ජෙනරාල් ෆොන්සේකා රට බෙදීමට කිසිදා උත්සාහයක් ගන්නේ නැති බව මට විශ්වාසයි -මල්වතු මහ නායක හිමියෝ
(ලංකා ඊ නිව්ස් -2010 ජන.16, ප.ව. 4.10) බෙදා වෙන්කිරීමට ගිය රට යළි එක් කිරීමේ කාර්යභාරය කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ රට බෙදා වෙන්කිරිමට කිසිදා උත්සාහයක් ගන්නේ නැති බව තමන් වහන්සේට විශ්වාස බව මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ප්‍රකාශ කරති.
මහා නාහිමියෝ මේ සඳහන කළේ ජනාධිපතිධූර පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද (16) උදැසන උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.
රට බෙදීමේ කිසිදු අරමුණක් ජෙනරාල් ෆොන්සේකා මහතාට නොමැති බව නාහිමියෝ පැවසූහ.
සමහර පාර්ශවයන් කරන චෝදනා ගැන රටේ ජනතාවට කරුණු දක්වන ලෙසද නාහිමියෝ ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටියහ.
ෆොන්සේකා මහතා මහනාහිමියන් අභිමුව ප්‍රකාශ කළේ දිවි පුදා මුදාගත් රට යළි කිසි දිනක කවර ආකාරයකින් හෝ බෙදාදීමට ලක්කිරීමට තමන් ඉඩ නොතබන බවයි.
ජනාධිපතිවරණ සටනට තමන් සමග එක්වී සිටින දේශපාලන පක්ෂ සමග කිසිදු ආකාරයක හෝ ගිවිසුමක් නොමැති බව මහ නාහිමියන් වෙත දැඩිව අවධාරණය කළ ඒ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තුවක් හමුවේ රට නව මාවතකට යොමුකරන බවද කීවේය.