ගං දෑලවර මල් සුසුම් පවනේ......

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    ගං දෑලවර මල් සුසුම් පවනේ......

    ගං දෑලවර මල් සුසුම් පවනේ

    පිනි පලස මත ඇයි සිනා පිපුණේ

    එක්ව ආ මුදු මතක සුවඳක්

    නිදි නොදී සිත දවයි සඳපානේ...

    ආල වඩනා නෙතේ නෙක ඇරයුම්

    කෝල පානා මුවේ හස සැමරුම්

    නාඳුනන සේ ඇදෙමි ඇදෙමි ඈතට

    පෙමක් තහනම් ලබන්නෙම ගැරහුම්...

    නුඹට වෙන් වුණ සසර මඟ ආ තැන

    මතක ඇති මුත් සිත නිවන සැනසුම්

    එකින් එක ගෙන සුසුම් අමුණා

    පලක් නෑ අපි අපට හිමි නැති නම්....



    “අපි මුලින්ම හමුවුණේ ඒ ලෙවල් පන්තියේදි. එයා අපේ ඉස්කෝලෙට ආවේ අලුතෙන්. එයා හරි ලස්සනයි. හැමෝම එයා ගැන උනන්දු වුණා. එත් ඒ කෙල්ල මහ අහංකාරයි කියලා අපිට තේරෙන්න වැඩි දවසක් ගියේ නැහැ. මමයි මගේ යාළුවෝ දෙන්නෙකුයි එයා ගැන උනන්දු වුණා. අන්තිමට අනිත් දෙන්නම කෙල්ල ගැන හිතන එක නතර කෙරුවා. මම එයා ගැන නොහිතපු මොහොතක් නැහැ. ඒත් එයාට ළංවෙන්න මට බය හිතුණා ඒ කාලේ. ඒ එයාගේ තාත්තා අයියා නිතර එයා එක්ක හිටපු නිසා. කාලය ගෙවිලා ගියා මම විශ්වවිද්‍යාලේ ගියා. නමුත් හිත අස්සේ ඒ ඇස් දෙක මගෙ ළඟ නතර වෙලා කියලා මට හිතුණා. නිවාඩුවට ගමේ ඇවිල්ලා යන දවසක මට එයාව බස් එකේදි හමු වුණා. එදා නම් මම ඇය සමඟ කතා කළා. ඒ කතාව හුඟක් දුර ගියා. අපේ ආදරය දලුලා වැඩුණා. මම නිතර නිතර ගෙදර ආවා. ඒ ආව හැම දවසකම වගේ එයාව හමු වුණා.

    “අපි ගෙදරට කියමු.“

    මම එහෙම කිව්වත් එයා ඒකට කැමති වුණේ නැහැ. නමුත් අපේ ගෙදර මේ විත්තිය දැන ගත්තා.

    “මල්ලියේ කතාවක් කියන්න තියෙනවා. “ දවසක් ලොකු අක්කා රාත්‍රියේ ඉස්තෝප්පුවේ වාඩිවෙලා ඉන්න ගමන්.

    අර ළමයා බඳින්න යනවා. ලබන මාසේ .....“

    “ඒක වෙන්න බෑ. “ අක්කාගේ කතාව ඉවර වෙන්නත් කලින් මම කිව්වේ.

    මම ඊට පස්සේ රාත්‍රි කීයක් නම් නිදි වරන්න ඇතිද?

    පාඩම් කියක් අතපසු වෙන්න ඇද්ද? ජීවිතේ ආපස්සට ගියා. එක තැන නතර වුණා වගේ. හැමෝම මගෙ වටේ. ඇය විවාහ වෙලා යන්න ගියා. මම..?

    කාලය ගෙවිලා ගියා . ලොකු අක්කා නොහිටින්න ජීවිතයක් නැහැ. මට රස්සාවක් ලැබුණා. මම ගමෙන් පිට ගියා. නිවාඩුවට ගමට ආවේ. මම වෙනුවෙන් ලොකු අක්කා මුළු ජීවිතයම කැප කළේ.

    මල්ලියේ හොඳ තැනකින් ගෑනු ළමයෙක් බලමුද?

    ඒත් අක්කාගේ ඒ කතාව ළඟ හැමදාම මම ගොළුවෙක් වගේ හිටියා. කලකට පස්සේ අර ගැනූ ළමයා ගෙදර ආවේ දරුවෙකුත් එක්ක.

    ගමේ අය නොයෙක් කතා කිව්වා. ඇය මඟ තොටදි හමු වුණා. මගෙ හිත ඒ හිත ගාව නතර වුණා. ලොකු අක්කට තිබුණේ පුදුම ඉවක්.

    “එක පාරක් උඹව එපා කියලා ගිය ගැනියෙක්ට ආයෙමත් ආදරේ කරන්න උඹට ලැජ්ජා නැද්ද මල්ලියේ,,. අක්කා කිව්ව කතාව මගෙ හිත පතුලටම කිඳා බැස්සා. ඒ අක්කා එක්ක තරහා ගන්නවත් මුළු හදින් පෙම් කළ ඇයට වෛර කරන්නවත් මට හිතුණේ නැහැ.

    අවුරුදු ගාණක් පැරණි අතීතය සිහි කරමින් ඔහු දිනෙක ජීවිතය දිග හැරියේය. ඔහු අපේ පාඨකයෙකි. ඒ වියපත් දෑසේ කඳුළු දිලිසිනි. ඔහුට තම තුරුණු විය, ඇය හා දෙඩු පෙම්බස්, මැවූ සිහින සිහිවන්නට ඇත.

    ආදරයේ වේදනාව දන්නේ ආදරය කළ ආදරයෙන් පැරදුණ ආදරවන්තයෝ මිසක් වෙන කිසිවෙක් නොවේ. ආදරයෙන් පැරදුණ විට ප්‍රේමයේ විරහව මේ මේ අයුරින් විද ගන්නට හැකි යැයි කෙනෙකු උපදෙස් දෙන්නට පුළුවන . නමුදු ආදරයේ සොඳුරු බවත් වේදනාවත් හඳුනන්නේ එවැනි අත්දැකීම් ඇත්තන්ම පමණි. විරහ වේදනාව ගැන අපමණ ගී අප අසා ඇත. අද ඇසෙන ඇතැම් ගී නම් ප්‍රේම අඳෝනාය.

    ඇතැම් ගී ඇසෙන්නේ ඝෝෂාකාරී සංගිතය සමඟය. එවන් ගී ඇසෙන යුගයක පසුගියදා මුහුණු පොතෙන් ඇසූ මේ ගීතයේ අමුත්තක් දුටිමි. ඒ හඬ අපට හුරුපුරදු ගායන ශිල්පි කරුණාරත්න දිවුල්ගනේගේය. ගීතනු අපුරු තනු නිර්මාණකරුවකු වන සංගීතවේදි රෝහණ වීරසිංහයන්ගේය. පද නිර්මාණය කරන්නේ මින් පෙරද නිර්මාණශිලි ගී පද රචිකාවක් වන තුෂාරි බෝඹුවලයි.