.: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    සුපිරි මචන් කතාව නම්! සමනල වසන්තය කියන නවල් 1 කියෙව්වට පස්සෙ කියෙව්ව හොදම කතාව. 7+:D:D
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සුපිරි මචන් කතාව නම්! සමනල වසන්තය කියන නවල් 1 කියෙව්වට පස්සෙ කියෙව්ව හොදම කතාව. 7+:D:D

    Thanx Bro!!! :)
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part-10 :

    ~ දහවෙනි කොටස ~

    “සෙනෙහසේ නිම්නයේ පෑයු සඳ කොමළියේ
    මගේ හද මන්දිරේ කිරුළ දිනු කුමරියේ
    ජීවන ගං තෙරේ තනි මැකූ සොඳුරියේ
    මගේ මේ ආදරේ නුඹටමයි ප්‍රේමියේ..
    සංසාරේ හැම භවෙම නුඹ මගෙම වී ඉන්න
    දුක්වෙනා හදවතට සැනසීම ගෙන දෙන්න
    කඳුළු නැති දෙනෙතින් සැමදා සිනාවෙන්න
    ආදරේ සුභපැතුම ස්නේහයෙන් පිළිගන්න..”


    “ගීත් සර් පන්තියට ළමයි සේරම ඇවිත් වගේ..වෙලාවත් හරි ..” මේසයට නැඹුරු වී යමක් අකුරු කරමින් සිටි ප්‍රගීත් අසළට පැමිණි පියදාස පැවසුවේ ගරු සරු ඇතිවය.

    “ආ..හරි හරි පියදාස අංකල් ගිහින් බලන්න ළමයි හැමෝටම ටියුට්ස් ලැබිලද කියලා..ගිය සතියේ එම්.සී.කිව් පේපර් එකට ඉන්න බැරි වුණ අය බලලා ඒ පේපර්ස් ටිකත් බෙදන්න..තව මයික් එකත් චෙක් කරන්න..මං ඉක්මණට එන්නම්..”

    සැණෙකින් ඔහුට පිළිතුරු ලබාදුන් ගීත් තමා විසින් ලියා අවසන් කරන ලද සුභපැතුම් පත දෙස නෙත් හෙලුවේ තෘප්තිමත් හැඟීමකිනි..ඔහු මෙය නිර්මාණය කළේ අන් කිසිවෙකුට නොව නුදුරේදීම තමා හා අතිනත ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින්නා වූත් මේ වන විටත් පවුලේ සැමගේ ආදරය හා කැමැත්ත දිනාගෙන සිටින්නා වූත් සිය ආදරණීය පෙම්වතිය නෙත්මි වෙනුවෙනි.

    එදිනට ඇගේ විසිපස් වන උපන්දිනය යෙදී තිබුණු බැවින් සෙනායා,නිසල්,ගීත් හා ඔවුන්ගේ ලඟම මිතුරන් තිදෙනා එක් වී “සෙනායා බීච් ඇන්ඩ් රෙස්ටුරන්ට්” හි සුහද සාදයක් පැවැත්වීම වෙනුවෙන් රහසිගත සැලසුමක් දියත් කරන්නට වූයේ අනපේක්ෂිත අයුරින් ඈ පුදුමයට පත්කිරීමේ අරමුණෙනි.

    තමා මෙන්ම නෙත්මි ද ප්‍රියසම්භාෂණ සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් නොදැක්වුවද ඈ සාර්ථක අයුරින් තම අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව සීමාවාසි වෛද්‍යවරියක් ලෙස රෝහලක සේවය කිරීම වෙනුවෙන් මෙන්ම ඔවුන් දෙදෙනාගේ විවාහයට පෙර ඔහුගේ පෙමවතිය ලෙසින් උදා වූ ඇගේ අවසන් උපන්දිනය නිසාවෙන් ද මේ සඳහා සිය සහයෝගය ලබා දීමට ඔහු එකඟ විය.

    එලෙසින් තම නැගණියගේ හා නිසල්ගේ ඉල්ලීම මත ඔවුන් තිදෙනාම එක් වී සංවිධානය කරන ලද උපන්දින සාදය පැවැත්වීම සඳහා ඇත්තේ තවත් පැය කිහිපයක් පමණි.

    එහෙත් ඊට පෙර ඔහුට පැය දෙකක ගිණුම්කරණ පන්තියක් ඇති බැවින් තමන් ලියූ සුභපැතුම් පත ඈ වෙනුවෙන් මිලදී ගන්නා ලද ත්‍යාගය ද සමඟින් ප්‍රවේසමින් සිය බෑගයේ තැන්පත් කළ ගීත් තමාගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සිටිනා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත පිය නැගුවේ කඩිනමිනි.

    සිය පන්තිය වෙනුවෙන් වෙන්කර ඇති විසල් ශාලාව වෙත ගිය ඔහු එහි සිටින්නා වූ පන්සියයක් පමණ සිසු පිරිස දෙස නෙත් යොමුකළේ සිත පුරා පැතිරී ගිය ප්‍රීතියකින් යුතුවය.මීට අවුරුදු පහකට පමණ පෙර මෙම “නැණස” ආයතනයේම කුඩා ශාලාවක් තුල ළමුන් සිව් දෙනෙකුගෙන් ආරම්භය සනිටුහන් කරන්නා වූ ගිණුම්කරණ උපකාරක පන්තිය මේ වන විට මෙතරම් සිසු පිරිසකගේ සහභාගීත්වය ලබා ඇත්තේ තම ඉගැන්වුම් ක්‍රම කෙරේ ඔවුන් තුල ඇති ආකර්ෂණය හා තම දක්‍ෂතාවය නිසාවෙන් බැව් හැඟෙනා විට ඔහුට තමා කෙරෙහිම ඉමහත් තෘප්තියක් දැනෙන්නට විය.

    “පුතා අපි කරන මොන දේ වුණත් උනන්දුවෙන් උවමනාවෙන් කරන්න ඕනා..අන්න එතකොට තමයි කවදාහරි ඒ දෙයින් ලං කරගන්න සාර්ථකත්වය නිසා අපිට අපි ගැනම තෘප්තියක්,අභිමානයක් දැනෙන්නේ..”

    තමාගේ ප්‍රථම උපකාරක පන්තිය පැවැත්වීම සඳහා යාමට පෙර මවගේ දෙපා වැඳ අවසරගත් අවස්ථාවේ හිස පිරි මදිමින් ආශිර්වාද කරමින් ඇය පැවසූ එම අරුත්බර වදන් ඔහු සිහියට නැඟුවේ තම මෑණියන්ගේ ජිවන දර්ශනය කෙරේ වූ විසල් පැහැදීමකිනි.ඈ පැවසූ පරිද්දෙන්ම තම ධෛර්ය හා කැපවීම නිසාවෙන් ලබාගත් මෙම සැනසීම හා තෘප්තිය පිළිබඳව ඔහුට දැනුණේ තමා කෙරෙහිම වූ නිහතමානී ආඩම්භරයකි.

    “අනේ මන්ද බන් මේ වැඩේ නම් හරියන එකක් නෑ වගේ.. අසංක සර් මුලින්ම ළමයි ටිකක් එකතු කරල දෙන්නම් කිව්වට අද ඇවිත් හිටියේ ළමයි හතර දෙනයි..අනිත් දවසේ එනකොට ඒ හතර දෙනත් නැතිවෙයිද දන්නේ නෑ..”

    “ඔහොම තමයි බන්..එක දවසින් ළමයි සිය ගණනක් ගෙන්න ගන්න බෑනේ..සර්ට පුළුවන් උදව්ව තමයි ඔය කරල තියෙන්නේ..ඔය ළමයි හතර දෙනා මාර්ගයෙන් තව ළමයි දෙතුන් සීයක් පන්තියට එකතු කරගන්න එක රැඳිලා තියෙන්නේ උඹේ දක්‍ෂතාවය මත..කැම්පස් එකේ වැඩත් කර ගන්න ගමන් මේ වැඩෙත් උඹට පුළුවන් විදියට කරපන් ගීත්..ඔය පන්තිය නැවතුනා කියල දුක් වෙන්න හේතුවක් නෑනේ."

    "ඕනවට වැඩිය හිතට බයක්වත් ට්‍රෙස් එකක්වත් ගන්නේ නැතිව ඉස්කෝලේ කාලේ උඹ අර ෆ්‍රී පීරියඩ් වල අපේ එවුන්ට ගණන් කියල දෙනව වගේ කියල හිතාගෙන ඔය ළමයි හතර දෙනාට සරලව පාඩම් කියල දියන්කෝ..උඹ දන්නෙත් නැතිවම පන්තියේ ළමයි ගාන වැඩි වෙයි..මතකනේ එග්සෑම් කාලේ උඹව දකින දකින එකා එකවුන්ට් පොතුත් උස්සන් ගැටළු විසඳන්න අපේ ක්ලාස් එකට ආව හැටි.. දවසක් අපි අටක් දහයක් විතර එකතුවෙලා තර්ක කර කර ගනණක් හදන්න ගිහින් හොරට කාඩ් ගහනවා කියල හිතල තව ටිකෙන් විනයභාර සර්ගෙන් ගුටිත් කනවනේ..”

    ප්‍රථමයෙන් පන්ති ආරම්භ කළ දින සවස සිය මිතුරාට සරදම් අයුරින් එදින පන්තියේ තතු පැවසූයේ එවැනිම පිළිතුරක් අපේක්‍ෂාවෙන් වූවද නිහඬ සිනාවක් ද මුව රඳවා ගනිමින් තැන්පත් සුහද හඬින් පැවසූ නිසල්ගේ එම වදන් ගීත්ගේ සිතට මවිතයක් මෙන්ම විසල් ශක්තියක් ද ගෙන දෙන්නට විය.

    එලෙසින් ගුරු දිවියට මුල් පියවර තැබූ තමන් මේ වන විට මෙම නැණස අධ්‍යාපන ආයතනයේම මෙවැනිම ළමුන් සිය ගණනකින් යුතු තවත් පන්ති දෙකක ඉගැන්වීම් කරන අතර කළුතර මාතර වැනි දිස්ත්‍රික්කයන්හිද සිසුන් වැඩි පිරිසකගේ ආදරය ප්‍රසාදය දිනාගත් දක්‍ෂ හා ජනප්‍රිය ගිණුම්කරණ ගුරුවරයකු වූයේ, එලෙසින් නිරතුරු තම සිත දිරිමත් කළ තම ලබඳියන්ගේ ශක්තිය නිසාවෙන් බැව් සෙනෙහසින් සිහිපත් කළ ගීත් එදිනට සුදානම් කළ නිබන්ධනයද දෑතට ගෙන ශාලාව තුලට පිවිසියේ ඉගැන්වීම් කටයුතු ආරම්භකළ යුතු බැවිනි.

    සවස පහ වන විට පන්තිය නිම කළ ප්‍රගීත් සිය මෝටර් රථය පණගන්වන විටම නාද වූ ජංගම දුරකථනය ද රැගෙන ඇමතුම සම්බන්ධ කරගනු ලැබුවේ එය තම අනාගත මස්සිනා වීමට නියමිතව සිටින අතිජාත මිත්‍රයා වූ නිසල්ගෙන් පැමිණි ඇමතුමක් බැව් දන්නා හෙයිනි.

    තම නැගණිය හා මිතුරා අතර පැවති ආදර සබඳතාව පිළිබඳව නැගණිය විසින්ම නෙත්මිට පවසා ඒ සඳහා තම අදහස විමසීමට ඇගෙන් සහය ඉල්ලා ඇති බව දැනගත් ගීත්ගේ සිතට පිවිසියේ අතිශය ප්‍රීතියකි.දයාබර සොහොයුරෙක් ලෙස තම සොහොයුරියගේ නිවැරදි තේරීම සම්බන්ධයෙන් අව්‍යාජ සතුටට පත් ඔහුගේ හදට වේදනාවක් ගෙනදුන් කරුණක් වූයේ එය ඔවුන්ට කරන ලද වැරැද්දක් ලෙස සළකා නිසල් ඔවුන් සියලු දෙනාගෙන් වෙන්ව විදේශගත වීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයයි.
    තම මිතුරා විසින් ගන්නා ලද එවැනි දැඩි තීරණ පහසුවෙන් වෙනස්කල නොහැකි බැව් හොඳින්ම දන්නා ගීත් ඔවුන් දෙදෙනා සම්බන්ධව පසු දිනම සිය දෙමාපියන්ගේ අදහස් විමසීමට කටයුතු කළේ ගැහෙන හදින් යුතුවය.නමුත් ඔවුන්ගේ සුභ ප්‍රතිචාරය දුටු ඔහුගේ හද ගැබ තුල එතෙක් වේලා නවාතැන් ගෙන සිටි බිය හා වේදනාව ඉවත්ව ගොස් ඉමහත් ප්‍රීතියක් හා සැනසීමක් ලැගුම් ගන්නට විය.

    සිය පවුලේ අනාගත සාර්ථකත්වය උදෙසා කැපවීමෙන් සෙනෙහසින් ක්‍රියා කරනා තමන්ගේම දරුවෙකු වැනි වූ නිසල් පිලිබඳ අහිතක් නොසිතනා දයාන් හා නිම්මි ද ඒ සම්බන්ධව බෙහෙවින් සතුටට පත්වන බව ඔහුට දැනිණි.

    “හරි හරි මස්සිනා මේ එන ගමන්..තව පැය භාගෙකින් මං ඔතන..සේරම වැඩ ටික ගානට තියෙනවා නේද..?”

    එහා පසින් යමක් පැවසීමට පෙරම එක්වරම දුරකථනයට පැවසූ ප්‍රගීත් තනි අතින් රිය පදවන්නට වූයේ මඳ වේගයකිනි.

    "ඒ වැඩ සේරම තිතට තියෙනවා..අද හවස හතරේ ඉඳන් සෙනායා හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් විවෘත වෙලා තියෙන්නේ අපේ පාටි එකේ අමුත්තන්ට විතරයි මස්සිනා හරිද..එහෙනම් ඉතින් අපේ ආදරණීය නෑණත් එක්ක හය වෙනකට මෙතනට සම්ප්‍රාප්ත වෙයන්..මං අම්මටයි තාත්තටයි කිව්වා උඹලා එහෙට යන්න කලින් සෙනායත් එක්ක ගෙදරින් එන්න කියලා..”

    මුළුමනින්ම නැවුම් මල් වලින් පමණක් සරසා තිබූ හෝටලයේ ප්‍රධාන දොරටුවේ සුන්දරත්වය විඳිමින්ම නිසල් සිය මිතුරාට පැවසුවේ ඔවුන් එක්ව සැලසුම් කළ සැරසිලි පිළිබඳ වූ තෘප්තිමත් හැඟීමකින් යුතුවය.

    “හරි හරි නිසල් මං හරියටම හය වෙනකොට නෙතුත් එක්ක ඔතනට එන්නම්..එහෙනම් තියනවා මචං..බුදුසරණයි..”

    යනුවෙන් පැවසූ ගීත් ඇමතුම විසන්දි කර දුරකථනය පසෙකින් තබා රියෙහි වේගය මඳක් වැඩි කලේ පොරොන්දු වූ වේලාවටම නෙතූ හමුවීමට යා යුතු බැවිනි.

    එහෙත් ඒ සමඟින්ම පාරේ ඉදිරිපසින් වේගයෙන් පැමිණි විසල් ට්‍රක් රථයක් වේගය පාලනය කරගත නොහැකිව තම මෝටර් රථය දෙසට පැමිණෙන බව දුටුව ද ඔහුට යමක් කිරීමට හෝ සිතීමටවත් ඉඩක් නොතබා වාහන දෙක එකිනෙකට ගැටෙන්නට විය.

    එසැණින් ප්‍රගීත්ගේ අලුත්ම බෙල්ටා වර්ගෙයේ මෝටර් රථය පාරෙන් ඉවතට විසි වී පෙරලී යන්නට වූයේ මේ වන විට දී සොඳුරු නිමේශයක් වෙනුවෙන් සොම්නසින් සිතින් පෙර මඟ බලා සිටිනා ලබැඳි හදවත් අකාලයේ කඩා හැලෙනා කඳුළු වරුසාවකින් නැහැවීම උදෙසා පෙර මන් තනමිණි.

    උත්සවශ්‍රීයෙන් සරසා ඇති හෝටල් දොරටුව අසළට වී නොඉවසිලිමත් දෑසින් පෙර මඟ බලා සිටි සෙනායා නිසල් සොයා ගියේ සවස හතට ආසන්නව තිබියදීත් තම සොහොයුරා හා ඈට ආදරණිය සොහොයුරියක්ම වූ නෙත්මි නොපැමිණි සිටි බැවිනි.

    “අනේ නිසල් අයියා මොකද මේ..දැන් හතටත් ලඟයි..ඒත් අයියලා තවමත් නෑනේ..ඔයා කිව්වනේ අයියා හය වෙනකොට මෙතන ඉන්න පොරොන්දු වුණා කියලා..”

    එළිමහනේ තනා ඇති සුන්දර දිය ඇල්ලක් සහිත පොකුණ අභියස වූ සිමෙන්ති බංකුව මත දුරකථනයත් ඇතිව කල්පනාකාරී අයුරින් හිඳ හුන් නිසල් වෙත ලං වූ සෙනායා පැවසූයේ නෝක්කාඩු හඬින් යුතුවය.

    “ඒක තමයි මාත් මේ බැලුවේ සෙනායා..අපි ආරාධනා කරපු කට්ටියත් හැමෝම වගේ ඇවිත්..මං ගොඩක් කෝල්ස් ගත්තා..ගීත්ගේ ෆෝන් එකනම් ඕෆ් කරල..නෙතුගේ ෆෝන් එක ගන්න හැම වෙලේම බිසී..”

    එම වදන් ඇසුණු විට නම් සෙනායගේ සිතට පිවිසියේ බියමුසු හැඟීමකි.

    “අනේ අපි දැන් මොකද කරන්නේ නිසල්..මං ඉක්මණට ගෙදර ගිහින් බලලා එන්නද..?” මදක් කල්පනාවේ නිමග්නව හිඳ එසේ පැවසූ ඇය ඔහු දෙස බලා සිටියේ පිළිතුරක් අපේක්‍ෂාවෙනි.

    ගොම්මන් අඳුරෙන් මුළු පරිසරයම වැසී ඇති මෙවන් වේලාවක ඈ තනිව නිවස වෙත යැවීමට නම් ඔහුගේ කිසිඳු අදහසක් නොතිබුණද යමක් පැවසීමට පෙර පැමිණි දුරකථන ඇමතුම සම්බන්ධ කරගත් නිසල් සිටි තැනින් මදක් ඈත් වූයේ එහි අවට පැවති කලබලකාරී ශබ්ද හේතුවෙන් එහා පසින් පැවසූ දෙය ඔහුට පැහැදිලි අයුරින් ග්‍රහණය කර ගැනීමට නොහැකි වූ නිසාවෙනි.

    දුරකථන සංවාදය අවසන් වී කඩිනමින් තමන් ලඟට පැමිණි නිසල්ගේ පෙනුම දුටු සෙනායාගේ සිත විසල් කැළඹීමකට ලක්වූයේ එතෙක් වෙලා ඔහුගේ මුහුණෙහි රැඳී පැවති ප්‍රීතිය වියැකී ගොස් දුක හා බිය මුසු වූ ශෝකී හැඟීමකින් මුළු වුවනම සුදුමැලි වී තිබූ බැවිනි.

    රිය අනතුරින් ඉතා බරපතල ලෙස තුවාල ලැබූ ප්‍රගීත් වහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත ගෙන එනු ලැබුවේ ගිලන්රථයකිනි. අනතුර සිදුව තිබූ දරුණු ආකාරය නිසාවෙන් ඔහුගේ මෝටර් රථයේ දොරවල් සියල්ල අගුළු වැටී තිබුණු බැවින් ඔහු එයින් ඉවතට ගැනීම සඳහා සිදු වූ මාරාන්තික රිය අනතුර දැක ක්‍ෂණයෙන් එහි ලඟා වූ පිරිසට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය.සිය උපරිම ශ්‍රමය හා නුවණ යොදා හැකි ඉක්මණින් ප්‍රවේසම් සහගතව ප්‍රගීත් ඉවතට ගත් පිරිස විසින් දැනුම් දී ගෙන්වා තිබූ ගිලන්රථය වෙත ඔහු භාර දුන්නද එම ජීවිතය පිලිබඳ කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි වූයේ ඔහුගේ කන අසලින් ගලා ගිය තද රතු පැහැති රුධිර දහරාව හේතුවෙනි.

    ක්‍ෂණික දැනුම් දීමක් ඔස්සේ රිය අනතුර සිදු වූ ස්ථානයට සැණෙකින් පැමිණි පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ පසෙකින් වැටී ක්‍රියා විරහිතව පැවති දුරකථනය ගෙන එය ක්‍රියා කරමින් එහි අවසන් වරට සටහන් වී තුබූ අංකය හා ඇමතුමක් සම්බන්ධ කර ගැනීමට තැත් කරන්නට විය.නමුදු එය බොහෝ වේලාවක් කාර්ය බහුලව පැවති හෙයින් නැවතත් එහි ඊට පහතින් සටහන්ව තිබූ අංකයට ඇමතුමක් ගනු ලැබුයේ සිදුව ඇති අනතුර පිලිබඳව කඩිනමින් ඔවුන් දැනුවත් කිරීමේ අපේක්‍ෂාවෙන් යුතුවය.

    ප්‍රගීත්ගේ ඉල්ලීම පරිදි වේලාසන රෝහලින් පැමිණි නෙත්මි ඔහු විසින් තෑගී දෙන ලද අලංකාර මොස්තරයිකින් යුතු වූ රතු පැහැති ගවුමකින් සැරසී පෙර මඟ බලමින් ඔවුන්ගේ නිවස ඉදිරියේ රැඳී සිටියේ ඔහුත් සමඟ දොඩමළු වෙමින් නිස්කලංකව ගතකරනා සොඳුරු මොහොතක් අපේක්‍ෂාවෙනි.එහෙත් හමුවීමට පොරොන්දු වූ වේලාව පසු වී තිබුණෙන් ඇමතුමකින් හෝ ඔහු සම්බන්ධ කරගැනීම සඳහා කෙතරම් උත්සහ කළත් ඈට ඒ සඳහා ඉඩක් නොවූයේ ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතව පැවති බැවිනි.

    තමන්ට විශේෂ වූ මෙවැනි දිනකදී මෙලසින් ඈ ඔහුගේ නිවස ඉදිරියේ තනිව තබා නොපැමිණීම පිලිබඳ සිතින් ඔහුට බොහෝ සෙයින් දොස් පවරමින් සිටි නෙතූ කල්පනා ලොවින් මිදුනේ නම සටහන් නොවනා නාඳුනනා අංකයකින් පැමිණි දුරකථන ඇමතුම හේතුවෙනි. තම සමීපතමයන් කිහිප දෙනෙකු පමණක් දන්නා මොබිටෙල් සිම්පතට පැමිණි ඇමතුම් අංකය දෙස මදක් කුහුලෙන් යුතුව බලා සිටි ඈ ඇමතුම සම්බන්ධ කරගැනීමට සිතුවේ ඇතැම්විට එය ගීත්ගෙන් හෝ විය හැකි යැයි සිතාය.

    එහෙත් එම දුරකථන ඇමතුම මඟින් පොලීසිය විසින් දැනුම් දුන් පණිවිඩය ඇසෙනවාත් සමඟම යථාර්තයක් කර ගැනීමට දැඟිලි ගනිමින් සිටි සිය ජීවන සිහින මන්දිරයම ඇගේ දෙපා මුල වැටී සුණු විසුණු වූවාක් වැනි හැඟුමක් ඈ සිත වෙලාගන්නට විය.

    හද කොනක සිට නැඟී ආ සියුම් වේදනාවක් කෙමෙන් මුළු ගතම අඩපණ කරනා බවක් දැනුණෙන් ඈ දොර අසල ඇති සිමෙන්ති පඩියේ හිඳ ගන්නට වූ අතර අනපේක්‍ෂිත ලෙසින් මොළයට දැනුණු කම්පනය දරාගත නොහැකිව රිදුම් දෙන හිස බිත්තියට වාරු කරගනිමින් සැලෙනා දෑගිලි වලින් දුරකථනය ගෙන නිසල්ට ඇමතුමක් ගන්නට වූයේ ගීත් සොයා තනිව රෝහල කර යාමට තරම්වත් ප්‍රාණයක් සිය වතට හෝ සිතට නොමැති බැව් දැනුණු හෙයිනි.

    උදේ සිට සවස් වන තෙක් නිරතුරු තමා ගැවසෙන එම රෝහල නෙතූ හට නුහුරු නුපුරුදු තැනක් ලෙසින් දැනුණේ මීට අවුරුදු කිහිපයකට පෙර නවලෝක රෝහල් භුමිය තුලදී ඈ සිය මව සම්බන්ධයෙන් මුහුණ පෑ බියකරු අත්දැකීම විසින් මේ වන විට ඇගේ මානසික තත්ත්වය පහත හෙලීමට සමත්ව තිබූ හෙයිනි.

    එහෙත් සෙනායා හා නිසල් සමඟින් හදිසි අනතුරු ඒකකය ඉදිරිපස ඇති ආසන මත අසුන් ගෙන ගීත්ගේ ජිවිතය වෙනුවෙන් සිතින් දෙවියන් යදිමින් කඳුළු වැල් ගලා යන මුහුණින් සිටිනා නෙත්මි දුටු ඇගේ සහෝදර වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ඈ හොඳින්ම දන්නා හඳුනනා හෙදියන්ද කඩිනමින් ඈ වටා එක් වූයේ කුතුහලයෙන් යුතුවය.

    සියලු දෙනාගේම සිත් දිනාගනිමින් සුහද ලෙස කටයුතු කරන්නා වූත් කාගේ වූවද ක්‍ෂණයෙන් සිත් ඇදගන්නා සුළු රූපයකට හිමිකම් කියන්නා වූත් මේ නිහතමානී , අහිංසක යුවතිය පිළිබඳව සැබවින්ම කණගාටු වූ ඔවුන් සිදුවනා ශල්‍යකර්මය නිමාවන තුරු ඈ තනි නොකර ඈ අසලින්ම හිඳ ඒ සිතට ශක්තියක් වන්නට සිතුවේ අන් කළ හැකි දෙයක් නොවූ බැවිනි.

    ශල්‍යාගාරය තුල මොළයේ සිදුකරන ලද ඉතා සියුම් ශල්‍යකර්මයෙන් පසු එයින් පිටතට පැමිණි වෛද්‍ය අසිත වීරසිංහ මහතා තරුණ පුහුණු වෛද්‍ය වරුන්ගෙන් හා හෙදියන්ගෙන් වට වී හඬමින් සිටිනා තම දක්‍ෂතම ශිෂ්‍යාව දැක මවිතයට පත්විය.

    එබැවින්ම ඈ වටා සිටි පිරිසගෙන් තොරතුරු අසා දැනගත් ඔහු ඇයට කතා කොට කරුණු පැහැදිලි කර දෙන්නට වූයේ ඈ බුද්ධිමත් වෛද්‍ය ශිෂ්‍යාවක් නිසාවෙනි.

    සිදු වූ මාරාන්තික රිය අනතුර හේතුවෙන් ගීත්ගේ හිස බරපතල ලෙස තුවාල වී තිබූ බැවින් මොළයේ ස්නායු දුර්වල වීමක් සිදු වී ඇත. දක්‍ෂ ශල්‍යකර්ම වෛද්‍යවරයකු වූ ඔහු යටතේ සිදු කළ සියුම් ශල්‍යකර්මය සාර්ථක වීම හේතුවෙන් බාගෙට මිය යමින් සිටි ප්‍රගීත්ගේ ජීවිතය යන්තමින් බේරාගත හැකි වූවත් ඔහුට පියවි සිහිය ලැබෙනා තුරු හා තවත් දින දෙකක් පමණ ගත වී අවදානම් තත්ත්වයෙන් බැහැර වන තෙක් එම ජීවිතය පිලිබඳ ස්ථිර විශ්වාසයක් තබාගත නොහැකි බැව් වෛද්‍යවරයා තමා අභියස හිඳි නෙතූ ඇතුළු පිරිසට පැවසූයේ අවධාරනාත්මක හඬිනි.

    ඔහුගේ එම විස්තර කිරීම අවසානයේ දී වර්ධනය වූ සෙනායාගේ ඉකිබිඳිමත් සමඟම සිහිසුන්ව ඇදවැටීමට ගිය ඈ වත්තන් කරගන්නා ලද්දේ ඇය අසලින්ම සිටගෙන සිටි නිසල් විසිනි.

    අනතුර පිළිබඳව නෙතූගේ දැනුම්දීම ලැබුණු සැණින් හෝටලයෙන් පිටත්ව පැමිණි නිසල් හා සෙනායා මෙම සිදුවීම සම්බන්ධව සෙමෙන් පවසා ඔවුන්ගේ සිත් දැඩි කම්පනයකට පත්වීමෙන් වළක්වා වැඩිහිටියන් දෙපළ රෝහල් භූමියට කැඳවාගෙන පැමිණීමේ වගකීම භාරදෙනු ලැබුවේ තරුෂි ,දර්ශන හා සහන් ඇතුළු මිතුරන් වෙතය.

    එහෙත් රෝහල් දැඩිසත්කාර ඒකකය තුල සේලයින් හා ඔක්සිජන් මඟින් ප්‍රාණය රඳවාගෙන සිටි තම ආදරණීය පුතණුවන් දුටු නිම්මි හා දයාන්ගේ හදවත් හඬා වැටෙන්නට වූ අතර තව දුරටත් දුක දරා ගත නොහැකි වූ නිම්මි එහි සිහිසුන් වී ඇද වැටුණෙන් ඈ වටා වහා රැස් වූ පිරිස ඇය ද වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක් කළහ.

    හදිසි කම්පනය හේතුවෙන් සිහිසුන් වූ නිම්මි වටා සිටි නෙත්මිගේ මව් පාර්ශවයේ නෑදෑයින් මෙන්ම නිසල් හා සෙනායා ද එක් වී ඈ සිත සනසන්නට වූයේ තම හදේ රැදී වේදනාව අසීරුවෙන් යටපත් කරගැනීමට වෙර දරමිනි.

    රිය අනතුර සිදු වී දෙදිනක් ගතවන උදෑසනදී ප්‍රගීත්ගේ පියවි සිහිය පැමිණියෙන් ඔහුගේ ජීවිතය පිළිබඳ විශ්වාස කිරීමට හැකි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරනා විට මෙතෙක් නිසි අයුරින් කුසට අහරක් නොමැතිව සිතට කිසිඳු නිවනක් නොමැතිව ඔහුගේ ජීවිතය අපේක්‍ෂාවෙන් සිටි සියල්ලන් සැනසුම් සුසුම් හෙලන්නට විය.

    නමුදු බුද්ධිමත් වෛද්‍ය ශිෂ්‍යාවක වූ නෙත්මි ප්‍රගීත්ගේ වෛද්‍ය වාර්ථා පරික්ෂා කරමින් අසිත වීරසිංහ මහතාගෙන් ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තව දුරටත් කරුණු විමසන්නට වූයේ එම වෛද්‍ය වාර්ථා අනුව නම් ගීත්ගේ ප්‍රාණය සුරැකුනද පෙර සිටි අයුරින්ම ඔහුට ජීවත් වීමට හැකියාවක් තිබේද යන කුතුහලය සිතට දැනුණු බැවිනි.

    “නෙත්මි, මං දන්නවා ඔයා ගොඩක් දක්‍ෂ දරුවෙක්..අන්න ඒ හින්දම තමයි ඇමරිකා ස්කොලර් එකට මං ඔයාවත් රෙකමන්ඩ් කලේ..ඔව් ඔයාගේ සැකය හරි..මේ ඇක්සිඩන්ට් එක නිසා ප්‍රගීත්ගේ මොළයේ ස්නායු වගයකට පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙනවා..ඔයා දන්නවනේ අපි එයාගේ ජීවිතේ බේර ගත්තෙත් ගොඩක් අමාරුවෙන්..ඒත් ඉතින් මේ ඩැමේජ් එක නිසා එයාගේ ස්නායු ගොඩක් දුර්වල වෙලා..ඒ නිසා බොහෝ දුරට ප්‍රගීත්ගේ දකුණු අංශය පණ නැති වෙන්න ඉඩ තියෙනවා..”

    වෛද්‍යවරයාගේ එම වදන් ඇසුණු සැණින් නෙතූගේ දෙනෙතින් රූරා යන්නට වූ කඳුළු වැල් වළකා ගැනීමට ඈට හැකියාවක් නොවූයෙන් “ අපිට එයාව කවදාවත්ම සනීප කරගන්න බැරි වෙයිද ඩොක්ටර්..” යැයි කඳුළු පිරි දෑසින්ම ඔහු දෙස බැලූ ඈ විමසූයේ බිඳුණු හඬිනි.

     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    “නෑ මං එහෙම කියන්නෙත් නෑ...ස්නායු යථා තත්ත්වයට පත්කරන්න පුළුවන් සියුම් ඔපරේෂන් එකක් තියෙනවා..ඒත් අවාසනාවට වගේ ඒකට අවශ්‍ය පහසුකම් අපිට නෑ..ඒ කියන්නේ මේ රටේම නෑ..අපිට පුළුවන් නම් මෙයාව ඇමෙරිකා වගේ ගෙනියන්න සමහරවිට අපිට ඒ ගැන බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්..ඒත් දන්නවනේ ඉතින් මේක මොළයේ සිදු කරන සැත්කමක් නිසා පොඩ්ඩක් හරි මිස් වුණොත් ජීවිතේ ගැනවත් ෂුවර් කරන්න අපිට බෑ.. තේරුණා නේද..”

    ඇමෙරිකා යන වදන තම මුවින් පිටවෙනවාත් සමඟින් දිලෙන්නට වූ නෙත්මිගේ දෑස් දෙස බලමින් ඔහු විමසුයේ මෙම තරුණිය පිලිබඳ උපන් කරුණාවෙනි.

    “ඔව් ඩොක්ටර්..තෑන්ක් යූ වෙරි මච්..” යනුවෙන් සිහින් හඬින් පවසා කාමරයෙන් පිටව ගිය ඈ නැවතත් දැඩි සත්කාර ඒකකය කරා පා නගන්නට වූයේ බර වූ හදවතිනි.

    ජීවිතය පිලිබඳ නුදුරේම සැබෑ කරගත හැකි සුන්දර සිහිනයන් රැසක් සිත් දරා සිටි ප්‍රගීත් කිසි දිනෙක නොසිතූ අයුරින් ඉතා අසරණ තත්ත්වයකට පත් විය.ඔහුගේ ශරීරයේ දකුණු අංශය අප්‍රාණික ස්වභාවයක් ඉසිලූ නිසාවෙන්ම ඔහුට දිවි ගෙවන්නට සිදු වූයේ ඇඳක් මත හිඳිමිනි.

    සිය ආදරණීය ගුරුවරයාට මුහුණ දීමට සිදුවූ ඛේදනීය අනතුර පිළිබඳව දැනගත් සිය ගණනක් සිසු සිසුවියන් ගෙන් දින පතා රෝහල් වාට්ටුව පිරී යන්නට වූයෙන් එහි සිටි අනෙක් රෝගීන්ගේ අවධානයද වැඩි වශයෙන් ගීත් වෙත යොමු වන්නට විය.

    කඩවසම් සුන්දර රුවකට හිමිකම් කියූ ප්‍රගීත් ඕනෑම යුවතියකගේ අවධානය වුවද සැණෙකින් දිනා ගන්නට සමත් ප්‍රියමනාප තරුණයකු වූ බැවින් එවැන්නකු රෝගීව එලෙසින් ගිලන් ඇඳට වැටී සිටිනු දැකීම කාගේ වූවද සිතට කණගාටුවක් එක් කරනා කරුණක් විය.

    සිය දයාබර ඇඳුරුතුමාට අත් වී ඇති ශෝචනීය ඉරණම දුටු යෞවන යෞවනියන්ගේ නෙත් සිත් කඳුලින් නැහැවෙන්නට වූ අතර කෙසේ හෝ ඔහුට ඉක්මන් සුවය ලැබෙන ලෙස පතා කළුතර බෝධීන් වහන්සේ අභියස සති තුනක බෝධි පුජාවක් පැවැත්වීමට කථිකා කරගන්නා ලද්දේ ඔවුන් ඉගෙන ගන්නා අදාල අධ්‍යාපන ආයතනයන්හි අනෙකුත් ආචාර්යවරුන්ගේද සහය ඇතිවය.

    මසක් පමණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ ප්‍රගීත් නැවත නිවෙස කරා රැගෙන පැමිණි නිවැසියන්ට පැවරුණු මූලික කාර්යය වූයේ සිය ආබාධිත තත්ත්වය නිසාවෙන් බෙහෙවින් කලකිරීමට හා පීඩාවට පත් වී ඇති ඔහුගේ මනස සාදා සිත ශක්තිමත් කිරීමය.මන්ද යත් ඔහුගේ ශාරීරික දුර්වලතාවයට මානසික බිඳ වැටීමද එක් වුවහොත් හානියට පත්ව ඇති ස්නායු යථා තත්වයට පත් කිරීමට සුළුවෙන් හෝ දායකත්වයක් ලබා දෙන්නා වූ ඖෂධ ධාරණය කරගැනීමට නොහැකිව රෝගී තත්වය උත්සන්න වීමට වූවද හැකි බව පවසා වෛද්‍යවරුන් විසින් ඔවුන් තරයේ දැනුවත් කර තිබුණු බැවිනි.

    මෙලෙසින් හෝ ජීවිතය බේරාගැනීමට හැකිවීම පිලිබඳව සතුටු විය යුතු යැයි විවිධ තර්ක ඉදිරිපත් කරමින් ඔහුගේ සිත සතුටු කළ හැකි සියල්ලම කිරීමට හැකි තාක් උත්සාහ ගන්නා අතරම තමන් සතු සියලු ඉඩකඩම් හා දේපළ උකස් කර විසල් මුදලක් වියදම් කර හෝ ඔහුගේ ජීවිතය යථා තත්වයට පත්කර ගැනීමට හැකියාවක් ඇති කටයුතු පිලිබඳ දැනගැනීම පිණිස ඔවුන් දන්නා හඳුනනා වෛද්‍යවරුන් හමු වී අදහස් විමසන්නට විය.

    මෙම කාර්යයෙහි පෙරමුණ ගෙන සිටියේ පුහුණු වෛද්‍යවරියක ලෙස සේවය කළ නෙත්මි විසිනි..ඈ ඔවුන්ගේ පුහුණුව භාර වෛද්‍යවරයකු වූ අසිත වීරසිංහ මහතාගේද සහය ඇතිව ප්‍රගීත්ගේ වෛද්‍ය වාර්ථා විදේශීය රෝහල් කිහිපයකට ද යවමින් ඔහුගේ රෝගී තත්ත්වය තව දුරටත් අධ්‍යයනය කරන්නට වූයේ දැඩි අපේක්‍ෂාවකිනි.

    පොලිස් නිලධාරීන් විසින් අනතුර සිදු වූ ස්ථානයේ ප්‍රගීත්ගේ අත් බෑගයේ තිබී හමු වූ කුඩා පාර්සලයක් නිසල් වෙත භාර දීමට කටයුතු කළ අතර දිනෙක නෙත්මි නිවෙසට පැමිණි මොහොතක ඔහු විසින් ඇයට එය භාරදෙන ලද්දේ කඳුළු පිරි දෙනෙතිනි.

    “මෙතන තියෙන්නේ එයා එදා ඔයාට දෙන්න හිටිය ප්‍රසන්ට් එකක් නෙතූ..”
    යනුවෙන් බිදුණු හඬින් පැවසූ නිසල් එතනින් ඉවත්ව යන්නට වූයේ ඇයට එය තනිව හිඳ බැලීමට ඉඩ කඩ සලසා දෙමිනි.

    සුළු වශයෙන් කැඩී හානි වී තිබූ සමරු ඵලකයක් එම කවරයේ වූ අතර මිල අධික වූ වටිනා ලෝහයකින් තනා ඇති එහි කුඩා ඔරුවක මංගල ඇඳුමින් සැරසී සිටිනා ආදරණීය යුවලක් කැටයම් කර තිබිණි.බොඳ වූ දෙනෙතින් එදෙස බලා සිටි ඈ එම කවරයේම තිබුණු කුඩා සුභ පැතුම් පත දුටුවේ ප්‍රමාද වී ය.

    “ දුක්වෙනා හදවතට සැනසීම ගෙන දෙන්න
    කඳුළු නැති දෙනෙතින් සැමදා සිනාවෙන්න..”


    එහි ලියා ඇති අවසන් පද පෙළ කියවනා විටදී ඇගේ දෑසින් උතුරා ගිය කඳුළැලි වළකා ගැනීමට නම් ඈට නොහැකි විය..මඳ වේලාවක් කඳුළු ඔස්සේ සිය සිතේ සඟවා සිටින්නා වූ වේදනාව පිට කරමින් දුක තුනී කරගත් ඈ ගීත්ගේ නිවසින් පිටව ගියේ සිතේ රඳවාගත් ස්ථීර අරමුණකින් යුතුවය.

    අනපේක්‍ෂිත අයුරින් මුහුණ පෑමට සිදු වූ දුක්බර ඉරණම වෙනුවෙන් අප්‍රමාණ වේදනාවක් දරාගෙන සිටිනා තම සිතෙහි ශක්තිය ක්‍රම ක්‍රමයෙන් දිය වී යන බැව් වටහා ගත්තද ඇඳකට පමණක් වී ගත කරනා මෙම නීරස දිවිය පිලිබඳ දැනෙනා කළකිරීම , පිළිකුල ඉවත්කර ගැනීමට හෝ ජිවීතය පිලිබඳ තවත් අපේක්‍ෂා පොදි බඳින්නට හැකි තත්ත්වයක ගීත් සිටියේ නැත..කුඩා කාමරයක බිත්ති සතරකට පමණක් කොටු වී සිටිනා තමන් කෙතරම් අසරණද යන හැඟුම සෑම විටම ඔහු සිත රිදවීමට සමත් විය.

    තම ලබඳියන් හැකි සෑම විටම තමා අසල රැඳෙමින් සිය තනිකම පාළුව දුරලීමට තැත් කළද දින කිහිපයක පටන් නිසල්ගේ හා නෙතූගේ පැමිණීම අඩු වී ඇති බැව් ඔහු සිහියට නැගුවේ වේදනාවෙනි.

    “එයාලටත් කොච්චර වැඩ තියෙනවද....හැමදාමත් මං ගැනම බල බල ඉන්න එයාලට බෑනේ..මේ කාටවත්ම කරදරයක් නොවී ඇයි මං මැරිලා ගියේ නැත්තේ...”

    දෙනෙතින් කඩා හැලෙන්නට වෙර දරනා කඳුළැල් වළකා ගනිමින් ගීත් සෙමින් කොඳුරන්නට වූයේ තනිකම දරාගත නොහැකි හැඟීමකින් හදවත පීඩාවට ලක් වෙද්දීය..

    එලෙසින් වේදනාවෙන් ඔද්දල් වූ ඔහු සිත නෙතූ සමඟ ගෙවූ ඒ ආදරණිය මතකයන් සොයා යන්නට වූයේ එහි රැඳෙන්නට වූ ආශාවෙනි..

    නමුදු විටින් විටින් විට නෙත්මි පසෙකින් මැවී පෙනුණු ඇගේ කඩවසම් වෛද්‍ය මිතුරන්ගේ චායාවන් නිසාවෙන් ඔහුගේ සොඳුරු මනෝ ලොව බිඳී ගොස් යමි කිසි ඊරිෂ්‍යා සහගත හැඟුමක් සිතා වෙලා ගන්නට වූයෙන් ඔහුට තමා පිළිබඳ ඇති කළකිරිම තවත් වැඩි වන්නට විය..

    දිමුත් දේශප්‍රිය බණ්ඩාර ඔහුගේ සිත නිරතුරු පීඩාවට පත් කරන්නට වූ නෙතුගේ ලඟම මිතුරෙකු විය..ඔහුද මේ වන විට ඇයත් සමඟින් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතර ඔහුගේ උපන් ගමද නුවර වූ බැවින් ඔහු නෙතුගේ ඥාති සහෝදරයකු වූ පසිඳුගේ මිත්‍රයකුද වීම ඔහු සිත රිදවනා තවත් කරුණක් විය.

    එම දුක් මුසු සිතිවිලි සමඟින් පැටලී සිටි ගීත් දිමුත්ගේ හා නෙතුගේ රුව මනසින් එක්තැන් කර ඔවුන්ගේ මනා ගැළපීම පිලිබඳ සිතන්නට වූයේ ශෝකයෙනි.. එහෙත් ඒ සමඟම මෙලෙසින් තමාට පණ මෙන් ආදරය කරනා එම අහිංසකාවිය පිලිබඳ අහිතක් සිතීම සම්බන්ධයෙන් පවා ඔහුට පසුතැවීමක් දැනෙන්නට විය..ඈ සරසවි අධ්‍යාපනය ලබමින් සිටිනා කාලයේ සිට අසරු කළ දිමුත් ඔහුද හොඳින්ම දන්නා මිතුරෙකි..එමෙන්ම මිට පෙර කෙදිනක හෝ ඔහුට මෙවැන්නක් නොසිතුනද දැන් තමා මේ අයුරින් අනෙක් අය සැක කරනුයේ තමන් පත් වී ඇති අසරණ තත්වය නිසාවෙන් යැයි වැටහුණු බැවින් ඔහුගේ මුවඟින් විසල් සුසුමක් පිට වූයේ ඔහුටත් නොදැනීමය..

    “අයියෝ මොකද්ද ගීත් අයියා ඔච්චර හොඳට ඇඳට වෙලා විවේක ගන්න චාන්ස් එකක් ලැබිලා තියෙද්දිනේ ඔයා මේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කර කර හූල්ලලන්නේ..”

    දෑතේ හා උරහිසෙහිද ගමන් මළු ඔසවාගෙන අනපේක්‍ෂිත මොහොතක තමා බැලීමට පැමිණි සිය නෑනා වන ෂෙහානි දුටු ප්‍රගීත් සතුටත් පුදුමයත් මුසු බැල්මෙන් ඈ දෙස බලා හිඳි බැවින් ෂෙහානි නැවතත් සිය හඬ අවදි කරන්නට වූයේ සිනහවෙමිනි.

    “අයියා මේ බය වෙලා ඉන්නෙ මේ බෑග් ටික දැකල නම් කිසි දේකට බය වෙන්න එපා අනේ මේ වගේම තව බෑග් දෙකක් එළියේත් තියෙනවා..හ්ම් දන්නවද මං ඇත්තටම මෙහෙ ආවේ ඔයාගේ මස්සිනාගෙයි දොස්තර නෝනාගෙයි බලවත් ඉල්ලීමට..අපේ ට්‍රේනින් පටන් ගන්නකන් මෙහෙට වෙලා ඉඳලා හැම තිස්සෙම බෙරී වෙලා තියෙන ඔයාගේ මුහුණට පොඩ්ඩක් හිනා වෙන්න පුරුදු කරන්න කියලා නෙතූ නංගි ඊයේ අපේ ගෙදරටම ඇවිත් කියල අම්මලාගෙන් කැමැත්ත ගත්ත විතරයි නිසල් අයියා අද පාන්දරම වාහනයක් එවලා මට එන්න..ඒ නිසා ඔන්න මාත් ආවා..ඉතින් ඒ සම්බන්ධයෙන් ගීත් සර්ගේ හිතේ කිසි අකමැත්තක් එහෙම නෑ නේද..”

    ඉතා විනෝදජනක අයුරින් නොනවත්වා දිගු විස්තර කතනයක් සිදු කළ ඈ අවසානයේ ගීත්ගෙන් එසේ විමසුයේ ඔහුගේ මුවටද සිනාවක් නැඟෙන අයුරිනි.

    “ඇත්තටම ඔයා මෙහේ ආව එක නම් ලොකු දෙයක් ෂෙහානි..උදේ වරුවේ තනියෙන් මේ කාමරේටම වෙලා ඉන්න ගියාම එපා වෙනවා..ඊටත් වඩා එහෙම ඉන්න කොට මහා විකාර අදහස් මගේ ඔළුවට එනවා..ඔයාට ගොඩක් පින් මං වෙනුවෙන් මෙහෙට ආවට..”

    පිළිතුරක් අපේක්‍ෂාවෙන් සිනහ මුහුණින් යුතුව තමන් වෙත දෑස් දල්වා ගෙන සිටිනා සුන්දර යුවතිය දෙස බලා ගීත් අවංකව සිය හැඟීම ප්‍රකාශ කරන ලද්දේ තමා ගැන මෙතරම් සොයා බලනා නෙත්මි හා නිසල් පිලිබඳ මොහොතකට හෝ අහිතක් සිතීම ගැන වූ දැඩි පසුතැවීමෙන් යුතුවය.

    “අයියෝ අයියා ඔයා ඔය පින් ටික දෙන්න ඕන මට නෙමෙයි නිසල් අයියටයි නෙතූ නංගිටයි..මේකනේ අයියා නොමිලේම හොටෙල් එකේ වෙඩින් එක ගන්න නම් නිසල්ව තරහ කරගෙන හරි යන්නේ නෑ..අනිත් එක තමයි දවසක ලොකු ලෙඩක් එහෙම හැදුනොත් නොමිලේ බෙහෙත් ටික ගන්න නම් නෙතූවත් ශේප් එකේ තියා ගන්න වෙනවා..ඒ වගේම කවද හරි දවසක අපේ ළමයින්ට ක්ලාස් එකේ ෆ්‍රී කාර්ඩ් එකක් ගන්න නම් ඔයාවත් ඉක්මණට සනීප කරගන්න ඕනනේ..ඔන්න ඔය සේරම හිතල බලලා තමයි මං ආවේ..එහෙනම් මං වොෂ් එකක් දාගෙනම එන්නම් අයියා..”

    යැයි කියමින් කාමරයෙන් පිට වී යන ෂෙහානි දෙස බලා සිටි ගීත්ගේ සිතට සහනයක් එක් වූයේ කිහිප දිනකට හෝ තමා තනිව ඉන්නා විට සිතෙනා අප්‍රිය ජනක සිතිවිළි වලට යළිත් ඉඩ නොලැබෙනා බැව් සිතුණු හෙයිනි.

    ඉතා කාර්ය බහුල වූ සති කිහිපයක් ගත කළ නෙතූ සැදෑ වරුවක ප්‍රගීත්ගේ නිවෙස වෙත පැමිණියේ බොහෝ දිනකට පසුවය. නමුදු ආලින්දයේ රැස් වී දක්‍ෂ දේශීය වෛද්‍යවරයකු පිලිබඳ හෝටලයේ සේවය කරනා නව සේවකයකු විසින් පවසන ලද පුවතක් සම්බන්ධයෙන් අදහස් විමසමින් සිටි නිවැසියන් සිව් දෙනාම මවිතයට පත් කරමින් ඈ ඔවුන් කිසිවෙකුත් සමඟින් හෝ වදනකුදු නොදොඩා කල්පනාබරවම පා නැගුවේ ගීත්ගේ කාමරය වෙතය.

    යමෙක් කාමරය වෙත එනු දැනී පියාගෙන සිටි දෙනෙත් විවර කළ ගීත් ඈ වෙත හෙලුවේ අසරණ වූ බැල්මකි. කළු පැහැති ජීන්ස් කලිසමකින් හා ලා රෝස පැහැති හැඩ දමන ලද අත් දිගු හැට්ටයකින්ද සැරසී සිටි නෙතූ දෙස මොහොතක් දෑස් විදා බලා සිටි ඔහුට හැඟුණේ නොදැක සිටි දින කිහිපය තුලදී ඇය තවත් හැඩ වී ඇති බවකි. නමුදු ලබන මස තමන් මේ සුන්දර යුවතිය සමඟින් විවාහ වීමට සුදානම්ව සිටි බැව් සිහිවෙත්ම ඔහුගේ හදවත ඉකිබිඳින්නට විය..

    කඳුළු පිරි දෑසින් තමා දෙස බලා සිටිනා ප්‍රගීත් වෙත ලං වූ නෙත්මි සයනයේ ඔහු අසලින්ම අසුන් ගන්නට වූයේ ඇඳ විට්ටමට කොට්ටයක් තබා කතාකිරීමට පහසු වන සේ ඔහුට එහි වාරුවීමට උපකාර කරමිනි. මඳ වේලාවක් ඔහු දෙස තම දෙනෙත් යොමුකර සිටි ඇයට සිතුණේ දෙමසක් පමණ නිවසටම වී සිටි බැවින් ඔහුගේ පැහැපත් මුහුණට තවත් එළියක් එක් වී ඒ සුන්දර මුහුණ තවත් ආකර්ශනීය වී ඇති බැව් ය.

    එම හැඟුමෙන් යුතුවම තම අත්බෑගය විවෘත කර ඔහු විසින් ඈට තෑගී කිරීමට සිතා සිටි සමරුව එතුලින් එළියට ගන්නා ලද්දේ මන බඳිනා සුන්දර සිනහවකින් ඔහු වෙත සංග්‍රහ කරමිනි.

    “හ්ම්..ගීත් ඔයාට මේ ස්ටැචූ එක දැක්කම මොනාද හිතෙන්නේ..මට නම් හිතෙන්නේ ඔරුවේ මේ ඉන්නෙ අපි දෙන්න කියල.. මේ ඔරුවත් හරියට අපේ මේ ජිවිතේ වගේ නේද...ඈත දියඹේ දියරැළි උඩ පාවෙන මේ වගේ යාත්‍රාවක් කොච්චර ලස්සනට ගොඩ බිම ඉන්න කෙනෙකුට පේනවද..ඒත් එක සැරේම හමන කුණාටුවකට අහුවෙලා අසරණවෙන ඒ පුංචි යාත්‍රාවේ පිහිටට තියෙන්නේ ඒක පදවන්න තියෙන හබල විතරයි..ඒ යාත්‍රාවේ නැත්නම් ඔරුවේ ඉන්න කෙනාගේ උත්සාහය තියෙනකන් එයා කොහොම හරි හබලෙන් ගහලා ඔරුව කොහොමහරි ගොඩබිමකට ගෙනියන්න උත්සහා කරනවා..ඒත් මොන වෙලාවක හරි ඒ මනුස්සයගේ හිතේ තියෙන ධෛර්ය හිඳිලා ගිහින් හබල අත හැරුණොත් අන්න එතකොට ඒ ඔරුව මුහුදේ රැළි අතරම විනාශ වෙලා සැඟවිලා යනවා..

    ඒත් මං අපේ මේ ඔරුව එහෙම විනාශ වෙන්න දෙන්නේ නෑ ගීත්..මගේ උත්සාහය මං කවදාවත් අත් හරින්නේ නෑ.. අම්මා නැති වුණ දවසේ ඉඳල මගේ ජිවිතයට සැරින් සැරේ එක් වුණු හැම අභියෝගයකට මුහුණ දීලා මං අද මේ ඉන්න තැනට ආවේ මගේ හිතේ ඉතිරිවෙලා තිබුණ ධෛර්යයෙන් වගේම පැත්තකට වෙලා ඉඳගෙන හැමදාමත් ඔයා මගේ හිතට දුන්නු ශක්තියෙන්..
    මට දැන් තවත් ලොකු අභියෝගයක් අරමුණක් තියෙනවා ගීත්..ඔව් මං කොහොම හරි ඔයාව සනීප කරගන්නවා..අපි දෙන්න තව සති දෙකකින් බඳිනවා..ඊට සති දෙකකට පස්සේ අපි ඇමරිකා යනවා ඔයාගේ ට්‍රීට්මන්ට් වලට..ආයෙත් අපි ලංකාවට එන්නේ ඔයා හොඳටම හොඳ වුණාට පස්සේ..හැබැයි ගීත් මේ හැම දෙයක්ම කරන්න වෙනද වගේම ඔයා මගේ හිතට ශක්තිය දෙන්න ඕන..ඔයා හිතින් වැටෙනවා කියන්නේ මගේ හිතත් දුර්වල වෙනවා කියන එක..එහෙම වෙන්න දෙන්න බෑ අයියා..මොකද ඔයා ආයෙත් එනකන් ළමයි සිය ගණනක් මඟ බලාගෙන ඉන්නවා ඔයාගෙන් ඉගෙන ගන්න..තේරුණා නේද අපේ ගීත් සර්ට..?”


    දිලිසෙන දෙනෙතින් හා ස්ථීර අදිටනින් යුතුව සිනහමුසු මුහුණින් සිය වදන් නිමා කළ නෙතූ දෙස දෑස් අයා බලා සිටි ප්‍රගීත් තම උරහිස මත ඇති ඇගේ දෑත සිප ගත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි වූ සෙනෙහසක් ආදරයක් ඈ වෙනුවෙන් තම සිත මත තෙරපෙද්දීය..

    මෙතෙක් වෙලා දොර අසල හිඳ ඇගේ වදන් ශ්‍රවණය කරමින් බොඳ වූ දෙනෙතින් ඔවුන් දෙස බලා සිටි නිම්මි, දයාන් මෙන්ම නිසල් හා සෙනායා ද නෙත්මි අසළට ගොස් සිට ගත්තේ ඈ ගන්නා ඕනෑම තීරණයක් වෙනුවෙන් ශක්තියක් වීමට තමන්ද සිටිනා බැව් හැඟවීමටය. මන්ද යත් වදනකුදු ප්‍රකාශ කිරීමට නොහැකි ලෙස ඔවුන්ගේ හදවත් එම මොහොතේ දී සංවේදීව තිබිණි.

    නෙත්මි මෙවන් දැඩි තීරණයකට එළැඹියේ වෛද්‍ය අසිත වීරසිංහ මහතා ද සමඟින් සාකච්චා කිරීමෙන් අනතුරුවය. ඔහු පැවසූ අයුරින් ප්‍රගීත්ගේ වෛද්‍ය වාර්ථා ඇමරිකාවේ සිටිනා තම වෛද්‍ය මිතුරෙකු වෙත යවා ඇති අතර එම මිතුරා ලබා දී ඇති තොරතුරු අනුව ඔහු සේවය කරන රෝහලේ එවැනි සැත්කම් සාර්ථකව සිදුකර ඇති බවත් ගීත්ගේ වාර්ථා අනුව ඔහුද එම සැත්කමට සාර්ථකව බඳුන් කර යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවටත් ඔහු ප්‍රත්‍යක්‍ෂ කර තිබිණි.

    එබැවින් අසිත වීරසිංහ මහතා විසින් සිදු කරන ලද නිර්දේශය අනුව දක්‍ෂ වෛද්‍ය ශිෂ්‍යාවක් වූ නෙත්මිට ද ඇමරිකා වෛද්‍ය ශිෂ්‍යත්වය හැදෑරීමට අවස්ථාවක් සලසාදෙන අතරම ඇගේ සැමියාගේ රෝගී තත්ත්වය වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා ඔහුද ඈ සමඟින් එහි රැගෙන යාම සම්බන්ධයෙන් අවසර ගැනීමට විසල් ප්‍රයත්නයක් දැරීමට ඔවුන්ට සිදු විය.ඒ සඳහා ඔවුන්ගේ ඇඳුනුම්කම් ප්‍රයෝජනයට ගනිමින් එම ශිෂ්‍යත්ව කටයුතු හා සම්බන්ධ අදාළ ඉහල නිලධාරීන් හමුවී කටයුතු පිළියෙළ කිරීමට සිදුවීම නිසාවෙන්ම පසුගිය දින කිහිපය තුළ ඇය ඉතා කාර්ය බහුල වන්නට විය.

    විසල් මුදලක් වැය කිරීමෙන් හෝ ගීත්ගේ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කටයුතු කිරීමට නිවැසියන් සියලු දෙනා අදිටන් කරගෙන සිටියේ මුදලට වඩා ඔහුගේ ජීවිතයේ සතුට ඔවුන්ට බෙහෙවින් වැදගත් වන බැවිනි.

    “ඔයාට පුළුවන් දූ..මට විශ්වාසයි ඔයාලා ආයෙත් මෙහෙට එනකොට මගේ පුතා කලින් වගේම එයාගේ කකුල් වලින් හොඳට ඇවිද ගෙන එයි..ඔව් දූ මට විශ්වාසයි..” යැයි ස්ථීර හඬින් නිම්මි පැවසූයේ නෙත්මි අසළට ගෙස් ඈ සිය තුරුළට ගන්නා අතරය.

    “ඔව් අක්කා ඔයාට පුළුවන්..ඒ වගේම තමයි ඕනෑම දේකට ඕනෑම මොහොතක අපි ඔයත් එක්ක ඉන්නවා..ඔයා අපේ අයියා වෙනුවෙන් කරන මේ දේවල් වෙනුවෙන් පින් දෙන්නවත් ස්තුති කරන්නවත් වචන හොයා ගන්න මට බෑ අක්කා..”

    කඳුළු පිරි වුවනින් නෙතූ අසළට ලං වූ සෙනායාද එසේ පවසමින් තම මව මෙන්ම ඈ වැළඳ ගත්තේ මහත් සෙනෙහසිනි.

    එකට වැළඳගෙන දුක බෙදා ගනිමින් හඬමින් සිනාසෙනා ප්‍රගීත්ගේ මව , නැගණිය හා අනාගත සහකාරිය ඔහුට සිය දෑසින් පෙන්වා ඇසක් ද ඉඟි මරමින් ගීත් අසළින්ම හිඳ ගත් නිසල් ඔහුගේ පනැති වමත තදින් අල්ලා ගත්තේ සහෝදරත්වය පිරි සෙනෙහසිනි.

    සයනය මතට වී හිඳිමින් මේ සියල්ල දෙස නිහඬ බැල්මෙන් බලා හිඳි ප්‍රගීත්ගේ හදවත ඔවුන් සියලුදෙනා වෙනුවෙන් නැඟී උතුම් වූ සෙනෙහසකින් පිරෙන්නට වූ අතර ඉදිරියේදී තම ජිවිතයේ සිදුවිය හැකි ඕනෑම අවස්ථාවකට නොබියව මුහණ දිය හැකි ආත්ම විශ්වසයකින් හා ධෛර්යකින් තම සිත දිරිමත් වූ බැව් ඔහුට දැනෙන්නට විය.

    නෙතූ පැවසූ අරුත්බර වදන් නැවතත් සිහි කරමින් මෙම ජිවිත යාත්‍රාවේ තමාට හබලක් වී ශක්තිය ගෙන දෙන්නා වූ තම ළබැඳියන් දෙස ආදරය පිරී ඉතිරුණු බැල්මෙන් මොහොතක් බලා හිඳි ගීත්,

    “ඔව් මගේ නෙතූ..ඔව් මගේ අම්මේ..මං ඉක්මණටම සනීප වෙනවා..ඔයාල වෙනුවෙන් මේ ජිවිතයම කැප කරන්න මට සනීප වෙන්නම වෙනවා... ඔව් මං ඇමරිකා ඉඳලා ආයෙත් මෙහෙට එන්නේ ඇක්සිඩන්ට් එකට කලින් හිටිය ගීත් විදියටයි..ආයේ මේ කිසිම දෙයක් නිසා ඔයාලා මට දුන්නු මේ ශක්තිය මං නැති කරගන්නේ නෑ නෙතූ..මේ ඇත්තමයි..”

    සිය මව හා නැගණිය තුරුලේ හිඳිමින් තමා දෙසම බලා හිඳිනා ඒ දිළිසෙනා තරු නෙත් වෙතම දෙනෙත් පා කරමින් සෙමෙන් නමුදු ඔහු පැවසූයේ ස්ථීර අදිටනකිනි.


    ~ සමාප්තයි ~

    පුරා දෙමසක් ජීවිත යාත්‍රාවේ අප සමගින් යාත්‍රා කල සහෘද ඔබට හදපිරි ප්‍රණාමය෴
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    පට්ට මචන්... ඕක පුලුවන් නම් publish කරපන්. උඹේ නංගිට දිගටම ලියන්න කියපන්. සුභ පැතුම්.:D:D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dan ubath ekak liyapan sugiyo:D meka ela oya okkona publish karana try ekak demu
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එක උස්මට කියෙව්ව ... බොහොම ස්තූතී පී.එම් එකට...ඇත්තටමහිතට වදින්න හොදට ලියල තියන්ව මේක ලියපු නංගිට සුබ පතන්වත් එක්කම පුංචි අවවාදයකුත් දෙන්නම්
    if you gud at something.. never do it for free
     
    • Like
    Reactions: argan

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කතාව ගොඩක් රස වින්දා. ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරගෙන යන්න නංගියාට හැකියාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.:love:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    lassanaiii me kathawa...hodata liyala thiyenawa lassanata mulu kathawama.. :) :) poddak miss una magadi... :( bt ada kiyewuwa. :) :) puluwan nam meka publish karannako.. :) :) :) :)
     
    Last edited: