මා හට අසන්නට ලැබුනේ මේ විදියට යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයේ. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‛පින්වත් මහණෙනි’ කියල, භික්ෂූන් වහන්සේලා ඇමතුවා. ‛පින්වතුන් වහන්ස’ කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළේ.
“පින්වත් මහණෙනි, මේ බුදු සසුනේ විතර ම යි පළමු වෙනි ශ්‍රමණයා ඉන්නෙ. දෙවනි ශ්‍රමණයා ඉන්නෙත් මේ බුදු සසුනෙ විතර ම යි. තුන් වෙනි ශ්‍රමණය ඉන්නෙත් මේ බුදු සසුනෙ විතර ම යි. හතර වෙනි ශ්‍රමණයා ඉන්නෙත් මේ බුදු සසුනෙ විතර ම යි. ලෝකෙ තියෙන අනිත් ආගම් ඔක්කෝම ශ්රමණයන් වහන්සේලා ගෙන් තොරයි.” පින්වත් මහණෙනි, ඔබට මේ ගැන සිංහනාද කරන්නට ඔය කාරණය ම ප්‍රමාණවත්.
පින්වත් මහණෙනි, අන්‍යාගමික පූජකවරු ඔබෙන් මේ විදියට අසන්නට පුළුවනි. ඒ කියන්නෙ “ඔය ආයුෂ්මතුන් වහන්සේලා මොකක් හරි දෙයක් නිසා කියනවා, පළමුවෙනි ශ්‍රමණයා ඉන්නේ බුද්ධ සාසනේ විතරයි කියලා. දෙවෙනි ශ්‍රමණයා ඉන්නෙත් බුදු සසුනේ විතරයි කියලා. තුන්වෙනි ශ්‍රමණයා ඉන්නෙත් බුදු සසුනේ විතරයි කියලා. හතරවෙනි ශ්‍රමණයා ඉන්නෙත් බුදු සසුනේ විතරයි කියලා. අනිත් හැම ආගමක් ම ශ්රමණයන් ගෙන් තොරයි කියලා. ඔය ආයුෂ්මතුන් වහන්සේලාට ඒ විදියට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොන අස්වැසිල්ලක් ලැබිල ද? මොන බලයක් ලැබිල ද?” කියලා.
පින්වත් මහණෙනි, ඒ විදියට ප්‍රශ්න අහන අන්‍යාගම්කාර පූජක ඇත්තන්ට මෙන්න මේ විදියටයි පිළිතුරු දෙන්න තියෙන්නෙ.
“පූජකවරුනි, අප ගේ භාග්‍යවතුන් වහන්සේ යථාර්ථය දන්න කෙනෙක්. යථාර්ථය දකින කෙනෙක්. කෙලෙස් රහිත කෙනෙක්. සම්මා සම්බුදු කෙනෙක්. ඒ භාග්‍යවතුන් වහන්සේ අපට කරුණු හතරක් කියා දීලා තියෙනවා. ඇත්තෙන් ම ඒවා අප තුළ තියෙනවා. අපි ඒ බව දකිනවා. ඒ නිසයි අපි එහෙම කියන්නෙ. “මේ බුදු සසුනෙ ම යි පළමුවෙනි ශ්‍රමණයා ඉන්නෙ” කියලා. “මේ බුදු සසුනෙ ම යි දෙවෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. “මේ බුදු සසුනෙ ම යි තුන්වෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. “මේ බුදු සසුනෙ ම යි හතරවෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. අනිත් හැම ආගමක් ම ශ්රමණයන් ගෙන් තොරයි” කියල. අපි එහෙම කියන්න හේතු වෙච්ච කරුණු හතර මොනවා ද?
1. අපට ශාස්තෘන් වහන්සේ ගැන ප්‍රසාදය තියෙනවා.
2. අපට ශ්‍රී සද්ධර්මය ගැනත් ප්‍රසාදය තියෙනවා.
3. අපට මේ සීලයත් සම්පූර්ණත්වයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා.
4. ගිහි-පැවිදි ශ්රාවකයින් වන අපි ඔවුනොවුන්ට ප්‍රිය මනාපව ධාර්මිකව ජීවත් වෙනවා.
පූජකවරුනි, යථාර්ථය දන්නා වූ යථාර්ථය දක්නා වූ අප ගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට ඔය කරුණු හතර කියා දීල තියෙනවා. ඉතින් ඔය කරුණු හතර අප තුළ දකිනවා. ඒක නිසයි අපි එහෙම කියන්නෙ “මේ බුදු සසුනෙ ම යි පළමුවෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. “මේ බුදු සසුනෙ ම යි දෙවෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. “මේ බුදු සසුනෙ ම යි තුන්වෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා.“මේ බුදු සසුනෙ ම යි හතරවෙනි ශ්‍රමණයත් ඉන්නෙ” කියලා. අනිත් හැම ආගමක් ම ශ්රමණයන් ගෙන් තොරයි” කියලා.
එතකොට පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු මේ විදියටත් ප්‍රශ්න අසන්නට පුළුවනි.
“එහෙම නම් ආයුෂ්මතුන් වහන්ස, ඉතින් අප තුළත් තියෙනවා නෙව අප ගේ ශාස්තෘන් වහන්සේ ගැන ප්‍රසාදය. අප තුළත් තියෙනවා නෙව අපේ ආගම ගැන ප්‍රසාදය. අප තුළත් තියෙනව නෙව සිල්. අපත් ඒ සිල් පුරමින් නෙව ඉන්නෙ. අපෙත් ගිහි-පැවිදි උදවිය කවුරුත් පාහේ ප්‍රිය මනාපව හොඳින් ඉන්නවා නෙව. ඉතින් එහෙම එකේ ඔය කරුණ ගැන ඔබේත් අපේත් තියෙන විශේෂත්වය මොකක් ද? ඔබේත් අපේත් තියෙන විශේෂ වෙනස්කම මොකක් ද?” කියලා.
“පින්වත් මහණෙනි, අන්න ඒ වෙලාවට ඔය අන්‍යාගම්කාර පූජකවරුන් ගෙන් මෙන්න මේ විදියටයි අසන්නට ඕන.
එහෙනම් පූජකවරුනි, ඔය කරුණ තුළ ඔබට තියෙන්නෙ එක ඉලක්කයක් ද? විවිධ ඉලක්කයන් ද?”
පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට උත්තර දෙනවා නම්, මෙන්න මෙහෙමයි උත්තර දෙන්න ඕන.
“ආයුෂ්මතුන් වහන්ස, එක ම එක ඉලක්කයයි තියෙන්නෙ. විවිධ ඉලක්ක නෑ” කියලා.
එතකොට ඒ අන්‍යාගම්කාර පූජකවරුන් ගෙන් මේ විදියට ප්‍රශ්න කරන්න ඕන.
“හොඳයි, පූජකවරුනි, ඒ ඉලක්කය තියෙන්නෙ රාග සහිත කෙනාට ද, රාග රහිත කෙනාට ද?” කියලා.
එතකොට ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට කතා කරනවා නම් මෙන්න මේ විදියටයි උත්තර දෙන්න ඕන.
“ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නෙ වීතරාගී කෙනාට මිසක් සරාගී කෙනාට නෙවෙයි” කියලා.
“පූජකවරුනි, ඒ වගේ ම ඒ ඉලක්කය තියෙන්නෙ ද්වේෂ සහිත කෙනාට ද, ද්වේෂ රහිත කෙනාට ද?”
පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට උත්තර දෙනවා නම්, මෙන්න මේ විදියටයි උත්තර දෙන්න ඕන.
“ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නෙ ද්වේෂය නැති කෙනාට මිසක් ද්වේෂය ඇති කෙනාට නො වෙයි” කියලා.
“පූජකවරුනි, ඒ ඉලක්කය තියෙන්නේ මෝහය සහිත කෙනාට ද? මෝහය රහිත කෙනාට ද?”
පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදිහට උත්තර දෙනවා නම්, උත්තර දෙන්න ඕන මේ විදිහටයි.
“ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නෙ මෝහයෙන් තොර කෙනාට මිසක් මෝහ සහිත කෙනාට නො වෙයි” කියලා.
“පූජකවරුනි, ඒ ඉලක්කය තියෙන්නේ තෘෂ්ණාව තියෙන කෙනාට ද? තෘෂ්ණාව නැති කෙනාට ද?”
පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට උත්තර දෙනවා නම්, උත්තර දෙන්න ඕන මේ විදියටයි.
“ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නේ තෘෂ්ණා රහිත කෙනාටයි. තෘෂ්ණා සහිත කෙනාට නො වෙයි” කියලා.
“පූජකවරුනි, ඒ වගේ ම ඒ ඉලක්කය තියෙන්නෙ බැඳීම් සහිත කෙනාට ද, බැඳීම් රහිත කෙනාට ද?”
පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට උත්තර දෙනවා නම්, මෙන්න මේ විදියටයි උත්තර දෙන්න ඕන.
“ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තිබෙන්නේ බැඳීම් රහිත කෙනාටයි. බැඳීම් සහිත කෙනාට නො වෙයි” කියලා.
“පූජකවරුනි, ඒ ඉලක්කය තිබෙන්නෙ යථාර්ථය දකින කෙනාට ද? යථර්ථය නො දකින කෙනාට ද?”
පින්වත් මහණෙනි, එතකොට ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදිහට උත්තර දෙනවා නම්, මෙන්න මේ විදිහටයි උත්තර දෙන්න ඕන.
“ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තිබෙන්නෙ යථාර්ථය දකින කෙනාට මිසක් යථාර්ථය නො දකින කෙනාට නො වෙයි” කියලා.
“එහෙනම් පූජකවරුනි, ඒ ඉලක්කය තියෙන්නේ ඇලීම් ගැටීම් වලට විරුද්ධ කෙනාට ද? ඇලීම් ගැටීම්වලට විරුද්ධ නැති කෙනාට ද?”
එතකොට පින්වත් මහණෙනි, ඒ අන්‍යාගම්කාර පූජකවරු නියම විදියට පිළිතුරු දෙනවා නම්, මෙන්න මේ විදියටයි පිළිතුරු දෙන්න ඕන.
“ආයුෂ්මතුන් වහන්ස, ඒ ඉලක්කය තියෙන්නේ ඇලීම් ගැටීම්වලට විරුද්ධ කෙනාට යි. ඇලීම් ගැටීම්වලට විරුද්ධ නැති කෙනාට නො වෙයි” කියලා.
continued...