ප්‍රමිතිය නැති ඩීසල් නිසා ඉන්ධනහල්වලත් ගැටලු
ශිරාන් රණසිංහ
ප්‍රමිතිය පිළිබඳව ගැටලු මතුව තිබෙන ඩීසල් වාහනවලට ගැසීමේදී පෙණ මතුවන බැවින් වාහන හිමියන් හා ඉන්ධනහල් හිමියන් අතර ඩීසල්වල තත්ත්වය පිළිබඳව ප්‍රශ්න හටගන්නා බව ඉන්ධනහල් හිමියෝ පවසති.
මෙම ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතුව ඇති ඩීසල් සාම්පල් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඩුබායි රාජ්‍යයට යෑවීම හොරාගෙ අම්මාගෙන් පේන අසන වැඩකැයි ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා නඟති.
මෙම ඩීසල් භාවිත කිරීම නිසා මේ වන විට ලංගම බස්‌රථ හා පෞද්ගලික ඩීසල් වාහන රැසක්‌ම අතරමඟ නතරව ඇත. තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී. පී. එස්. ටී. එල්.) පවසන්නේ ලිඛිතව මේ පිළිබඳව පැමිණිලි ලැබුණොත් ඒ පිළිබඳව විමර්ශනය කරන බවයි.
ඛනිජ තෙල් අමාත්‍යාංශය හරහා මේ පිළිබඳ දැනමටත් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට පැමිණිලි ලැබී ඇති අතර රජයේ ප්‍රබල ඇමැතිවරයකුට අයත් බස්‌රථ අතරමග නතරවීම සම්බන්ධව ද තෙල් සංස්‌ථාවෙන් විමසීමක් කර ඇතැයි තෙල් සංස්‌ථා උසස් නිලධාරියෙක් "දිවයින" ට පැවසීය.