දස කුසල් සහ අකුසල්

hpalpola

Well-known member
  • සිංහල බෞද්ධයන් අතර දස කුසල් සහ දස පුණ්‍ය ක්‍රියා අතර ඇති වෙනස පිළිබඳ පුළුල් අවබෝධයක් තියෙන බවක් පෙනෙන්නෙ නැහැ. නමුත් මේ දෙක දෙකක්. තව විදියකට කියනවා නම් කුසල් සහ පින් කියන්නේ අංග දෙකක්. මේ නිසා මේ ගැන කෙටි සටහනක් තබන්න හිතුවා. මෙතැනදි කථා කරන්නේ දස කුසල් සහ අකුසල් ගැන විතරයි.

    අංගුත්තර නිකායේ ජානුස්සෝනි වග්ගයේ තියෙන චුන්ද සූත්‍රය මේ සඳහා මාතෘකා කර ගැනීමට සුදුසු බවයි මගේ අදහස. මේ සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ චුන්ද කර්මාරාම පුත්‍රයට දේශනා කරනවා පුද්ගලයකු අපිරිසිදු වෙන ක්‍රම 10 ක්. මෙතැනදි අපිරිසිදු කම කියන්නේ අකුසල කර්ම.

    ඒ ක්‍රම 10 ප්‍රධාන කාණ්ඩ 3 කට බෙදෙනවා. ඒ කයින් කරන අපිරිසිදු ක්‍රියා, වචනයෙන් කරන අපිරිසිදු ක්‍රියා සහ හිතෙන් කරන අපිරිසිදු ක්‍රියා විදියට. මෙයිනුත් කයින් කරන අපිරිසිදු ක්‍රියා තුන් ආකාර යි. වචනයෙන් කරන අපිරිසිදු ක්‍රියා සිව් ආකාරයි. හිතෙන් කරන අපිරිසිදු ක්‍රියා තුන් ආකාර යි.

    කයින් කරන අපිරිසිදු ක්‍රියා වෙන්නේ සත්ව හිංසාව ඇතුළු ප්‍රාණඝාතය, සොරකම සහ කාමමිථ්‍යාඡාරය. වචනයෙන් කරන අපිරිසිදු ක්‍රියා වෙන්නේ බොරුව, පරුෂ වචන, පිළුණු වචන සහ සම්ප්‍රප්ඵලාප. එතකොට හිතෙන් කරන අපිරිසිදු ක්‍රියා වෙන්නේ දැඩි තණ්හාව, ක්‍රෝධය සහ මිථ්‍යා දෘෂ්ටිය. බුදුරජාණන්වහන්සේ චුන්දට දේශනා කරනවා මේ තමයි දස අකුසල් කර්ම පථ කියලා.

    මේවා තව ටිකක් විස්තර විදියට දැන ගමු චුන්ද සූත්‍රය අනුව ම.

    මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සියලු සතුන් කෙරෙහි රෞද්‍රවූයේ, ලේ වැකුණු අත්ල ඇත්තේ, ගැටීමෙහි, ගැලීමෙහි ඇළුනේ, දයාවට නොපැමුණුනේ, සතුන් මරන්නේ වෙයි.

    ගමට අයත්වූද, වනයට අයත්වූද, අනුන්ගේ යම් වස්තුවක්, උපකරණයක් වේද, නොදෙනලද්දේ, එය සොර සිතින් ගනියිද, නුදුන් දෙය ගන්නේ වේ.

    මව රක්නා, පියා රක්නා, සහෝදරයා රක්නා, සහෝදරිය රක්නා, ඤාතීන් රක්නා, ධර්‍මය රක්නා, ස්වාමියන් ඇති, දඬුවම් නියම කළ, යටත් පිරිසෙයින් මල් වැල නමුත් පළඳවන ලද, යම් ඒ තැනැත්තියක් වේද, එබඳුවූවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද

    මේ විදියට තමයි කයින් වෙන අකුසල් ක්‍රියා විස්තර කරන්නේ. එතකොට වචනයෙන් වෙන අකුසල් ක්‍රියා විස්තර කරන්නේ මෙහෙමයි.

    මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු කියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය” යි කියයි. හෙතෙම නොදන්නේ හෝ දනිමියි කියයි. දන්නේ හෝ නොදනිමියි කියයි. නොදක්නේ හෝ දකිමියි කියයි. දන්නේ හෝ නොදන්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු කීවා වේද,

    “පිසුණු කියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන කියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට කියන්නේ වේ. මෙසේ සමගිවූවන් බිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු දෙන්නේ, කොටස් කිරීමෙහි නියුක්තවූයේ, කොටස් කිරීමෙහි ඇලුනේ, කොටස් කරණ වචන කියන්නේ වේ.

    “ඵරුෂ වචන කියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන කියන්නේ වේ.

    “ප්‍රලාප දොඩන්නේ වේ. නොකල්හි කියන්නේ, නොවූ දේ කියන්නේ, අයහපතින් කියන්නේ, අධර්‍මයෙන් කියන්නේ, නොහික්මීමෙන් කියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන කියන්නේ වේ.

    හිතෙන් කරන අකුසල් ක්‍රියා විස්තර කරලා තියෙන්නේ මෙහෙම.

    මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ වේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ‘මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා කරණ ලද්දේ වේද,

    “මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා ඇත්තේ, පෙරළුනු සිත් ඇත්තේ වේද,

    “දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් වේද,

    එහෙනම් දැන් අපි බලමු කුසල කර්ම කොහොම ද විස්තර කරලා තියෙන්නෙ කියලා.

    ඔය කලින් කියපු අකුසල් ක්‍රියාවන්ගෙන් වැළකීම තමයි දස කුසල කර්ම වෙන්නේ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමමිථ්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, සම්ප්‍රප්ඵලාපයෙන් වැළකීම, පිළුණු වචනයෙන් වැළකීම, දැඩි තණ්හාවෙන් වැළකීම, ව්‍යාපාදයෙන් වැළකීම සහ සම්මා දෘෂ්ටිය. චුන්ද සූත්‍රයෙ මේවා විස්තර කරන්නේ මෙහෙම යි.

    චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි.

    “නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. චුන්‍දය, මෙසේ වනාහි තුන් වැදෑරුම්වූ කායික පිරිසිදුකම වේ.

    “චුන්‍දය, කෙසේ වචනයෙන් සතර වැදෑරුම් පිරිසිදුකම වේද, චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය” යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද?

    “පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ.

    “ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන නොකියන්නේ වේ.

    “ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් පිරිසිදුබව වේ.

    “චුන්‍දය, කෙසේ සිතින් තුන් වැදෑරුම් පිරිසිදුබව වේද? චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ‘මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද,

    “මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ.

    “දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, චුන්‍දය, මෙසේ වනාහි සිතේ ත්‍රිවිධ පිරිසිදුකම දතයුතුයි.

    මේ විදියට චුන්ද සූත්‍රයට අනුව දස කුසල් සහ අකුසල් හඳුනා ගත හැකියි. මේ පිළිබඳව බෞද්ධයන්ට හොඳ අවබෝධයක් තිබීම අවශ්‍ය යි. මොකද කියනවා නම් බුද්ධ දේශනාව වෙන්නේ සියළු ආකාරයේ පවෙන් වැළකීමත් කුසල් කිරීමත් නිසා.
     
    • Like
    Reactions: sylvaticus