ගුථපාණී ජාතක කතාව

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    ගුථපාණී ජාතක කතාව

    51182287_1991736377588633_5777871292577349632_n.jpg



    ගුථපාණී ජාතක කතාවෙන් හෙළිවන්නේ සුරාපානයෙන් මත්වී තමන්ගේ කට රැකගත නොහැකිව ජීවිතය විනාශ කරගත් මැස්සෙක් පිළිබඳවයි.

    ඉස්සර ජීවත්වූ මිනිස්සු අද වගේ ගම ගෙවල්වල සුරාපානය නොකළහ. ඔවුන් එසේ නොකරන්නේ ගෙවල්වල කුඩා දරුවන් ද, කාන්තාවන් ද සිටින බැවිනි. සුරාපානය කිරීමට අවශ්‍ය වූ විට එයට අවශ්‍ය කරන කළමනා සපයාගෙන කැලෑවට යති. කැලෑවේ ඇති පමණ පදම් වී ඒ කටයුත්ත නිමකොට වෙරි හිඳුන පසු ගම ගෙවල්වලට එති. ඒ ආකාරයෙන් එක්තරා මිනිස් කණ්ඩායමක් සුරාපානය කරන්නට කැලෑවට ගියෝ ය. සුරාවෙන් මත් වී ඔවුහු එහි විවිධ කෙළි කොට ආපසු පැමිණියහ. සුරාපානය කළ එම ස්ථානයේ බිම වැටී තිබූ පත්‍රයක මත්වතුර ටිකක් වැටී තිබිණ. පුළුටු දෑමූ තැන එහෙ මෙහෙ පියාසර කරන මැස්සෙක් එතනට ඇවිත් වේළුන මත්වතුර එකතු වී තිබුණ පත්‍රය මත වැසුවේය. එහි තිබූ මත් වතුරවලට ඉහඳ තැබුවේය. මත්වතුර ශරීර ගතවීමෙන් මැස්සා හොඳටම වෙරි විය. මහ කැලෑවේ මහ ගස් කැරකැවෙන්නා සේද පොළොව ගිලාබසින්නා සේද ඌට දැනෙන්නට විය. තමා මත් වී සිටින බවත් අමතක වී ගියේය. මැස්සා කල්පනා කරන්නේ ගහකොළ ඇඹරෙන්නේ තමන්ගේ තේජස නිසා බවය. පොළොව ගිලා බසින්නේ තමාගේ බර මිහිකතට දරාසිටීමට තරම් නොහැකි නිසා කියාය. මැස්සාගේ සිතට පෙරදා නොවුණු මහ වීරත්වයක් නැගෙන්නට විය. තමා බරපතළ කෙනෙකු බවට කල්පනා වන්නට විය.

    ඒ අවස්ථාවේ වනාන්තරයේ සිටි මහා හස්තිරාජයෙක් කැලෑව පෙරළාගෙන ඉදිරියට එයි. අනුන්ගේ සුරාවෙන් මත් වී සිටි මේ මැස්සා හිතේ ඇති වූ වීරත්වය නිසා අර මහා හස්තිරාජයාට තමා හා සටනට එන්නැයි ආරාධනා කළේ ය. මැස්සෙක් සමඟ තමාට මොන සටනක් දැයි කල්පනා කළ හස්තිරාජයා අනුන්ගේ සුරාවෙන් මත්වී තමාට අභියෝග කළ මැස්සා ගණනකටවත් නොගෙන ආපසු හැරී යන්නට විය.

    හස්තියා ආපසු හැරී යන විට මත්වී සිටි මැස්සා කල්පනා කරනු ලැබුවේ මහ වනයේ මහ ඇතුන් පවා තම කටහඬට කොපමණ බියක් දක්වන්නේ ද කියා ය. තමන්ගේ සිතෙහි ඇතිවූ එම සිතිවිල්ලෙන් උදම් වූ මැස්සා ඉදිරියට යන හස්තිරාජයාගේ පසුපස යමින් බියවී ආපසු යාම හස්තිරාජයෙකුට ගැළපෙන්නේ නැත. හැකිනම්, මා සමඟ සටනකට එනුයි අභියෝග කළේ ය. හස්තිරාජයා මැස්සෙක් එක්ක කුමන සටනක් දැයි කල්පනාකොට හිටි පියවර එසේම ඉඳගෙන පසුපස එන මැස්සා මතට වර්චස් පිඬක් හෙළුවේ ය. එම වීර මැස්සා හස්තිරාජයාගේ වර්චස් පිඬට යට විය. හස්තියා සිද්ධිය ගණනකටවත් නොගෙන මහ කැලයට යන්නට ගියෙ ්ය.

    වර්තමාන සමාජයේ වුවද මේ වගේ මැස්සන් මනුස්සයන් වශයෙන් උපත ලබා සිටිනවා විය හැකිය. කායික වශයෙන් මිනිස් ශරීර පෙනුණ ද මානසික වශයෙන් අනුන්ගේ සුරාවෙන් මත්වී තමන් මත් වූ බවවත් නොදැන තමන්ටත් නොගැළපෙන වචන කතා කරන්නේ ය.

    ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
    බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
    ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
    පාතේගම ඤාණිස්සර හිමි

    ලිපිය සහ පින්තූරය බුදුසරණ අන්තර්ජාල කලාපය ඇසුරිනි
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,360
    168
    63
    වර්තමාන සමාජයේ වුවද මේ වගේ මැස්සන් මනුස්සයන් වශයෙන් උපත ලබා සිටිනවා විය හැකිය. කායික වශයෙන් මිනිස් ශරීර පෙනුණ ද මානසික වශයෙන් අනුන්ගේ සුරාවෙන් මත්වී තමන් මත් වූ බවවත් නොදැන තමන්ටත් නොගැළපෙන වචන කතා කරන්නේ ය.