චාරිකා – 11 කොටස

Apr 25, 2018
219
11
0
colombo
චාරිකා – 11 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා



තේජගේ අනතුරු ඇඟවීම නම් එච්චර යහපත් එකක් නෙමෙයි.

“ධරණි, සචිනි එක්ක පැටලෙන්න එපා. උඹ දන්නවනෙ ගීතික….”

අප්පා…මේ මුළු ටවුන් එකේම ඉන්න එපාම කරපු එකා. ඌ ඉස්කෝලේ යන්නේ මොකටද කියලා ඌවත් දන්නේ නෑ. වලි කාපර් කෙනෙක්.

“ඉතිං….?” මම ඇහුවා.

“උඹ දන්නවද සචිනි උඹවයි ඌවයි පටලෝලා කියලා තියෙන කතාව….” තේජා කියද්දි මගේ කණ් වලින් දුම් ගියා.

“මම ජීවිතේට ඌ එක්ක කතා කරලවත් නෑනේ….”

“ඒ වුණාට කතාව ගිහින් ඉවරයි. උඹ කෝකටත් පරිස්සමින් හිටපන්. කොහෙන් මොකක් පත්තු වෙයිද දන්නේ නෑ….” තේජා කියද්දි මට චමත්කා හොයන් ගිහින් කට තලන්න හිතුනා.

“මේක යකාගේ වැඩක් නේ බන්….” මම අත මිට මොළවලා දුන්නා මේසෙට පාරක්. රිදුනේ මටමයි.

“නෑ… සචිනිගේ වැඩක්….”

“හිටපන්කෝ….උන්දැට මම චමත්කාර වෙලා යන්න වැඩක් කරන්න….” සචිනිට නම් හොඳ ගුලියක් අඹරන්න මම හිතාගත්තා.

ඉරිදා උදේ නංඟිව දහම් පාසලට දාලා ගෙදර එද්දි අම්මයි තාත්තයි දෙන්නා කාර් එක සෝදනවා. තාත්තා එක පාරම වතුර පාර අම්මට ඇල්ලුවාම අම්මා කෑගහගෙන පැන්නා.

“හා… හා… වතුර නාස්ති කරන්න එපා….” කියන් මම ගේ ඉස්සරහ බැම්ම උඩ වාඩි වුණා.

“කාර් එක සෝදනවා නෙමේ. මාව නාවනවා. මං යනවා උයන්න. දැන් ලොකූව අල්ලගෙන නටන්න බැරියැ….” කියලා අම්මා හිනාවෙවී ගියා.

“ලොකු පුතා හවස යන් ගමනක්. මගේ යාළුවෙක් රට ඉඳන් ඇවිත්. අද උදේ කෝල් කළා. හවස එන්න කිව්වා. Dinner එකටත් එක්කම..” තාත්තා කියද්දි මං ඔළුව වැනුවා.

කන්න බොන්න තියේ නම් ඉතිම් පයින් හරි යන්න බැරියැ. ආයේ මොකට කාර්…???

හවස තාත්තගේ යාළුවගේ ගෙදර යන්න කාර් එකට නැග්ග වෙලේ ඉඳන් මමයි නංඟියි එක එක ඒවට රණ්ඩු වුණා.

“ඔයා මගේ වූල් බෑන්ඩ් එක දාන් ඉන්නේ….” නංඟි කිව්වා.

“ඔයා මං ඇඳපු පරණ ඇඳුමක් ඇඳන් ඉන්නේ…” එහෙම කිව්වම නංඟිව අවුස්සන්න පුළුවන් නියමෙට.

“බොරු කියන්න එපා…තාත්ති මට ගෙනත් දුන්නේ….” නංඟි මට ඔරවගෙන කිව්වා.

“ඔව්…ඔව්…ඒ ඇඳුම් කඩේ බෑග් එකේ දාලා මගේ එකක් දුන්නේ…” කියලා මම කියද්දිම නංඟි මට ගැහුවා. මම නංඟිගේ කම්මුල මිරිකුවා. ඔක්කොම ඉවරයි. ඒකි හූ තියලා ඇඬුවා. තාත්තා කාර් එක නතර කළා.

“ඔන්න පටන් ගත්තා හොරණෑව…චූටි දුව නවත්තනවා ඔය ඇඬිල්ල…විහිළුවක් තේරෙන්නේ නැද්ද ඔයාට…?” අම්මා නංඟිට බනිනවා.

“ලොකු පුතා නංඟිව අවුස්සන්න එපා ළමයෝ ඔහොම… දෙකම එකයි…” අම්මා මටත් බනිනවා.

“තරහද….?” මම නංඟිගෙන් ඇහුවා.

“එපා…මං තරහම තරහයි. ආයේ යාළු වෙන්නෙම නෑ….” එහෙම කියලා කී පාරක් නම් මාත් එක්ක යාළු වුණාද එයා.

තාත්තගේ යාළුවගේ ගෙදර නම් මාර ලස්සනයි. මම කිව්වේ ඒ ගෙදර පෝසත් පාටයි. එහෙම වෙන්න එපායැ. රටනේ ඉන්නවා කිව්වේ.

“අම්මෝ අක්කේ මේ ගෙදර ලොකු….” නංඟි කාර් එකෙන් බහින ගමන් මට කිව්වා.

ඇත්තටම හරි ලස්සන ගෙදරක්. අළුත්ම තාලෙට හදපු ගෙයක්. මම හිතන්නේ හම්බුකරන සල්ලි ඔක්කොම මේ ගෙදරට යට කරලද කොහෙදෝ.

“විකී….වරෙන් මචන්….” අන්කල් අපේ තාත්තව දැකපු ගමන් කෑගැහුවා.

අපේ අම්මවත් එහෙම කෑගහන්නේ නැතුව ඇති තාත්‍තව දැක්කම.

“උඹලව දැක්ක කල්…” තාත්තා ඊට හපන්.

ඔන්න එතකොට ගේ ඇතුළේ ඉඳලා අන්කල්ගේ wife ආවා.

“මළා….Bio මැඩම්….” මට ගෙදරටම වාෂ්ප වෙන්න හිතුනා.

“ධරණි…” එයත් උස්සලා පොළවේ ගැහුවා වගේ වුණා.

“ගෝලයෙක්ද….?” අන්කල් අහද්දි මැඩම්,

“මෙයා මගේ හොඳ ගෝලයෙක්…” කියලා නිකන් නක්කලේට වගේ කිව්වා.

“එහෙනම් මැඩම්ව හම්බුණ එක හොඳයි….” අම්මා මාව නැති කරන්න යන්නේ.

“නෑ…නෑ…. දඟ වුණාට ධරණි හොඳ ළමයෙක්. මම වැඩකුත් භාර දීලා තියෙන්නේ….” මැඩම් කියනකොටයි මට ඒ සීන් එක ඔළුවට ආවේ. ඇත්තම කිව්වොත් මාව හිරිවැටිලා නිකන් හැඟීම් දැනීම් නැති ගාණට ඇවිත්. මට දැන් මේක කියන්න තේජව ඕනම වුණා.

අම්මලා කතාවට වැටුණ නිසා මමයි නංඟියි ගෙයින් එළියට ආවා. අම්මලා හිටපු තැනටම එහා පැත්තේ තිබුණේ පොඩි බැල්කනි එකක්. බිත්තිය වෙනුවට වීදුරු බිත්තියක් තිබුණෙ. ගේ ඇතුළේ ඉඳන් බැලුවත් බැල්කනි එක පේනවා. එතෙන්ට ගියාම ඈතින් පෙනුනේ ගඟ. ඒක නම් මාර ලස්සන place එකක්. එතන තිබුණ වේවැල් පුටු දෙකක මමයි නංඟියි වාඩිවුණා. ගඟේ හුළඟත් එක්ක පුදුම සනීපයක් දැනුනා.

“මෙතන නම් ෂෝක් නේද අක්කි….” නංඟි බැල්කනි එකේ වැට උඩ නඟින ගමන් කිව්වා.

“අයියෝ මේ වැටෙන්න නම් එපා. මට බෑ කෑලි ඇහිදින්න….” කියලා මං නංඟිව උස්සලා අරන් පුටුවෙන් තිබ්බා.

චිම්පන්සි පැටියා වගේ ඒකිට උඩක නැඟගන්න තිබුණොත් වෙන මුකුත් ඕන නෑ.

“ඔයාලගේ තේ මෙතෙන්ට ගේන්නද ධරණි….?” මැඩම් ඇහුවා.

මොනවා වුණත් මැඩම් කෙනෙක් එහෙම අහද්දි ඒක හෙණ අවුල්. මං ටක් ගාලා පුටුවෙන් නැඟිට්ටා.

“එපා මැඩම්…අපි එන්නම්….”

“ඔයාලා ඔහොම ඉන්න පුතා… මං අරන් එන්නම්….” කියලා ගිහින් මැඩම් අපිට කන්න කට්ලට් එක්ක සැන්ඩ්විචස් අරන් ආවා.

“රෑට කන්න තව වෙලා තියෙනවා. ඒක නිසා හොඳට කන්න….” මැඩම් මගේ ඔළුව අතගාලා කිව්වා.

“ඔයාගේ මැඩම් හරි හොඳයිනේ….” නංඟි කියද්දි මටත් හිතාගන්න බැරි වුණා ඉස්කෝලේ නැට්ට ගිනි ගත්ත හනුමා දුවනවා වගේ දුවන මැඩම්ද මේ කියලා.

“ඉස්කෝලෙට ඇවිත් බලන්නකෝ….” මම කට්ලට් එකක් කන ගමන් කිව්වා. මොකක් වුණත් කට්ලට් එක නම් ලෝබ නැතුව ටෙනිස් බෝල සයිස් හදලා. ඒ වගේම රසයි.

ගඟ දිහා බලන් ඉද්දි මට එක් එක දේවල් මතක් වුණා. එකම ගඟ දිහා දෙපාරක් බලන්න බෑ කියලා දවසක් පන්සලේ හාමුදුරුවෝ කිව්වම මම දවස් ගාණක් කල්පනා කළා ඒ ඇයි කියලා. පස්සේ තමා මීටර් වුණේ කතාව. ඒත් ඉතින් ගඟේ වෙනසක් නෑනේ. බැහැගෙන යන ඉර එළිය ගඟට වැටිලා තිබුණ ලස්සන මම ඇස් වලින් උරාගත්තා. තේජා හිටියනම් කියලා ආයෙත් හිතුනා.

“මේ මගේ ගෝලයෙක්. ධරණි….” කියලා මැඩම් විදුරංගව මං ඉස්සරහට එක්ක ආවම මට හිතුනෙම ගඟට පනින්න.

විදුරංගයි මමයි මූණෙන් මූණ බලාගෙන හිටියේ මොකක් කියන්නද කරන්නද කියලා හිතාගන්න බැරුව.

දෛවයේ සරදම් කියලා දෙයක් ලෝකේ තියෙනවා නම් ඒවා එකම දවසේ එකම ගෙයක් අස්සේ පටිසන් දුන්නා නම් ඒ අහිංසක මටම තමා. ඇයි දෙයියනේ මං මොනවා නොදී ගත්තටද මට මෙහෙම වෙන්නේ…??

විදුරංග කට කොණට හිනාවෙලා යන්න යද්දි මට හිතුනෙම පැනලා උගේ පිට හරහට දෙන්න.

තාත්තාගේ යාළුවගේ wife Bio මැඩම් වීම කරුමයක් නම් මගේ ජීවිතේම කන්න ආපු එකෙක් ඒ දෙන්නගේ පුතා වීම නම් plan කරපු කරුමයක්. මටමයි වෙන්නේ.

යකාගේ කම්මල කොයි වගේ ඇද්ද කියලා මට තේරුනේ එදා තමා. විදුරංගට තියෙන්නේ අමුතු හිනාවක්. ඒකට පුළුවන් ඕනම කෙල්ලෙක් කාන්දමක් වගේ ඇදලා ගන්න. මට එහෙමයි හිතුනේ.

“ඒ අයියා හරි ලස්සනයි නේ….” නංඟි හිමින් කිව්වා.

“අපොයි ඔව්… වෙන පිරිමි නැත්තන් මේ ලෝකේ….”

හොඳම සීන් එක සෙට් වුණේ රෑ කෑම කද්දි. මමයි නංඟියි ඉඳගත්තේ එක පැත්තක මේසේ. ඒකෙත් මම ඉඳගත්ත තැනට මේසේ එහා පැත්තට සෙට් වුණේ විදුරංග ගොයියා. මේසේ හැටියට මිනිහට ඉඳගන්න වෙන්නෙත් එතනම තමා. මදැයි හිතේ හැටියට කන්න ආවා. මීට හොඳයි මම මී පාසානම් කාලා නිදාගත්තා නම් කියලා හිතුනා.

“ධරණි සද්ද නැතුවම කනවා නේද…?” මැඩම් මට කෑම බෙදන ගමන් ඇහුවා.

කන ගමන් කතා කරන්න හොඳ නෑ කියලා මෙයා ඉගෙන ගෙන නෑ මම හිතන්නේ.

“එයා හොඳ පුරුදු රකිනවනේ…” තාත්තා ඉතිං මාව කන්න උපන් හාදයනේ.

මෙතන ඉන්න අය දන්නවා නම් විදුරංග කියන්නේ මගේ පරම සතුරෙක් කියලා තව මොනවා කියයිද මංදා.

“අන්න ඒකට ඉස්කෝලෙදි… වහලේ ගැලවෙන්න සද්දේ පන්තියේ සෙට් එකත් එක්ක….” මැඩමුත් පටන් ගත්තා.

“අද නම් සෙනසුරු මහ දශාවෙන් එළියට බැහැලා තියෙන්නේ. සැක්.. මෙහෙම දවස් මොකට උදාවෙනවද මංදා….” මං මටම කියාගත්තා.

ඒ අස්සේ විදුරංගයා මේසේ යටින් මගේ කකුළ පාගනවා. අම්මපා උල් සපත්තු දෙකක් නෑනේ මේකගේ කකුළ හිල්වෙන්න අනින්න. මම ශේප් එකේ කකුළ් දෙක උඩට අරන් පුටුවේ තිබුණ හරස් ලෑලි කෑල්ල උඩ තියාගත්තා. ටිකක් වෙලා යද්දි අපේ අම්මාගේ මූණේ හිනාවක් යනවා මං දැක්කා. විදුරංගයා මුකුත් නොදන්න ගාණට බත් කනවා.

මූ ෂුවර් අපේ අම්මගේ කකුළ පාගගෙන ඇති. පව් අසරණ ජීවිතේ. මම කාලා ඉවර නිසා නැඟිටිද්දිම විදුරංග මූණ සත පහ කරන් මං දිහා බැලුවා. එතකොටම අපේ අම්මගේ හිනාව එළියට පැන්නා.

“කාපං පුතේ වහ….” විදුරංගගේ මූණ බලන්න තිබුණේ ඒ වෙලාවේ. මරු. ජස ලෙංචිනා කෝලමට අරන් යන්න.

“මොකෝ තනියම හිනාවෙන්නේ…?” තාත්තා ඇහුවා.

“නෑ… නෑ… මට පොඩි දෙයක් මතක් වුණා…” අම්මා එහෙම කියද්දි තමා අරුන්දැට හුස්ම වැටුණේ.

කාලා ඉවර වෙලා කට්ටියම කෝපි බොන්න සෙට් වුණා.

“ධරණි… ඔයාට Chemistry Physics කොහොමද….?? Bio paper එක නම් ඔයා හොඳට කරලා තිබුණා…” මැඩම් කියද්දි මට පැනලා බදාගන්න හිතුනා.

“Physics අමාරුයි කිය කිය ඉන්නේ…තව class එකක් හොයලා දෙන්න අපි කතා වුණේ….” අම්මා කියද්දි මට හරි ආදරේ හිතුනා. ඒ දෙන්නා මට කොච්චර ආදරෙයිද…?

“මෙයා දැන් exam ඉවර වුණාම මම එවන්නම්…” මැඩම් එයාගේ පුතණ්ඩියව පෙන්නලා කියද්දි මට කාපුවා එවෙලෙම දිරෙව්වා.

“පුතාට වදේනේ..” අපේ අම්මා වෙච්ච සීන් එක අමතක කරලා කිව්වා.

“නෑ… අවුලක් නෑ මං එන්නම්….” ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වලු.

මං ගිය ආත්මෙක කාට හරි මාරම පාපකාරි වැඩක් කරලා. ඒකනේ මෙහෙම තුන් හුලස් අකුණු මගේ ඔළුවට කඩන් වැටෙන්නේ. ඒත් එක්කම මට මතක් වුණේ සචිනි. ඒකි මැරෙයි විදුරංග අපේ ගෙදර එනවා කිව්වම.

කොහොම හරි තාත්තාගේ යාළුවාගේ ගෙදරින් පිටත් වුණේ මිතු දම දියුණු කරන් සහ ඊළඟට අපේ ගෙදර සෙට් වෙන්න බලන්. එදාට නම් තේජව ගෙන්න ගන්නවා. අම්මපා.



මතු සම්බන්ධයි.



©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල


චාරිකා – 11 කොටස http://thewoman.lk/charika-10-episode/