයකි. සිංහල පරිවර්තනය ‘යහපාලනය’)