ජේජු දූපතේ කිමිදුම්කාරියෝ

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ජේජු දූපතේ කිමිදුම්කාරියෝ

    ජේජු දූපතේ කිමිදුම්කාරියෝ

    මිනිත්තු තුනක් හුස්ම අල්ලා ගැඹුරු මුහුදු පතුලේ .......


    pic-2.jpg


    දකුණු කොරියාවේ ජේජු දූපත් එක් සුවිශේෂී හේතුවක් නිසා ප්‍රසිද්ධය. ඒ අතීතයේ සිට එහි වාසය කරන දේශීය ජනවර්ගයක් නිසාය. එම ජනවර්ගයේ කාන්තාවෝ එහි පවුල් බර කර දරාගත්තෝ වෙති. අතීතයේ සිටම ගැඹුරු මහ මුහුදේ කිමිදී ජිවිකාව සරිකරගන්නා ඔවුන් හඳුන්වනුයේ හැනියෝ හෙවත් මුහුදු කාන්තාවන් ලෙසය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඔවුහු කිසිදු නවීන කිමිදුම් උපකරණයක් භාවිත නොකර දරුණු දියරැලි හා සටන් කරමින් ගැඹුරු මුහුදේ කිමිදෙති.

    කොරියානු සමුද්‍ර සන්දිය ඔවුන්ගේ ප්‍රියතම කිමිදුම් ප්‍රදේශයයි. දිනකට සිය වතාවකටත් වඩා මුහුදේ කිමිදෙමින් ඔවු්හු මුහුදු පතුලින් බෙල්ලන්, විශාල හක්බෙල්ලන් සහ බූවල්ලන් අල්ලා ගොඩට රැගෙන එති.

    ජේජු දූපත් සාමාන්‍යයෙන් කඳු සහිතය. සුළං බහුලය. එනිසා එහි වගා කටයුතු අසීරුය. 17 වැනි ශත වර්ෂයේ සිටම එහි වැසියන් පුරුදු වූයේ මහ මුහුදත් සමඟ හැප්පීමටය. දූපතේ පිරිමින් මසුන් ඇල්ලීමේ සහ යුද නැව්වල වැඩ කරද්දී ගැහැනු කිමිදීමට හුරු වූහ. පසු කාලයකදී කිමිදීම ගැහැනුන්ට පමණක් සීමා වෙද්දී පිරිමි පසෙකටලා ගැහැනුම පවුලේ හරිහම්බ කරන්නා බවට පත් වූහ.

    අඩි 40 - 60 දක්වා වූ ගැඹුරු මුහුදේ කිමිදීම සඳහා අතීතයේදී නම් ඔවුහු කිසිදු උපකරණයක් භාවිත නොකළහ. වර්තමානයේ ද ඔවුහු කිමිදීම සඳහා කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර හෝ ඔක්සිජන් සිලින්ඩර භාවිත නොකරති. මීටර් 10 ක් පමණ ගැඹුරු පතුලේ හුස්ම තද කරගෙන මිනිත්තු දෙකක පමණ කාලයක් ගත කරන හැනියෝ කාන්තාවන් ගොඩට එනුයේ දෑතින් මුහුදු පතුල අතගා අල්ලාගත් බෙල්ලන් සමූහයක් සමඟය. ඒ සඳහා ඔවුන් භාවිත කරනුයේ ඉතා පැරැණි කාලයේ කිමිදුම් මුහුණක් පමණකි. පහසුවෙන් හා ඉක්මනින් කිමිදීම සඳහා ඔවුහු ඉණ වටා ලෝහ බරක් එල්ලා ගනිති. එය ප්‍රමාණයෙන් පාපන්දුවක් තරම්ය. ඒ සමඟම දැල් මල්ලක් හා උල් ආයුධයක් රැගෙන යනුයේ මුහුදු පතුලින් බෙල්ලන් කඩා ගැනීමටත් උන් රැගෙන ඒමටත්ය.

    මීට වර්ෂ තිහ හතළිහකට පෙරදී කිමිදුම් වෘත්තියේ යෙදුණු හැනියෝ කාන්තා සංඛ්‍යාව 26000 ඉක්මවීය. එහෙත් දැන් ජේජු දූපත්හි කිමිදීමේ නිරත කාන්තාවන් සංඛ්‍යාව 4000 දක්වා අඩුවී ඇත්තේය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 13 - 14 වයස්වලදී වැඩිහිටි කතුන්ගෙන් කිමිදීම ඉගෙන මුහුදට බසින හැනියෝ තරුණියන්ගේ ජීවිතය ඉන්පසු මුහුදටම දියවී යයි. වර්තමානයේ ජේජු දූපත්හි වෙසෙන කිමිදුම්කාරියන් අතරින් බොහොමයක් වයස අවුරුදු 70 ඉක්ම වූවන්ය. ඔවුන් අතර සිටින ළාබාලම තැනැත්තිය 38 හැවිරිදිය. වැඩිමල්ම තැනැත්තිය අනූ හැවිරිදිය.


    pic-3.jpg


    ඉඳහිට හෝ පාරම්පරික වෘත්තිය ඉගෙනීමට එන තැනැත්තියකට ඔවුහු මුහුද යට කිමිදී හුස්ම තද කරගෙන මිනිත්තු 3 ක් සිටීමේ ශිල්පය හුරු කරති.

    ජපාන අධිරාජ්‍යවාදී යුගයේදී දූපතේ හරිහම්බ කරන පිරිමින් මත පැනවූ අධික බදු බරට උර දීම සඳහා මේ කතුන් ප්‍රථමයෙන්ම කිමිදීමට හුරු වූ බව පැවැසේ. පසුව ක්‍රමයෙන් පවුලේ හරිහම්බ කරන්නා ගේ තැන පිරිමින් වෙතින් කාන්තාවන් අතට මාරු වී ඇත්තේය. මේ කාන්තාවන් කිමිදීමේ කාර්යට කෙතරම් හුරු වී ඇත්දැයි කිවහොත් ඔවුහු ගර්භණීව සිටියදීත් කිමිදීමට නොපැකිළෙති.

    මේ කාන්තාවන් කරනා මේ දුෂ්කර කටයුත්ත ජේජු දූපතේ පැරැණි කියමනක් වන ‘මිනී පෙට්ටියක් හිස බැඳගෙන කිමිදෙනවා’ යන කියමනෙන් තවත් තහවුරු කෙරේ. සෑම කාන්තාවක්ම දිනපතා සිය වෘත්තිය ආරම්භ කිරීමට පෙර මුහුදු දෙවඟනකට ආරක්ෂාව පතා යාඥා කරන්නීය. සහල්, පලතුරු සහ මුදල්වල කඩදාසි අනුරූ පූජා කරමින් ඔව්හු මුහුදු දෙවඟනගේ ආශිර්වාද ලැබ ගැඹුරු මුහුදට බසිති.

    හුස්ම තද කරගෙන මුහුද යට කිමිදෙන ඔවුනට නිරීක්ෂණ ඇසින් බලා සිටින සීල් මත්ස්‍ය රෑනකට මෙන්ම මිනීමරු මෝරුන්ගේ ප්‍රහාරයකට ද මැදිවීමට සිදුවන අවස්ථා එමටය. තවත් අවස්ථාවක දිය මතුපිට යන මෝටර් බෝට්ටු සහ සැඩ දිය රළ ද ඔවුනට එරෙහි වෙයි. මේ සියල්ලෙන් බේරී මිනිත්තු තුනක් හුස්ම තද කරගෙන සිටීමට තරුණ කතුන්ට ගුරුහරුකම් දෙනුයේ ඔවුන්ගේ මවුවරුන් සහ මිත්තණියන්ය.


    ras-07-19-p15.jpg


    ජේජු දූපතේ ළාබාලම කිමිදින්නිය වන කිම් කිමිදීම ඉගෙන ගත්තේ මවගෙන් හා මිත්තණියගෙනි. තමා මුතුන්මිත්තන් හා යා කර තබන ඒ වෘත්තිය ඉගෙනීමට කිම් දිනපතා උදෑසන කාලය වෙන් කරන්නීය.

    “කවදාහරි දිනක අපේ පරණ අය නැතිවෙයි. එදාට මුහුද තනිකරම මගේ වෙයි. ඒ නිසා ඒ ගැන ඉගෙන ගත යුතු සියලු දේ ඉගෙන ගැනීම මගේ උත්සාහයයි. සමහර විට මට කිමිදීමට කැමැති වන අනාගත පරපුරට ඉගැන්වීමටත් හැකි වේවි” යැයි කිම් පවසයි.

    හැනියෝ කතුන්ගේ මේ කිමිදුම් ශිල්පය මේ දක්වා පැමිණියේ මවගෙන් දියණියට වශයෙනි. දූපත්වාසීන් පවසන්නේ මේ කාන්තාවන්ගේ සිරුරේ මේදය අධික ශීතලෙන් යුතු දියට ඔරොත්තු දෙන බවයි. ගැහැනුන් පිරිමින්ට වඩා දක්ෂ කිමිදුම්කරුවන් බව ද ඔවුහු පවසති. ජේජු දූපත්හි පිරිමි කිසිදා කිමිදීම ගැන නොසිතන අතරම එය ගැහැනුන්ට අයත් කටයුත්තකැයි පවසා පසෙකට වී සිටිති.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පසු කාලයකදී කිමිදීම ගැහැනුන්ට පමණක් සීමා වෙද්දී පිරිමි පසෙකටලා ගැහැනුම පවුලේ හරිහම්බ කරන්නා බවට පත් වූහ.

    This must be the only place on earth where women are in their rightful place :P
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලබන සතියේ අපි යන්න ඉන්නේ ජේජු දූපතට...... :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම ස්තූතියි අපිත් එක්ක මේ විස්තරේ බෙදාගත්ත.:)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අරකිගේ කටේ හැටි දැක්කාම බය හිතෙනවා බන් :eek: