11.කෝටි දාහේ නිල් එලවළු රොටිය
![]()
අෑ නීල වන සළු පොරවා හිඳී. අෑ ගෙල බැඳි පෙණ පබළු මාලයකි. අෑ වට එලූ සිනිඳු සුදු මුදු සමුදුරු සේලයකි. ඇගේ උස් ළැම මඬල මත, මීදුම් සේල අතරින් පතරින් ඉරී බිඳී යයි. විටෙක අෑ මුව මත සිනා මල් පීදෙයි. තව විටෙක අෑ නෙතු කොනින් කඳුළු වැල් බේරෙයි. ලොව කෝටි ගණනක් මිනිස්සු ඇයට පෙම් කරති. ඇගේ රුව වනති. ලෝකයේ මහා අනගි දේ අෑ සතුය. මේ යළි යළිත් ලොව මවිත කළ එවන් කතාවක අග මුල සොයා 'මව්බිම' ගිය ගමනක වත ගොතයි. අපේ කතාවේ අෑ වනාහී ඔබෙත් මගේත් මවුබිමයි. ලොවක් මවිත කළ මේ මනෝරම්‍ය බිම් කඩයි. ලෝකයට ඇදහිය නොහැකි තරමේ වටිනාකම්, මේ වර්ග කිලෝමීටර 65610 තුළ තිබේ. අෑත වන බිම් අතර, උස් කඳු මුදුන්වල කවුරුවත්ම නොදන්නා තැන්වලින් පුංචියට ඇරඹෙන මහා ගංගා මේ බිම සරුකරමින් ගලායයි. ඒ යට සැඟව තියෙනා මිණිකැට ගැන මුළු ලොවම දනී. මේ තවත් එවන් වූ මිණිකැටයක කතාවයි.
මේ අපූරු මිණිකැටය මතුවන්නේද හුරුපුරුදු විදියටම, මැණික්පුරයෙනි. මැණික්පුරය යැයි කියූ විට, එකපාරටම, අපේ ඔළුවට එන්නේ රත්නපුරයයි. නමුත් මේ කියන්නට යන්නේ රත්නපුරය ගැන නොව, රත්නපුරයට යාබද ඇහැළියගොඩ ගැනය. රත්නපුරය තරම්ම ඇහැළියගොඩද මැණික්වලට ප්‍රසිද්ධය. ඇහැළියගොඩ නගරය පසුකොට, බෝධිමළුවෙන් දකුණට හැරී යන විට ලංකාවේ පැරැණිම නුග ගස හමුවෙයි. එය තවත් පැත්තකින් ලංකාවේ පරණම ගස්වලින් දෙවැන්නයි. මේ නුග ගස පසුකොට අප ළඟාවෙන්නේ පොහොරබාවටය. රජ කාලයේ නින්දගමක් වූ පොහොරබාව විශාල ගමකි. වෙනත් විදියකට කියනවා නම් ගම් කීපයක එකතුවකි.
ඉහළ පොහොරබාව, පහළ පොහොරබාව, උඩගංකන්ද, මොරගමුව, හැඩවකදෙණිය, මියෙනදෙණිය, වැලිකුඹුර, නැඟෙනහිර මුදුන්කොටුව, ඕපටගම, හඳගල පොහොරබාවට අයිති ගම්‍ය. මේ හැම ගමක්ම නාමමාත්ර නොවේ. මහා ඉල්ලම් මතුවෙනා බිම්ය. මේ හැම ගමකම අස්සක් මුල්ලක් නෑර මිණිකැට මතුවෙයි.
"මේ ගම්වල මහ පොළොව හරි පුදුමාකාරයි. වැස්සකට පස්සෙ, එහෙන් මෙහෙං එකතු කරල බැලුවම මුක්කරුගල් හතඅටක් හොයා ගන්න පුළුවන්."
ඒ අපට හමුවුණු අයකු කී කතාවයි. මුක්කරුගල් කියන්නේද මැණික් නොවනා නමුත්, යම් තරමක වටිනාකමක් සහිත ගල් විශේෂයකි. මේ ගම්වල අස්සක් මුල්ලක් නෑරම තියෙන්නේ මැණික් පතල්ය. සමහර ඒවා වෙල් ලියදිවල තැනූ කුඩා ඒවාය. සමහර ඒවා බැකෝ යොදා සකස් කළ මහා පරිමාණ ඒවාය. සමහර පතල් අතහැර දමා තිබේ. සමහර ඒවායේ වැඩකටයුතු තාමත් ගජරාමෙට කෙරීගෙන යයි. මේවායෙන් සමහර ඒවා අනවසර පතල්ය. සමහර ඒවා අවසර සහිත ඒවාය. සමහර ඒවාට අවශ්‍ය කරන බලපත්‍ර තිබේ. ඒවා මේවා කොයික කොහොම වෙතත් මේ පතල්වලින් කෝටි ගණන් වටිනා මැණික් මතුවෙයි. මේ අප හොයා යන්නේද එහෙම වටිනා, කෝටි ගණනක නිල් කැටයකි. අප යන විටද කෝටි ගණනක නිල් කැටයක් ගැන හාවක් හූවක් මිස, නිශ්චිත ආරංචියක් නැත.
"අනේ මහත්තයො අපි ඕව දන්නෙ නෑ"
"ඕව කියන්ඩ ගිහිල්ල ලෙඩ දාගන්න අපිට බෑ"
"හම්බුණාය කියල නං ආරංචියි... වෙන මොකොවත් දන්නෙ නෑ"
මේ ඒ ගැන සොයා ගිය අපට ගම්වැසියන්ගෙන් ලැබුණ උත්තරය. එක්කෝ කිසිවෙක් ඒ ගැන කිසිවක් නොදනී. නැත්නම් කිසිවෙක් ඒ ගැන කිසිවක් නොකියයි. සියල්ල කුරු ගඟ ගිලගත් සේය.
"මේ පළාත්වල හැටි එහෙමය. මැණිකක් හම්බුණාම ඒ කතා හුඟාක් එළියට එන්නේ නැත. හොර හතුරු කරදරත්, කොටස් බෙදී යෑමේ ප්‍රශ්නත්, තැරැව්කරුවන්ගෙන් එන අනවශ්‍ය හිරිහැරත් නිසා මේ කතා එහෙමම සැඟව යයි. නැත්නම් මැණික් මුදලාලිලා උපක්රමශීලීව සඟවයි. ඒ නිසාම මේ සමහර කරුණු කාරණා නම්ගම්, ලිපින හෝ පුද්ගල ඡායාරූප සමඟ පළ කරන්නට අපට අවශ්‍ය නැත. අප දැනට මේ කතා කරනුයේ කෝටි දෙසීයක් පමණ වටිනා මැණිකක් ගැන යැයි පෙර සඳහන් කළෙමු. නමුත් දැනට, දැනගන්නට ලැබෙනා පරිදි ඒ වටිනාකම කෝටි දාහකට අඩු වැඩි වෙනවා නම් ඒ බොහෝම පොඩ්ඩකි. ඊටත් වඩා විශාල මිලකට විදේශීය වෙළෙඳපොළක මෙය අලෙවි නොවෙතැයි කියන්නන් අපට හැකි නොවේ. මේ කියනා මැණික හම්බවෙන්නේ අප්‍රේල් මාසයේ තුන්වැනිදා හෝ හතරවැනිදාය. එය නිල්මැණිකකි. ප්‍රමාණය අනුව ගත්කල එළවළු රොටියක තරම්ය. හැඩයත් එහෙමය. කැරට් වටිනාකම කැරට් දාහකැයි කියති.
මේ කියන පතල දැනට අතහැර දමා තිබේ. අප යනවිට එහි උන්නේ නාඹ මීහරක් රෑනක් පමණි. උන්ට මැණිකක් ගැන හාවක් හූවක් වැඩක් නැත. එය කලබලයට අස්කළ පතලක් බවද, මැණික් ගැනවත්, පතල් ගැනවත් මෙලෝ දෙයක් නොදන්නා අපටද පැහැදිලිය. සාමාන්‍යයෙන් පතලක් කලබලයට අස්කරන්නේ ලොකු මැණිකක් ලැබුණ නිසාය.
මේ පතලේ වැඩ කර තිබෙන්නේ හයදෙනෙකි. ඒ හයදෙනාගෙන් කීප දෙනකු ගම්වැසියන්ම වන අතර, අනෙක් අය ඒ අයගේ ඥාතීන් බව අපි සොයා ගත්තෙමු. ඒ අනුව සාමාන්‍යයෙන් වෙන පතල්වල සිදුවෙන පරිදි මේ 'කොටහ' බෙදීම ගමෙන් පිටට ගොස් නැත.
"ඒත් මහත්තයො ඔය සමහර අය දැනට ගමේ නෑ. තුන්දෙනෙක් විතර ඉන්නව, ඒත් රෑට ගෙදර නෑ... කියන්න බෑනෙ..."
අප සොයා ගත් පරිදි මේ මැණිකේ කොටහ බෙදී ඇත්තේ පතල්කාරයන් හයදෙනකු අතරය. අනිත් කොටස තැරැව්කාරයන්ටය. බිං අයිතියට සාම්ප්‍රදායිකව බිම් පංගුව ලැබී තිබේ. මේ මැණික ලැබුණ වහාම ආරංචිය තැරැව්කාරයන්ගේ කනට ගොස්ය. ඒ කොහොමටත් රත්නපුරයේ විදියය. දෙවියන්ට ඇතැයි කියනා දිවැසට, වඩා තැරැව්කාරයන්ගේ දිවැස ප්‍රභලය. හුළඟ පවා, ඒ අයට ආරංචි රැගෙන යයි. ඒ අනුව මේ මැණික ලැබුණ වහාම එහි විකිණුම් කටයුතු සැලසුම් වී තිබේ. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට, මේ ගල ලබා දිය යුතු යැයි තීන්දුව ගන්නේ සාම්ප්‍රදායිකව තැරැව්කාරයන්ය. ඒ අනුව තැරැව්කාරයන්ගේ මැදිහත්වීමෙන් මැණික ඉක්මනින්ම අලෙවි වී තිබේ. ඒ කෝටි තිස්අටක මුදලකටය. මේ කෝටි තිස්අටෙන් කෝටි විස්සක්ම තැරැව්කාරයන්ට බෙදී යයි. ඉන් ඉතිරිවන කෝටි තිස්අට හය පංගුවට බෙදී ඇති අතර, බිං පංගුවට ගෙවා තිබෙන්නේද ඒ කොටසෙනි. ඒ අනුව දළ වශයෙන් එක් අයකුට කෝටි තුනකටය.
මේ වන විට මේ මැණික් ගල බොහෝ විට ඇමෙරිකාවට රැගෙන ගොස් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මඟින් දැන ගන්නට ලැබේ. ඒ අනුව මේ නිල්කැටයේ කතන්දරය එතැනින් අවසන්ය.
"ඕක තමයි මෙහෙ විදිය මහත්තයො... සාමාන්‍ය කෝටි සීයෙ හමාරෙ කැට කොහොමත් ඔය විදියට එහෙට මෙහෙට යනව... කතන්දර එළියට යන්නෙ නෑ..."
දැනට ප්‍රශ්නයට තියෙන්නේ මේ නිල්කැටය මතුවෙන්නේ අනවසර පතලකින් වීමය. නීතිමය තත්ත්වය යටතේ මැණික් සංස්ථාවට මෙයට එරෙහිව පියවර ගත හැකියි. ඒ අනුව මේ පතල්කාරයන්ට එරෙහි නීතිමය පියවර ගන්නා විට මැණික් සංස්ථාව සාක්ෂිකරුවෙක් බවට පත්වෙයි. නමුත් ලියුම්කරුට අනුව දැන් අස්සයා පැනල ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් වැඩක් නැත. මේ මැණික් කතාවල සීයට සීයක්ම තියෙන්නේ, වාසනාව හා බැඳුණ සිද්ධීන්ය. හැම පතල්කාරයෙක්ටම පත්මරාග, නිල්කැට, පුෂ්පරාග හමු නොවෙයි. සමහර විට පතලට නොබැසම ලොකු කැට මගතොටේදී අහුලා ගනී.
"මේ විදියෙ අවසර නැති පතල්වලින් ඕනෑ තරන් කැට හම්බෙනව, එතකොට කලබල වෙන්න හොඳ නෑ. සමහරු කරන්නෙ ගල අතේ තියාගෙන, පතලට අවසර ගන්නව, පස්සෙ එළියට දානව.
නැත්තන් ගල අරගෙන වෙන අවසර පතලකින් හම්බුණා කියනව, එතකොට වැඩේ කම්මුතුයි. මේ තැන්වල වෙන්නෙ ගල ලොකු වැඩියිනෙ. පතල්කාරයො කලබල වුණා. ගල දැක්ක ගමන්ම සල්ලි කරගන්න ඕනෑ වුණා.
මැණික් ගැරිල්ලේදී කලබල විය නොහැක. කොයි එකත් සීරුවට මාරුවට සිදුවිය යුතුය.
"මැණික් ගැරිල්ල කියන්නෙ මහත්තයො අප්ප පුතා විශ්වාස නැති වැඩක්, මේ ගංවල කී දෙනෙක් ගල් නිසා මැරිල ඇතිද? කී දෙනෙක් ඇහැට දැක්ක ගල අන්තරස්දාන කරල ඇතිද? මුදලාලි කොච්චරනං පතල්කාරයන්ව අන්දල ඇතිද? ඒක තමයි හැමදාම වෙන්නෙ..."
මැණික් කතා බොහෝය. එකක් තියෙන්නේ මැණික් මුදලාලිලා කොයි තරම් හරි හම්බ කළද, ඒවයෙන් මහා පුණ්යකර්මද කරයි.
"මුදලාලිල දෙන්නෙක් ඉන්නවා අවුරුද්දට දවසක්ම සල්ලි බෙදනව... වැඩකරන අයට විතරක් නෙමෙයි, එන ඕනෑම කෙනකුට දෙනව. පෝලිම තියෙනව කිලෝමීටරයකට වැඩිය...'
නමුත් මහපොළොව දුන් ඉල්ලම මහපොළොවටත් හොරෙන් තනිව භුක්ති විඳිනා අයද බොහෝය. නමුත් රත්තරන් බිත්තර දැමූ ස්වර්ණ හංසයා මරා බිත්තර ඔක්කොම එක පාරට ගන්නට හැදුවා සේ, දැන් රත්නපුරයේ මැණික්කාරයෝ මහපොළොව හාරා, රිදවා බැකෝ දමා, මහාපරිමාණයෙන් මැණික් ගරමින් සිටිති. ඉන් ඇතිවෙනා මහා පරිසර විනාශයට පියවර ගන්නට කෙනකු නැත්තේ එක නිල් කැටයකින් ඕනෑම ජගතකුගේ කට වැසිය හැකි නිසා විය යුතුය. සාමාන්‍යයෙන් මේ ගම්බිම්වල කොහොමටත් වෙන්නේ ඒකය. අවසන් වශයෙන් කියන්නට තියෙන්නේ අපට නැතත් මිණිපුරයෙන් තව තවත් මිණිකැට මතුවේවාය කියාය. කෙසේ හෝ ලෝකයේ මේ පුංචි කොදෙව්වේ නම කියැවෙන එක හොඳය. ලෝකයේ කොතැනත් බැබළෙන්නේ ලංකාවේ මැණික්ය. ඩයනා කුමරියගේ මුද්දෙත්, එංගලන්ත රැජනගේ ඔටුන්නෙත් එහෙමය. අප මෙසේ හොයා ගිය කෝටි දාහකට ආසන්න වටිනාකමක් ඇතැයි කියනා මැණිකද හෙට ලෝකයේ ඉහළම තැනක රැඳෙනු ඇත. පතල අවසර වුවද අනවසර වුවද ලෝකය දන්නේ අෑත තැනෙක කරදිය වළල්ලක, කඳුළු බිඳුවක හැඩයගත් රමණීය බිම්කඩක, සැඟව තියෙනා ලොවක් මවිත කරනා මහා අනර්ඝ දේ අතරින් මේ මිණිකැටයද මතුවුණ වගය. ඔවුන් ඒ රමණීය පුංචි කොදෙව්වට කියන්නේ 'ශ්‍රී ලංකාව' වගද නිසැකවම සිහිකරනු ඇත.
මව්බිම
www.elakiri.com/forum/showthread.php?p=19569265mawbima newspaper eke giya artical ekak xray machine eken manik puchchara seen ekak eka hodayala danna puluwanda kata hari