තණ්හාව නිසා අපි නැවත නැවත උපදින බව කියන්න දෙයක් නෑනේ. ඒ ගැන පුංචි කතාවක් තායිලන්තයෙන් අහන්න ලැබුනා. ඔයාලාට දැන ගන්න මන් හිතුවා ඒක පෝස්ට් කරන්න.
තායිලන්තයේ එක්තරා ගමක සල්ලි ණයට දෙන මිනිහෙක් හිටියලු. අපේ රටෙත් ඉන්නේ. මේ මිනිහා දවසක් මෙයාගෙන් ණය ගත්ත ගොවියෙක්ගෙන් ඒ ණය ආපහු ගෙවන්න කියලා ඒ ගොවියගේ ගෙදරට ගිහින් ඉල්ල හිටියලු. ඒ වුනාට ඒ ගොවියා ඒ ණය ආපහු ගෙවලා තිබිලා තියෙන්නේ. ඒ නිසා මිනිහා කිව්වලු මන් ණය ගෙව්වා කියලා. නමුත් අර ණය දෙන්නා ඒක පිලි ගත්තෙ නෑලු.
අන්තිමට ණය දෙන්නා කිව්වලු හොඳයි තමුසේ කියනවානේ මට ණය ගෙව්වා කියලා. මන් එහෙම තමුසේ ගෙවපු ණයක් ආපහු අරගන්නවා නම් ඒකට හරියන්න මන් තමුසෙගේ ගෙදර හරකෙක් වෙලා ඉපදෙනවා කියලා. එහෙම පොරොන්දු වෙලාත් ණය ඉල්ලුවලු. ඉතින් කරන්න දෙයක් නැති අර ගොවියා කරදරෙන් බේරෙන්න බැරි තැන මේ කියන මුදල ගෙව්වාලු. මේ විදියට එකම ණය දෙපාරක් මේ ගොවියා ගෙව්වලු.
වැඩි කාලයක් නොගිහින් අර ණය දෙන්නා මැරිලා. ඔය කාලෙම අර ගොවියාගේ ගෙදර හරක් පැටියෙකුත් ඉපදුනාලු. ණය දෙන්නා තමන්ගේ ගෙදර හරක් පැටියෙක් විදියට ඉපදුනා කියලා හිතපු ගොවියා තමන් ණය දෙන්නාට කථා කරන විදියට මේ හරක් පැටියට "සයා, සයා මෙහෙට එන්න" කියලා කථා කලාලු. ඒ කථා කලාම හරක් පැටියා ගොවියා ලඟට එනවාලු. මෙයින් ගොවියට විශ්වාසයක් ඇති වුනාලු අර ණය දෙන්නා තමන් කියපු විදියටම තමන්ගේ ගෙදර හරකෙක් වෙලා ඉපදුන එක ගැන. මේ මනුස්සයා තමන් අඳුනන අයට මේ ගැන කියන්න පටන් ගත්තලු. මේක ඇහුන අර මැරිච්ච මිනිහගේ දුව මේ ගොවියට විරුද්ධව උසාවි ගියාලු මැරුණු තාත්තට අපහාස කරනවා කියලා.
නඩුව අහපු විනිසුරුතුමා පැමිණිලිකරුව එක පැත්තකටත් චූදිත ගොවියාත් හරක් පැටියාත් අනිත් පැත්තටත් කරලා ගොවියාට කිව්වාලු හරක් පැටියට කථා කරන්න කියලා. ඉතින් මේ ගොවියා "සයා, සයා, මෙහෙට එන්න" කියලා කථා කලාලු. හරක් පැටියත් ගොවියා ලඟට ආවලු. ඊට පස්සේ විනිසුරුතුමා අර දුවට කිව්වලු තමන් තාත්තා ඉන්දැද්දි කථා කල විදියට හරක් පැටියට අඬ ගහන්න කියලා. ඒ දුවත් ඒ කියපු විදියට තාත්තා ඉද්දි කථා කල ආකාරයට හරක් පැටියට කථා කලාම දුව ගාවටත් හරක් පැටියා ආවලු. මේ දිහා බලන් ඉඳි විනිසුරු තීරණය කලාලු ගොවියා අපහාස කරනවා නෙමේ මේ ඇත්තටයි කථා කරන්නේ කියලා. ඒ අනුව ගොවියා නඩුවෙන් නිදහස් කරල දැම්මාලු.
මේ පුංචි කථාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මිනිස්සු හරක් වෙලාත් උපදිනවා කියලා. තණ්හාව උපදීමට හේතු වෙනවා කියන එකත් පැහැදිලියි. බොරු පොරොන්දු දීම කියන්නේ දුක ඇති කරන තැන්වල ඉපදෙන්න ඉඩ සලසන හේතුවක් කියලාත් අපි මතක තියා ගන්න අවශ්‍යයි.
අප්පා...තන්හාව කියන්නේ හරිම දරුනු දෙයක්.සංසාරෙ පවතින්නෙ ඕක නිසානේ.