‘‘යශෝරාවය’’ ගැන පරණ මතකයක්
මම දැන් ඉන්නෙ යාපනේ ජනකරළිය ජංගම රඟහලේ නාට්‍ය උළෙල ඉතාමත්ම සාර්ථකව පැවැත්වෙන පසුබිමක. මේ අතරෙ මට දැනගන්න ලැබුනා ‘‘යශෝරාවය’’ ටෙලි නාට්‍යය දැන් හැමදාම රාතී‍්‍ර 9.00 ට රූපවාහිණියෙන් විකාශනය වන බව. එය විකාශනය වන වෙලාවට මට ටෙලිවිෂන් එකක් ළඟට යන්න විදියක් නැහැ. එ් වෙලාවට හැමදාම ජංගම රඟහලේ නාට්‍යයක් පෙන්වන නිසා. පරණ දේ ආවර්ජනා කරන්න ටෙලිවිෂන් එකක් ළඟට යනවාට වැඩිය රඟහලේම ඉඳලා සජීවීව රඟදැක්වෙන නාට්‍ය නරඹමින් පන්සියයක් හයසියයක් එකවිට ලබන වින්දනය දැකබලා ගන්න එක ආශ්වාද ජනකයි.
සෝමවීට සේනානායක මිතුරාගෙ ‘‘යශෝරාවය’’ නවකතාව ආශ්රයෙන් රූපවාහිනී තිරනාටකය මම ලියද්දි සමහරු මට කිව්වෙ ඔය වැඬේ සාර්ථක වෙන්නෙ නෑ කියලයි. ලක්ෂ සංඛ්‍යාත ප්‍රෙක්ෂක පිරිසක් ග්‍රහණය කළහැකි ස්වභාවයක් එ් කතාවෙ නැති බවයි බොහෝ අයගෙ මතය උනේ. නමුත්, මම එ් කතාව තිරනාටකයකට නගන්න උපයෝගි කර ගත්ත නාට්‍ය කලාව අනුසාරයෙන් භාවිතා කළ ක්‍රමවේදය හරියටම හරිගියා. එ්ක නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කළ පළමුවැනි ටෙලිනාට්‍යය. පළමුවැනි කොටස විකාශනය වෙලා අවසන් උන ගමන් කවුදෝ කෙනෙක් රූපවාහිනියට ටෙලිපෝන් කරලා මට හොඳටම බැන්නා. වීරසේකර පෙන්ෂන් පාටිය දාලා දරුවො එක්ක නටන ජවනිකාව දැකලා එයාට හොඳටම කේන්ති ගිහින් තිබුනා. නමුත්, දෙවැනි තුන්වැනි කොටස් විකාශනය වෙද්දි තත්වය වෙනස් උනා. රූපවාහිනී නාට්‍ය අංශයට බොහෝ පේ්රක්ෂකයින්ගෙන් ලියුම් රාශියක් ලැබුනා.
‘‘යශෝරාවය’’ සම්බන්ධව මම දුටුව ආශ්වාදජනකම අත්දැකීම මම ඔබට කියන්නම්. මේ ටෙලිනාට්‍යයෙ ජනපි‍්‍රයත්වය උච්චතම තත්වයෙ පවතින දවසක මම මාතර සම්මන්ත්‍රණයකට සහභාගි වෙලා කොළඹ එන්න රාති්රයෙ 8.00 ට පිටත් උන බස් එකක නැග්ගා. එ් දවස්වල ටෙලිනාට්‍ය විකාශන වේලාව යෙදිලා තිබුනෙ රාති්රයෙ 8.30 ට. එ් කාලෙ හැම ගෙදරකම ටෙලිවිෂන් යන්ත්‍ර තිබුනෙ නෑ. එ්වා තියෙන ගෙවල්වලට ගිහින් ටෙලිනාට්‍ය බලන්න මිනිස්සු පුරුදු වෙලා හිටියා. මම බස් එකේ ඉඳගෙන හිටියෙ ජනේලයක් ළඟ. එන අතරමගදි මට දකින්න ලැබුනා පාර අයිනෙ තියෙන ගෙවල්වල සාලවල්වල මිනිස්සු ටෙලිනාට්‍ය බලන්න එකතු වෙලා ඉන්න හැටි. 8.30 පහුවෙලා ටෙලි නාට්‍ය විකාශනය වෙන පැය බාගය ගත වෙනතුරුම මම දැක්කෙ බොහෝමයක් ගෙවල්වල ටෙලිවිෂන් යන්තරේ ඉස්සරහට වෙලා ‘‘යශෝරාවය’’ බලන හැටි. තවත් බොහෝමයක් ගෙවල්වල ෙදාර ජනෙල් වහලා තිබුනා. එ්ත් ඇතුලෙ ලයිට් පත්තු වෙලා තිබුනා. පිට මිනිස්සු ඇවිත් තමුන්ගෙ ගෙදර පිරිලා ටෙලිනාට්‍ය බලන කරදරෙන් බේරෙන්න වෙන්න ඇති.
මේ කාලෙම කොළඹදි මට මුණගැහුනා කුරුණෑගල පැත්තෙ ඉන්න මගෙ යාලූවෙකුගෙ තාත්තා කෙනෙක්. එ් තාත්තා මට ගොඩක් ප්‍රසංශා කළා ‘‘යශෝරාවය’‘ ගැන කියලා. එ්ත් එක්කම මෙහෙම කතාවකුත් කිව්වා.
‘‘ පුතේ ‘‘යශෝරාවයට’’ අපි හුඟාක් ආසයි. හැමදාම අපි එ්ක බලනවා. අපි විතරක් නෙවෙයි එ්ක බලන්න අපේ ගෙදරට ගමේ පනහක් හැටක් විතර එකතු වෙනවා. මොකද අපේ ගෙදර විතරයි ගමේ තුනෙන් පංගුවකටම බලන්න ටෙලිවිෂන් එකක් තියෙන්නෙ. ඉතිං කොල්ලො කුරුට්ටො පවා ඇවිත් ගෙයි සාලෙ ජනෙල් උඩත් නගිනවා. දැනටමත් පුටු දෙකක් කඩලා. නාට්ටිය ඉවර උනාම යන්නෙත් නෑ. නාට්ටියෙ සිද්ද වෙච්ච දේවල් ගැන කතා කර කර පැයක් දෙකක් පවා ඉන්නවා. උන්ට තේ බුලත් දෙන්නත් අපට සිද්දවෙලා. එන්න එපා කියලා ගමේ උන් තරහා කර ගන්නත් බෑ. එ් විතරක්යැ මට කච්චේරි දාන්නත් සිද්දවෙලා. ඕක බලන්න ඇවිත් යාලූ වෙච්ච ඉස්කෝල වයසෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි පැනලා ගිහින් මහනුවර පැත්තෙ ඉඳලා හොයා ගත්තෙ සුමානෙකට විතර පස්සෙ.’’-Parakrama Niriella (Director of Yashorawaya Drama)
https://www.facebook.com/parakrama.niriella?fref=ts