චුන්ද රන්කරුවාට දෙසූ බණ ඔබට අකැප ද?
වරෙක පාවා නුවර චුන්ද රන්කරුවාගේ අඹඋයනේ වැඩ වසන බුදුරජාණන්වහන්සේ චුන්ද රන්කරුවාට දේශනා කළ ධර්මයක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ ‘චුන්ද සූත්‍රය‘ ලෙසින් ඇතුළත් වේ. ඒ පිළිබඳව මේ ලිපියේ දී සාකච්ඡා කරන්නෙමු.
එදා චුන්ද රන්කරුවා බුදුරජාණන්වහන්සේ හමු වූ විට බුදුරජාණන්වහන්සේ චුන්දගෙන් ප්‍රශ්නයක් අසයි. එනම් ‘පිරිසිඳු වීම සඳහා කවුරුන් අනුගමනය කරන ක්රමවිධිවලට ද ඔබ කැමැති‘ යන්නයි. චුන්දගේ පිළිතුර වන්නේ බස්නාහිර පළාතේ වසන බ්‍රාහ්මණයන්ගේ වත් පිළිවෙත් වලට ඔහු කැමැති බවයි. ඒ බ්‍රාහ්මණයන්ගේ පිරිසිඳුවීමේ ක්‍රමය චුන්ද බුදුරජාණන්වහන්සේට මෙසේ විස්තර කරයි.
“එම්බා පුරුෂය, ඔබ මෙහි එව. කලින්ම සයනයෙන් නැගිටින්නේම, පෘථුවිය ස්පර්ශ කරන්නෙහිය. ඉදින් පෘථුවිය ස්පර්ශ නොකරන්නෙහි නම්, තෙත් ගොම ස්පර්ශ කරන්නෙහිය. ඉදින් තෙත් ගොම ස්පර්ශ නොකරන්නෙහි නම්, අමු තණ ස්පර්ශ කරන්නෙහිය. ඉදින් අමු තණ ස්පර්ශ නොකරන්නෙහි නම්, ගිනි පුදන්නේය. ඉදින් ගිනි නොපුදන්නේ නම්, ඇඳිලි බැඳ හිරු වඳින්නේය. ඉදින් ඇඳිලි බැඳ හිරු නොවඳින්නේ නම්, සවස් කාලය තුන්වෙනිකොට ජලයෙහි ගිලෙන්නෙහිය.’ ස්වාමීනි, මෙසේ වනාහි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියෙහි ගිලෙන, බමුණෝ පිරිසිදුකම පණවත්. මම ඔවුන්ගේ පිරිසිදුකම රුචි කරමි” යි කීයේය.
මේ අසා බුදුරජාණන්වහන්සේ චුන්දට කියන්නේ ආර්යවිනයෙහි පිරිසිදු වීම වෙනස් ආකාරයෙන් සිදු වන බවයි. මේ අනුව බුදුරජාණන්වහන්සේ හමුවට යන චුන්ද වෙනත් විශ්වාසයක් දරන්නෙකු බව පැහැදිලි වේ. කෙසේවෙතත් බුදුරජාණන්වහන්සේ ආර්ය විනයෙහි වෙනස් විදියට පිරිසිඳු වීම පනවන බව පැවසූ විට එය ඇසීමේ ආශාව චුන්දට ඇති වේ. එනිසා එය දේශනා කරන ලෙසින් චුන්ද බුදුරජාණන්වහන්සේට ආරාධනා කරයි.
බුදුරජාණන්වහන්සේ චුන්දට කියා දෙන ආකාරයට කයින් ආකාර තුනකින් අපිරිසිඳු වන අතර වචනයෙන් ආකාර හතරකින් අපිරිසිඳු වෙයි. සිතින් තෙයාකාරයකින් අපිරිසිඳු වෙයි. මේ ත්‍රිවිධාංග බුදුරජාණන්වහන්සේ පැහැදිලි කර දෙයි. ඒ මෙසේයි.
කයින් අපිරිසිඳු වීම
1. චුන්දය, මෙ ලොව්හි ඇතැමෙක් රුදුරුකම් ඇතියේ ලෙහෙවැකි අත් ඇතියේ නැසුම් හා පැහැරුම්හි නිවිෂ්ට වූයේ සව්සතුන් කෙරෙහි දයාරහිත වූයේ ප්රාණාඝාතී වෙයි.
2. අයිනාදන් කරන සැහැවි ඇතියේ වෙයි: ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි යම් මෙරමා සතු වස්තුපකරණයෙක් වේ නම් ස්තෙය සඞ්ඛ්‍යාත වූ නොදුන් දෑ ගන්නේ වෙයි.
3. කාමයන්හි මිස හසර ඇතියේ වෙයි: මාතෘරක්ෂිතාය, පිතෘරක්ෂිතාය, මාතෘපීතෘරක්ෂිතාය, භ්රාතෘරක්ෂිතාය, භගිනිරක්ෂිතාය, ඥාතිරක්ෂිතාය, ධර්මරක්ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය, යටත් පිරිසෙයින් මාලාගුලායෙන් පරික්ෂිප්ත වුවා දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබඳු මාගමුන් කෙරෙහි හැසිරෙන බවට පැමිණෙන්නේ වෙයි.
වචනයෙන් අපිරිසිඳු වීම
1. චුන්දය මෙ ලොව්හි ඇතැමෙක් සභාවකට ගියේ වේවයි පිරිසකට ගියේ වේවයි නෑයන් මැදට ගියේ වේවයි ජනසමූහ මැදට ගියේ වේවයි රජකුලන මැදට ගියේ වේවයි ඉදිරියට කැඳවන ලදුයේ එම්බා පුරුෂය, මෙහි එව, යමක් දිනිහි නම් එ කියවයි සාක්ෂි අසන ලදුයේ මුසවා බණන සුලු වෙයි. හේ නො දන්නේ ම ‘දනිමි’යි කියයි, දන්නේ හෝ ‘නො දනිමි’යි කියයි, නො දක්නේ හෝ ‘දක්මි’යි කියයි, දක්නේ හෝ ‘නො දක්මි’යි කියයි. මෙසේ ආත්මහෙතුයෙන් වේවයි පරහෙතුයෙන් වේවයි අල්ප වූ ආමිස හෙතුයෙන් වේවයි සම්පජානමුසා බණන්නේ වෙයි.
2. මොවුන්ගේ භෙදය පිණිස මෙතැනින් අසා අසෝතන්හි කියනුයේ හෝ අසෝතන්හි අසා ඔවුන්ගේ භෙදය පිණිස මොවුනට කියනුයේ හෝ පිසුනුබස් ඇතියේ වෙයි: මෙසේ සමග වූවන් බිඳිනුයේ හෝ බිඳුනවුනට අනුබල දෙනුයේ හෝ වර්ගකරණයෙහි ඇලුනේ වර්ගකරණයෙහි නිකුත්වූයේ වර්ගකරණයෙන් තුස්නේ වර්ගකරණබස් බණන්නේ වෙයි.
3. පරොස්බස් ඇතියේ වෙයි: යම් ඒ බසක් රළු වේ ද කැකුළු වේ ද පරහට කටුක වේද මෙරමා ගටනා සුලු වේද ක්‍රොධය වට ඇතියේ වේද සමාධියට හිත නො වේ ද එබඳු බස් කියන්නේ වෙයි.
4. සම්ඵප්‍රලාප වෙයි: අකාලවාදී ව අභූතවාදී ව අනර්ථවාදී ව අධර්මවාදී ව අවිනයවාදී ව ළෙහි නො තැබිය යුතු නො කල්හි හෙතු රහිත පිරිසිදුම් නැති අනර්ථය ඇසුරු කළ බස් බණනේ වෙයි.
සිතින් අපිරිසිඳු වීම
1. චුන්දය, මෙලොව්හි ඇතැමෙක් අභිධ්‍යා බහුල කොට ඇතියේ වෙයි. යම් ඒ මෙරමාගේ පරචිත්තොපකරණ වේ නම් එයට ගිජු වෙයි. “අහෝ මෙරමා අයත් යමක් වේ නම් එය මට වේවා”යි
2. ප්‍රද්විෂ්ට මනඃ සඞ්කල්ප ඇතියේ මෙ සත්හු නැසෙත්වා හෝ යි බැඳෙත්වා හොයි මුල් සිඳී යෙත්වා හෝයි වැනසෙත්වා හෝයි නො ම,වෙත්වා හෝයි ව්‍යාපාදයට පත් සිත් ඇතියේ වෙයි.
3. “දෙන ලද්දෙහි ඵල නැති, පුදන ලද්දෙහි ඵල නැත, හෝමයෙහි ඵල නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මව නැත, පියා නැත, ඔපපාතික සත්ත්වයෝ නැත, ලොකයෙහි ස්ම්යග්ගත ව සම්‍යක් ප්‍රතිපන්න ව මෙලෝ පරලෝ තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට යමෙක් පවසත් නම් එබඳු මහණ බමුණෝ නැතැයි.
ඉහතින් කී කරුණු දහය සාමාන්‍ය භාවිතාවේ දී හඳුන්වන්නේ දස අකුශල ධර්ම ලෙසිනි. මේ දස අකුශලයන් නිසා පුද්ගලයකු අපිරිසිඳු වන බව බුදුරජාණන්වහන්සේ චුන්දට පැහැදිලි කර දෙයි. ඒ බස්නාහිර පළාතේ බ්‍රාහ්මණයන් කුමන දේ කළත් මේ දස අකුශලයන්ගෙන් යුක්ත නම් පිරිසිඳුවීමක් නොවන බව පෙන්වා දෙමිනි. ඒ මෙසේ යි.
චුන්දය, මේ දශඅකුශලධර්මයෝ අශූචි ම වෙති, අශූචිකරණ ම වෙත්. චුන්දය, දශඅකුශල කර්මපථයන්ගේ සමන්වාගමහෙතුයෙන් නිරය පැනෙයි, තිරිසන්යොන් පැනෙයි, ප්‍රෙතවිෂය පැනෙයි. එබඳු අන් කිසි දුර්ගතිහු ද පැනෙත්.
එසේ නම් පිරිසිඳු වන්නේ කෙසේ ද? එයත් චුන්දට බුදුරජාණන්වහන්සේ දේශනා කරයි.
කයින් පිරිසිඳු වීම
1. මෙලොව්හි ඇතැමෙක් පණිවා හැර පණිවායෙන් වැළැක්කේ වෙයි, බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇත්තේ සව්සතුන් කෙරෙහි දයා ඇත්තේ හිතානුකම්පා ඇත්තේ වෙසෙයි.
2. අයිනාදන් හැර අයිනාදනින් වෙන් වූයේ වෙයි, ගම්හි වූ හෝ අරන්හි වූ හෝ මෙරමා අයත් යම් ඒ පරචිත්තූපකරණ වේ නම් ථෙය්යසඞ්ඛ්යාත ඒ නො දුන් දෑ නො ගන්නේ වෙයි.
3. කාමයන්හි මිස හසර හැර දමා මිසහසරින් වැළැක්කේ වෙයි, මාතෘරක්ෂිතාය, පීතෘරක්ෂිතාය, මාතාපීතෘරක්ෂිතාය, භ්රාතෘරක්ෂිතාය, භගිනිරක්ෂිතාය, ඥාතිරක්ෂිතාය, ධර්මරක්ෂිතාය, සස්වාමිකය, සපරිදණ්ඩාය, යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පිරිකෙව්ලදුදැයි යම් ඒ මාගම්හු වෙත් නම් උන් කෙරෙහි නො හැසිරෙන බවට නො පැමිණෙන්නේ වෙයි.
වචනයෙන් පිරිසිඳු වීම
1. චුන්දය, මොලොව්හි ඇතැමෙක් මුසවා හැර පියා සභාවට ගියේ වේවයි, පිරිසට ගියේ වේවයි, නෑයන් මැදට ගියේ වේවයි, ජනසමූහ මැදට ගියේ වේවයි, රජකුලන් මැදට ගියේ වේවයි, අබිමුවට කැඳවන ලදුයේ “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එ කියව”යි සාක්ෂි විසින් පිළිවුස්නා ලදුයේ මුසවායෙන් වැළැක්කේ වෙයි. හේ නොදන්නේ හෝ නොදන්මි’යි කියයි, දන්නේ හෝ ‘දනිමි’යි කියයි. නො දක්නේ හෝ නො දක්මි’යි කියයි, දක්නේ හෝ ‘දක්මි’යි කියයි. මෙසේ ආත්මහෙතුයෙන් වේවයි පරහෙතුයෙන් වේවයි කිසියම් ආමිසහේතුවකින් වේවයි සම්පජානමුසා නො කියන්නේ වෙයි.
2. පිසුනු බස් හැරපියා පිසුනුබසින් වැළැක්කේ වෙයි: මෙතන්හි අසා මුන්ගේ භෙදය පිණිස එතන්හි නො කියන්නේ වෙයි, එ තන්හි අසා උන්ගේ භෙදය පිණිස මොවුනට නො කියන්නේ වෙයි. මෙසේ බිඳුනවුන් හෝ ගටනුයේ වෙයි, සමග වූවනට අනුප්රදාතෘ වෙයි. සමගයෙහි ඇලුනේ සමගයන් කෙරෙහි රැඳුනේ සමගයන් හා තුටු වනුයේ සමග කරන බස් කියනුයේ වෙයි.
3. පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැක්කේ වෙයි: යම් ඒ බසක් නිදොස් වූ, කනට සුව දෙන ප්‍රෙමණීය හෘදයඞ්ගම විනීත බොහෝ දෙන හට සිත්කලු බොහෝ දෙන හට මන වඩන බසෙක් වේ නම් එබඳු බස් තෙපලන්නේ වෙයි.
4. පලප් බස් හැරපියා පලප්බසින් වැළැක්කේ වෙයි: කාලවාදී ව භූතවාදී ව අර්ථවාදී ව ධර්මවාදී ව විනයවාදී ව ළෙහි නිදන් කටයුතු සහෙතුක වූ පිරිවැටුම් ඇති අර්‍ථනිඃශ්‍රිත බස් කල්හි බණන්නේ වෙයි.
සිතින් පිරිසිඳු වීම
1. චුන්දය, මෙ ලොව්හි ඇතැමෙක් අභිජ්ඣා බහුල නො වෙයි. මෙරමාගේ යම් ඒ පරචිත්තොපකරණයෙක් වේ නම් ‘අහෝ, එකැතින් ඒ පරා අයත් යමක් වේ නම් එ මට වේව’යි එයට ගිජු නො වෙත්.
2. “මේ සත්ත්වයෝ වෛර නැතියාහු ව්‍යාපාද නැතියාහු දුක් නැතියාහු සුවපත් වූවාහු ආත්මපරිහරණ කෙරෙත්වා”යි අප්රද්විෂ්ටමනඃ සංකල්ප ඇතියේ අව්‍යාපාදයට නො වන් සිත් ඇතියේ වෙයි.
3. දුන් දෑහි ඵල ඇත, පූජායෙහි ඵල ඇති, හොමයෙහි ඵල ඇති, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඖපපාතික සත්ත්වයෝ ඇත, යමෙක් මෙලෝ හා පරලෝ තුමු ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යක්ගත ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව්හි ඇතැයි අවිපරිත දර්ශන ඇතියේ සම්‍යග්දෘෂ්ටික වෙයි.
මෙහි ද අංග දහයකි. සිත, කය සහ වචනය පිරිසිඳු කර ගැනීම සඳහා බුදුරජාණන්වහන්සේ චුන්දට දේශනා කරන ක්‍රමවේදය මෙයයි. එය දස කුශලය ලෙසින් හඳුන්වයි. බස්නාහිර පළාතේ බ්‍රාහ්මණයන් වුව ද මේ දස කුශල ධර්මයන් අනුව කටයුතු කරන්නේ නම් එවිට පිරිසිඳු වන බව උන්වහන්සේ දේශනා කරන ලදි. ඒ මෙසේයි.
චුන්දය, මේ දශ කුශල කර්ම පථයෝ ශූචි ම වෙති. ශූචිකරණ ද වෙත්. චුන්දය, මේ දශ කුශල කර්මපථයන්ගේ සමන්වාගමන හෙතුයෙන් දෙවියෝ පැනෙත්. මනුෂ්‍යයෝ පැනෙත්. යම් බඳු අන් කිසි සුගතිහු ද පැනෙත්යයි.
චුන්ද රන්කරුවා මේ අසා උපාසකයකු බවට පත් විය.
දස අකුශලයන් දෙස අවධානය යොමු කරන විට දස අකුශලයන් ප්‍රධාන වශයෙන් අංග 3 කට බෙදෙන බව පෙනී යයි. ඒ සිත, කය හා වචනය ලෙසිනි. සිතින් වන අකුශලයන් තුනකි. ඒ තණ්හාව, ව්‍යාපාදය හා මිථ්‍යාදෘෂ්ටියයි. මේවායින් කියන්නේ කුමක් ද යන්න සූත්‍රයේදී විස්තර කර දී තිබේ. කයින් වන අකුශලයන් තුනකි. ඒ ප්‍රාණඝාතය, අදත්තාදානය සහ කාමමිච්ඡාඡාරය යි. මේ තුන ගැන ද සූත්‍රයේ මැනවින් විස්තර කර තිබේ. වචනයෙන් සිදුවන අකුසලයන් හතරකි. ඒ මුසාවාද, පිසිණුවචන (කේලාම්), පරුෂ වචන සහ සම්ප්‍රප්ඵලාප කීමයි. මේවාද සූත්‍රයේ මැනවින් විස්තර කර තිබේ. ඔබ, මේ දස අකුශලයන් පිළිබඳව සූත්‍රයේ ඇති පැහැදිලි කිරීම් විමසා බැලුවහොත් මෙතෙක් ඔබ සිතා සිටිනා පංචශීලයේ අර්ථයන් සමඟ එය වෙනස් බව පෙනී යනු ඇත. අනෙක, දස අකුශලයට සුරාමේරය ඇතුළත් නොවේ. නමුත් පංචශීලයේ අනෙක් සිල්පද ඇතුළත් වෙයි. ඒ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාරය සහ මුසාවාදය වේ. මේවායින් ආවරණය වන ක්‍රියාවන් සහ සිතුවිලි සෑම කලටම මිනිසුන් තුළ පවතින ක්‍රියාවන් සහ සිතුවිලි බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔබට, මේ අවස්ථාවේ දී ඒවා ඔබ තුළත් පවතින්නේ ද යන්න ඔබගෙන් ම විමසා හඳුනා ගත හැක.