"උඩුගම්පොල සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් කරයි." කියල පත්තරේ හෙඩිම ලගදීම එයි කියල හිතෙන්නේ මට විතරද?
හිටපු ඒඑස්‌පී උඩුගම්පොලට එරෙහි නඩුවේ
සාක්‍ෂි විභාගය ලබන වසරට
ඒ. ඡේ. ඒ. අබේනායක
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි යුද හමුදා ආරක්‍ෂක නිවාස වටලා එල්ටීටීඊ ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ මෙහෙයුම් දියත් කළ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන බුද්ධි රහස් තොරතුරු පිළිබඳව හෙළි කිරීමේ චෝදනාව යටතේ හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොලට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන පෙබරවාරි 22 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පෙරේදා (5 දා) නියම කළේය.
2002.01.02 වැනිදා හා 2002.09.03 වැනිදා අතර කාලය තුළදී අතුරුගිරිය, කොළඹ, මහනුවර හා කටුගස්‌තොටදී ශ්‍රී ලංකා ජනරජයේ භෞමික අඛණ්‌ඩතාව හා ස්‌වෛරීභාවය සුරැකීමේ මෙහෙවරට උරදී සිටි ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන ලද යුද උපකරණ අත්අඩංගුවට ගෙන ඡායාරූප ගත කිරීම හා වීඩියෝ ගත කිරීම, එම නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළු අධි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයාට එරෙහිව එම නඩුව පවරා තිබුණි. මහනුවර මහාධිකරණය හමුවේ විභාග වෙමින් පැවැති එම නඩුව නීතිපතිවරයාගේ විශේෂ නියෝගයක් මත කොළඹ මහාධිකරණය හමුවට කැඳවා විභාගය පැවැත්වීමට පියවර ගෙන තිබුණි.
එම පැමිණිල්ලේ 2, 3, 4 හා 5 යන සාක්‍ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.