ජපානයේ අත්දැකීම්.
ඔන්න කොල්ලනේ ගිය සතියේ මට නැවත ටෝකියෝ වලට යන්න උනා. Meeting එක තිබුනේ දවල් 3:00 ට නිසා පොඩ්ඩක් ඇවිදින්න කියල හිතාගෙන උදෙන්ම ගියා. ඔෆිස් කිට් එක ඇඳගෙන ඇවිදින්න බැරි නිසා ඩෙනිමකුයි T එකකුයි දාගෙන ගියේ. ඉතින් ඔන්න වටේ රවුම් ගහ ගහ ඉන්නකොට අතරමං වුනා වගේ දැනුනා. GPS දාගෙන බැලුවත් අඳුරගන්න බැරි උනා. කාගෙන්වත් අහන්න විදියකුත් නෑ, මට ජපන් භාෂාව හරියට බෑ.
ඔන්න ඉතින් කැරකි කැරකි ඉන්නකොට මෙහෙම ඇහුනා “යමනොතේ වරෙන්. මම ශිබුයා ස්ටේෂන් එකේ ඉන්නම්.” හම්මේ, දෙයියෝ බැලුවා වගේ, මම පට ගාල ගිහිල්ල පොරට කතා කරා. හැබැයි ඉතින් මාව වැඩිය ගණන්ගත්තෙ නැතුව ඇහුවා ඇයි? කියල.. මම කිව්වා “මල්ලි මට මෙන්න මේ ඔෆිස් එකට යන්න ඕන, පොඩි හෙල්ප් එකක් දෙන්න” කියල. ඉතින් මේ කොල්ල මට කිව්වා “මම පොඩ්ඩක් බිසී, ඔයා මෙහෙම ගිහිල්ලා (අතින් පාර පෙන්වයි) ස්ටේෂන් එකට යන්න. එතනින් යමනොතේ ලයින් එකේ ගිහිල්ල එබිසු වලින් බැහැල කාගෙන් හරි අහන්න. යමනොතේ ලයින් එක ලූප් ලයින් එකක්, ඒක නිසා කොයි පැත්තට ගියත් අවුලක් නෑ.” මමත් හා කියල අයෙත් ඇහුව ඔයා කොයි පැත්තටද යන්නේ, මට මේ ඇඳුම මාරුකරගන්නත් ඕන කියල. “ස්ටේෂන් එකේදී පුළුවන්, යමුකෝ එහෙනම්” කියල මේ කොල්ලත් මාත් එක්ක ස්ටේෂන් එකට ආව.
මම ඇඳුම මාරුකරගෙන ඔෆිස් කිට ගහගෙන ආවට පස්සේ මේ කොල්ල මාත් එක්ක කතාවට වැටුන. “අයියා, මෙහෙ ජොබ් එකක් කරනවද?” ඔන්න ඉතින් ඔක්කොම විස්තරේ කිව්වට පස්සේ මේ කොල්ලා මාත් එක්ක සෙට් උනා.
සොරි අයියා, මම හිතුවේ ඔයත් මෙහෙ වැලේ වැල් නැතිව ඉන්න පොරක් කියල. එකයි වැඩිය ගණන් ගත්තේ නැත්තේ. දැන් අපි වැඩිය ලංකාවේ කට්ටිය එක්ක කතාබහ කරන්නේ නෑ. අඳුරන කොල්ලෝ එක්ක විතරයි ඉන්නේ,
මමත් ඉතින් වෙලාව තියන නිසා කතාවට වැටුන. “ඇයි බන් එහෙම කියන්නේ? උඹ මෙහෙට ආවේ ස්ටුඩන්ට් ද?”
මල්ලි : ඔව් අයිය, මම ආවේ ගිය අවුරුද්දේ. අපි කොල්ලෝ 3 දෙනෙක් එකට ආවේ.
මම : අද උඹට ඉස්කෝලේ නැද්ද? කාලද ඉන්නේ?
මල්ලි: අද ඉස්කෝලේ නෑ. ආයේ අප්‍රේල් පටන් ගන්නේ. තාම කාල නෑ.
මම: එහෙනම් යමු කන්න. මටත් බඩගිනියි.
ඔන්න කනගමන් දැනගත් පරිදි මම මේ ස්ටුඩන්ට් එන අයගේ කතාව කියන්නම්.
මේ කොල්ල කලින් කිව්ව විදියට ඉන්නේ යාළුවො 3 දෙනෙක් එක්ක කාමරයක් අරගෙන. මාසෙකට 60,000 ලු. 3 දෙනා ගාන බෙදාගන්නවා. මෙහේ රෙස්ටුරන්ට් එකක පාර්ට් ටයිම් කරන්නේ. පැයට යෙන් 1000. සතියට පැය 24 – 28 අතර ගානක් තමයි හම්බුවෙන්නේ. සමහර දවස් වලට රෑ වැඩ කරනකොට යෙන් 1250 ගෙවනවලු පැයකට. ඒ කියන්නේ මාසෙට යෙන් 120,000 ක් විතර හම්බුවෙනවනේ. ඔන්න දැන් තමයි කතාව.
මේ කොල්ල ජපානෙට එන්න ඔක්කොම ලක්ෂ 15 ක් වියදම් කරලා තියනවා, එනකොට තව ලක්ෂයක් අතේ අරන් ඇවිත්. මේ සල්ලි හොයාගෙන තියෙන්නෙ ඉතුරු කරපු සල්ලි ඔක්කොම අරගෙන සහ රත්තරන් බඩු බැංකුවට තියල. ඉතින් මේ සල්ලි ආපහු යවන්න එපැයි.
දැනට මේ මල්ලි මාසෙකට යෙන් 20000ක් මෙහේ කාමරේට ගෙවනවා. ඊට අමතරව ඉන්ෂුවරන්ස් එකට, සීසන් එකට, ෆෝන් එකට (මේකා ආපු ගමන් ඇපල් 6s plus එකක් අරන්) මාසෙකට 15,000 ක් ගෙවනවා. ඉතින් පඩියෙන් ඉතුරු 85,000. ඕකෙන් ඉස්කෝලෙට දෙන්න ඉතුරු කරගෙන ගෙදරටත් යවල, කන්න බොන්නත් ඕන.
ඉතින් මේ ඔක්කොම ඔලුවේ තියාගෙන මේකා පුදුම කට්ටක් කන්නේ. හරිහමන් නින්දක් නැතුව, අධ්‍යාපනයට අවධානයක් නැතුව, හරිහමන් අරමුණක් නැතුව, පිළිවෙලකට කන්නේ බොන්නේ නැතුව තමයි ඉන්නේ. මේකා කන්නේ මෙහෙ යෙන් 100 ට තියන බත් ගුලි (මේවා නිකන් අපි කන බත් කටවල් දෙකක් වගේ). දවල්ට කන්නේ නෑ, හවසට වැඩ කරන තැනින් කන්න දෙනවා. මෙහෙම ඉඳල තමයි ගෙදරට 65000ක් විතර යවන්නේ. ඉතින් ඇඳුමක් එහෙම අරගෙන, හොඳට කාලා බීලා හිටියොත් මූට ඉතුරුවෙන දෙයක් නෑ. මුගේ තව යාලුවෙක් හොරෙන් ජොබ් 2ක් කරනවලු (මාසෙට ලක්ෂ 2 කට වඩා හොයනවලු), හැබැයි ඉස්කෝලේ යන්නේ අවාරෙට. ඉතින් මෙහේ ඇවිත් ඇති වැඩක් නෑ. නිකමට හිතපන්, ඌ ලංකාවට ගිහිල්ල මොනවා කරන්නද? ඉගෙනගන්න තියන කාලේ පිඟන් හෝද හෝද ඉන්නවා. නිකමට හරි අහුවුනොත් ඩිපෝර්ට් තමයි. ලංකාවෙත් පිඟන් හෝදන්න තමා වෙන්නේ.
දැන් මේ කොල්ල ජපානෙට ආවේ ජපන් ඉගෙනගන්නනේ, ඉතින් මේ අවුරුද්දේ මෙහෙම ඉඳල ලබන අවුරුද්දට වීසා ගන්න වෙන්නෙත් ස්ටුඩන්ට් ම තමා. එකියන්නේ මේ ජීවන රටාව වෙනස් වෙන්නේ නෑ අවුරුදු කීපයකට.
ඉතින් දැන් ඔය ලංකාවෙන් ජපානෙට එන්න හිතාගෙන ඉන්න මල්ලිලාට මේ කියන්නේ. ගෙදර බඩු බැංකුවට තියල, ලෝන් අරගෙන ඉගෙනගන්න ගමන් සල්ලි හම්බුකරන මානසිකත්වයෙන් මෙහෙට එන්න එපා. ඉගෙනගන්න එනවනම් සල්ලි අමතක කරලා වරෙන්. අමතර ගානක් හොයාගන්න පුළුවන් තමයි, එත් ලක්ෂ ගණනින් නම් නෙවෙයි. මෙහේ ආවට පස්සේ ආයේ දමල ගහල ගෙදර යන්න බෑ නේ. ඔය මෙහෙ ඉන්න උන් ෆොටෝ අරන් ෆේස්බුක් එකේ දැම්මට පුදුම කට්ටක් කන්නේ. දැන් ජපානේ ඉස්සර වගේ නෙමෙයි, ඉස්සර ආපු මිනිස්සු ලක්ෂ ගණනින් හම්බකරා, හොරට හිටියා. හැබැයි දැන් එහෙම නෑ, නීති තදයි.
අනිත් එක, ඉගෙනගන්න එනවනම් අරමුණක් ඇතුව වරෙල්ල. මෙහෙ ඇවිත් ජපන් භාෂාව ඉගෙනගත්තා කියල හොඳ රස්සාවක් හම්බුවෙන්නේ නෑ. ඔය ලංකාවේ ඉන්න මාෆියා කාරයොන්ට අහුවෙන්න එපා (හැමෝම නෙවෙයි හොඳේ). උන් උඹලට මවල පෙන්නලා ගැන කඩාගන්නවා. ජපානේ ඔය කියන තරම් සුපිරි නම් උන්ට මෙහෙ ඇවිල්ල ඉන්න පුළුවන් නේ.
අනිත් එක ඔය ස්ටුඩන්ට් වීසා අරගෙන මේ ඇවිල්ල පිස්සු කෙලපු ලංකාවේ උන් නිසා දැන් මෙහේ ලංකාවේ මිනිස්සුන්ට තියන පිළිගැනීම අඩු වෙලා තියෙන්නෙ. ටෝකියෝ වල මේක වැඩියි.
නැවත වතාවක් කියන්නේ. කොල්ලනේ උඹලගේ අම්මල තාත්තල තමන්ගේ ජීවිතකාලෙම දුක්විඳලා හම්බුකරපු සල්ලි ඔක්කොම වියදම් කරලා එන්න එපා. එන්න කලින් විස්තර හොයල බලල වරෙල්ලා. ප්ලෑන් එකක් ඇතුව වරෙල්ලා.
ප.ලි : මෙම කතාව ජපානයට පැමිණි සියලුම සිසුන්ට අදාළ වන්නේ නැත. තමන්ගේ මොලය පාවිච්චි කරමින් ගේම ගසන පිරිසක්ද ඇත. මෙය මා ලද අත්දකීමකින් ලියන ලදී.