අද (29) කොළඹට මොකක්ද වෙන්න යන්නේ?
මම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හෝ ඒ ආශ්‍රිත කිසිම ආයතනයක නිලධාරියෙක් නෙවෙයි, ඒ නිසා කැමතිනම් කියවන්න, නැත්තං ස්කිප්කරලා පහළට යන්න.. හැබැයි මම ගිය සඳුදා පාන්දර වෙනකොටත්, 27 බ්‍රහස්පතින්දා ලංකාවට සුළි කුණාටුවක බලපෑමක් එල්ලවෙනවා කියලා නිශ්චිතවම කියපු කෙනෙක්. ඒ වෙලාවෙ ඒක කවුරුත් ගණන්ගත්තෙ නැති නිසාත්, මම නිකං බොරුවට විහිළුවට ලක්වුණ නිසාත් ප්‍රසිද්ධ නොකළට දැන් මේ ටිකනං කියන්නම වෙනවා..
වැස්ස ඉවරයි, ඔව් අදින් පස්සෙ කුණාටුව වගේම වැස්සත් ඉවරවෙනවා..
හැබැයි කැලණි ගංගා නිම්නයේ පහත් බිම්වලට මෑත ඉතිහාසයේ බලපාපු අධි අවදානම්ම ගංවතුර තත්ත්වයට අද මුහුණ දෙන්න සිද්ධවෙනවා.. තේරෙන භාෂාවෙන් කිව්වොත් සීතාවක, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ ඇති පහත් බිම්වලට, 2016ට වඩා විශාල හා අවදානම් ගංවතුරකට අද පස්වරුවේ මුහුණ දීමට සිදුවෙනවා..
වැස්ස ඉවරනං කොහොමද ඒ වගේ ගංවතුරක් ගලන්නේ?
අද පාන්දර වෙනකංම කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඇතැම් අවස්ථාවලදී මි.මී. 200 ඉක්මවූ වැසි ලැබුණා.. දැන් ඒ වතුර පහළට ගලාගෙන එනගමන්.. එච්චරද? නෑ මේවෙනකොටත් කාසල්රි, මාඋස්සාකැලේ, ලක්ෂපාන, නෝටන් බ්‍රිජ් ජලාශවල ජලය කැලණි ගඟට මුදාහැරලා අවසන්.. ඉතිං හිතාගන්න, 2016දි වුනේ හංවැල්ලට සහ කොළඹට වැටුණු වැස්සෙන් කැලණි ගඟ පිටාර ගලපු එක.. අද වෙන්නේ මි.මී. 300, 400 ඉක්මවා ඊයෙ වෙනකල් කඳුකරයට වැටුණු ජලයත් කැලණි ගඟ දිගේ පහළට එන එක..
තවදුරටත් මෙහෙම පැහැදිලි කරන්නං..
මහා ගංවතුරක් සඳහා කැලණි ගඟේ ඒ ඒ මාපකවල පහත අගයන් ඉක්මවා ජල මට්ටම තිබිය යුතුයි..
අවිස්සාවේල්ල මාපකය (Glencourse) 19m
හංවැල්ල මාපකය 10m
නාගලගම් වීදිය මාපකය 7ft
අපි බලමු 2016 ගංවතුරෙදි කැලණි ගඟේ ඒ ඒ මාපක වලට උපරිමය සටහන් වුනේ කොහොමද කියලා..
අවිස්සාවේල්ල මාපකය (Glencourse) 19.81m
හංවැල්ල මාපකය 10.51m
නාගලගම් වීදිය මාපකය 7.65 ft
ඒ කියන්නේ 2016දි ආපු ගංවතුරෙදි අවිස්සාවේල්ල මාපකයේ උපරිමය සටහන් වුනේ මහා ගංවතුර සීමාවට වඩා 0.81m ක්, හංවැල්ල 0.51m ක් සහ නාගලගම් වීදිය අඩි 0.65ක් විතරයි..
අද තත්ත්වය කොහොමද?
අද උදේ 6 වෙනකොට හංවැල්ල 10.47m ක් වෙද්දි අවිස්සාවේල්ල (Glencourse) 21.65m යි.
ආපහු බලන්න.. 2016 ගංවතුරෙදි අවිස්සාවේල්ල උපරිමය සටහන් වුනේ මීටර් 19.81යි, අද උදේ 6 වෙද්දිත් අවිස්සාවේල්ල මීටර් 21.65 යි. 2016 වඩා "මීටර්" දෙකකට ආසන්න වැඩි ජල කඳක් අරගෙන කැලණි ගඟ අවිස්සාවේල්ලෙන් එනවා.. ඉතිං ඒ ජල කඳ 2016ට වඩා වැඩි භූමි ප්‍රදේශයක් යටකරගෙන, 2016ට වඩා අඩි කිහිපයක් ඉහළින් මුහුදට ගලාගෙන යයි කියන්න අමුතුවෙන් උදාහරණ ඕනෙද?
වගකීමෙන් කියනවා, 2016 ගංවතුරෙදි උපරිමය අඩි 7.65කට තිබුණ නාගලගම් වීදිය මාපකය අද අවම වශයෙන් තව අඩි දෙකක්වත් වැඩිවෙන්න පුළුවන්..
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.. 2016 ගංවතුර ඔබට මතකනං, අද ඊට වඩා අඩි කිහිපයක් උසින් මහා ගංවතුරක් බලාපොරොත්තු වෙන්න.. 2016 ගංවතුර ගැන අවබෝධයක් නැත්තං, වගකිවයුතු ආයතනවලින්, මාධ්‍යවලින් කට කැඩෙනකං කියන අවදානම් තත්ත්වය තේරුම්ගන්න.. මම මේ පෙන්නලා තියෙන බරපතළකම අවබෝධ කරගන්න, තාමත් ඉවත්වෙලා නැත්තං, අත්‍යවශ්‍ය ලියකියවිලි ටික අරගෙන කැලණි ගංගා නිම්නයේ පහත් බිම්වලින් දැම්මම ඉවත්වෙන්න.. පස්සෙ "හිරවෙලා ඉන්නෙ.. බේරගන්ඩෝ.." කියනවට වඩා ඒක ලේසියි.. බයකරන්න නෙවෙයි කියන්නේ, වෙන්න යන දේ පුළුවන් උපරිමයෙන් තේරුම්කරන්න.. මොකද බයවුනත් නැතත් මේක අද වෙනවා..
මීට වඩා කියන්න විදිහක් මම දන්නෑ..
ස්තූතියි