ත්‍යාගානුස්‌සතිය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ත්‍යාගානුස්‌සතිය

    ත්‍යාගානුස්‌සතිය නිවරදිව කරන ආකරය පහදිලි කරන්න?
    මෙ සදහා තිබෙන ලිපියක් හෝ දර්ම පොතක් හ්ටියේ නම් සදහන් කරන්න ?
     

    hpalpola

    Well-known member
  • මේ කරුණු වැදගත් වේවි මිතුර ඔබට.



    ශ්‍රද්ධායෙන් දීම ය, ලජ්ජායෙන් දීම ය, නිර්දෝෂ දීම ය, යන මේ ධර්මයෝ සත්පුරුෂයන් විසින් අනුගමනය කරන ලදහ. තෙල දෙව්ලොට මඟයයි කියත්, මේ ධර්මයන්ගෙන් දෙව්ලොව්ට පැමිණෙත්.
    ද්විතීය දාන සූත්‍රය


    මහණෙනි, මේ දානවස්තූහු අටෙකි, කවර අටෙක් ද යත් :
    ඡන්‍දයෙන් දන් දෙයි. ද්වේෂයෙන් දන් දෙයි. මෝහයෙන් දන් දෙයි. ගැරහීම් බියෙන් දන් දෙයි. පියමුතුන් විසින් දුන්විරූ ය කළවිරූ ය පැරණි කුලවංශය පිරිහෙළන්නට නො සුදුස්සෙමියි දන් දෙයි. මම මේ දන් දී කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදින්නෙමි යි දන් දෙයි. මේ දන්දෙන මාගේ සිත පහදියි අත්තමනතා සඞ්ඛ්‍යාත සොම්නස උපදී යයි දන්දෙයි. සතෙහිඅලඞ්කාරය හා චිත්තපරිෂ්කාරය පිණිස දන් දෙයි. මහණෙනි, මේ වනාහි දානවස්තු අටයි.


    දානවත්ථු සූත්‍රය, අංගුත්තර නිකාය


    මහණෙනි, මේ දන් අටෙකි. කවර අටෙක් ද යත් :

    වෙත පැමිණ දන් දෙයි. බියෙන් දන් දෙයි. මට දුන්නේ යි දන් දෙයි. මට දෙන්නේ යි දන් දෙයි. දීම මැනැවැයි යි දන් දෙයි. මම පිසමි, මොහු නො පිසත්, පිසන්නෙම් නොපිසන්නවුන්හට දන් නොදෙන්නට නුසුදුස්සෙමි යි දන් දෙයි. මේ දානය දෙන මාගේ කළණකිත්හඬ උස්ව නැඟේ යි දන් දෙයි. (ශමථවිදර්‍ශනා) චිත්තයාගේ අලඞ්කාර පිණිසත් පිරිවර පිණිසත් දන් දේ.


    දාන සූත්‍රය, අංගුත්තර නිකාය


    ..... මහණෙනි, එසෙයින් ම අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත් ඵල නො වෙයි. මහානිසංස නො වෙයි. මහත් ශෝභා ඇත්තේ නො වෙයි. මහත් පැතිරීම් ඇත්තේ නො වේ. කෙසේ අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි ද යත් :

    මහණෙනි, මෙලොවැ මහණබමුණෝ මිථ්‍යාදෘෂ්ටිකයෝ වෙති, මිථ්‍යාසඞ්කල්ප ඇත්තෝ වෙති, මිථ්‍යාවචන ඇත්තෝ වෙති, මිථ්‍යාකර්‍මාන්ත ඇත්තෝ වෙති, මිථ්‍යාආජීව ඇත්තෝ වෙති, මිථ්‍යාව්‍යායාම ඇත්තෝ වෙති, මිථ්‍යාස්මෘති ඇත්තෝ වෙති, මිථ්‍යාසමාධි ඇත්තෝ වෙත්. මහණෙනි, මෙසේ අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵල නො වෙයි. මහානිසංස නො වෙයි. මහාද්‍යුතික නො වෙයි. මහත් පැතිරීම් ඇත්තේ නො වේ.......





    ......මහණෙනි, එ පරිද්දෙන් ම අටඟෙකින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵල වේ. මහත් අනුසස් ඇත්තේ වේ. මහාද්‍යුතික වේ. මහාපැතිරීම් ඇත්තේ වේ. කෙසේ අටඟෙකින් යුත් මහණබමුණන් කෙරෙහි ද යත් : මහණෙනි, මෙලොව මහණබමුණෝ සම්‍යග්දෘෂ්ටිකයෝ වෙති. සම්‍යක්සංකල්ප ඇත්තෝ වෙති. සම්‍යක් වචන ඇත්තෝ වෙති. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ වෙති. සම්‍යක් ආජීව ඇත්තෝ වෙති. සම්‍යග්ව්‍යායාම ඇත්තෝ වෙති. සම්‍යක් ස්මෘති ඇත්තෝ වෙති. සම්‍යක් සමාධි ඇත්තෝ වෙත්. මහණෙනි, මෙසේ අටඟෙකින් යුත් මහණ බමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵලවෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි, මහද්‍යුතික වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.

    1. පිරිපුන් සම්පත් ඇති කෙතෙහි වපුළ බීජසම්පත්ති තොමෝ වැසි මැනවින් වස්නා කල්හි යම්සේ යහපත් ධාන්‍ය සම්පත් ඇත්තී වේ ද,


    2. (ඕ) පණුඋවදුරු නැති බව නමැති සම්පත් ඇත්තී වෙයි. වෘද්ධිසම්පත් ඇත්තී වෙයි. වෛපුල්‍ය සම්පත් ඇත්තී වෙයි. ඒකාන්තයෙන් ඵලසම්පත් ඇත්තී වෙයි.


    3. එසේම පිරිපුන් සිල් ඇත්තවුන් කෙරෙහි දෙන ලද භෝජන සම්පත් තොමෝ කුශලසම්පත් එළවයි. ඔහු විසින් කරන ලද ඒ කර්මය යම්හෙයකින් පිරිපුන් වේ ද,


    4. එහෙයින් මෙලොව සම්පත් කැමැත්තේ පිරිපුන් පුඟුලෙක් වේවා, පිරිපුන් පැණැත්තන් සේවනය කෙරේවා. සම්පත්හු මෙසේ සමෘද්ධ වෙත්.


    5. විද්‍යාවෙන් හා චරණධර්මයෙන් යුක්තවූයේ චිත්තසම්පත් (නොවකල්බව) ලැබ කර්මසම්පත් (පරිපූර්ණ කර්ම) කෙරෙයි. (පිරිපුන්) අර්ථසම්පත් ද ලබයි.


    6. (විදර්ශනා) දෘෂ්ටි සම්පත්තියට පැමිණ තත්වූ පරිදි ලොව දැන (සොතාපත්ති) මාර්ගසම්පත්තියට පැමිණ පිරිපුන් සිත් ඇත්තේ අර්හත්ත්වයට යෙයි.


    7. මුළු කෙලෙස්මල කම්පිත කොට හැර නිවන් සැපතට පැමිණ සියලු දුකින් මිදෙයි. ඒ විමුක්ති තොමෝ සර්වසම්පත් නම් වෙයි.


    ඛෙත්තුපම සූත්‍රය, අංගුත්තර නිකාය


    මහණෙනි, මේ දානෝපප්‍රාප්තීහු (දානය නිසා වන ඉපදීම්) අට දෙනෙකි. කවර අටෙක් ද යත්:

    1. මහණෙනි, මෙලොව එකෙක් මහණකුට හෝ බහුණකුට අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හෙතෙමේ යමක් දේද, එය නැවත පතයි. හෙතෙමේ පස්කම් ගුණයෙන් ඇලුණු, යුක්ත වූ ඉඳුරන් පිනවනු ලබන ක්ෂත්‍රිය මහාසාරයන් හෝ බ්‍රාහ්මණමහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් හෝ දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ක්ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි (මඟපල පිණිස) නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු ක්ෂත්‍රිය මහාසාරයන් ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍ර‍ණිධිය (සිතපිහිටුවීම) පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.


    2. මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන්දෙයි. හෙතෙමේ යමක් දේ ද, එය නැවත පතයි. ඔහු විසින් (මෙසේ) අසනලද්දේ වෙයි: චාතුම්මහාරාජික දෙව්ලොව දෙවියෝ දීර්ඝායුෂකයෝ ය, වර්ණවත්හු ය, සැපබහුල කොට ඇත්තෝ ය. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම් කාබුන් මරණින් මතු සිවුමහරජයෙහි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. ඔහුගේ ඒ සිත හීන වූ පස්කම් ගුණයෙහි යෙදුණේ මත්තෙහි නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී.කාබුන් මරණින් මත්තෙහි සිවුමහරජයෙහි දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි, දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍ර‍ණිධිය පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.


    3-7 මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් දන් දෙයි. යමක් දේද, එය නැවත පතයි, ඔහු විසින් මෙසේ අසන ලද්දේ වෙයි: තාවතිංස දෙවියෝ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ ...නිම්මාරණරතී දෙවියෝ ... පරනිම්මිතවසවත්තී දෙවියෝ දීර්‍ඝායුෂ්කයෝ ය. වර්‍ණවත්හු ය, සැප බහුල කොට ඇත්තෝ යි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සමවාසයට යන්නෙම් නම් ඉතා යෙහෙකි. හේ ඒ සිත තබයි. ඒ සිත ඉටයි. ඒ සිත වඩයි. හීන වූ පස්කම් ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍ර‍ණිධිය සමෘද්ධ වේ. පිරිසුදු බැවිනි.


    8. මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ අහර පැන් වත් යන් මල්ගඳවලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හේ යමක් දේ නම් එය නැවත පතයි. බ්‍ර‍හ්මකායික දෙවියෝ දීර්ඝායුෂකයෝ ය. වර්ණවත්හු ය. සැපබහුල කොට ඇත්තෝ යි, ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කාබුන් මරණින් මතු බ්‍ර‍හ්මකායික දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ යි, හෙතෙමේ ඒ සිත තබයි. ඒ සිත ඉටයි. ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු බ්‍ර‍හ්මකායික දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. වීතරාගයාහට කියමි. සරාගයාහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍ර‍ණිධිය සමෘද්ධ වේ. පහවු රාගය ඇති බැවිනි. මහණෙනි, මේ දානුපපත්ති අටයි.


    දානූපපත්ති සූත්‍රය


    මහණෙනි,මේ පින්කිරියවත් තුනෙකි, කවර තුනෙක යත්:

    දානමය පුණ්‍යක්‍රියාවස්තු ය, ශීලමය පුණ්‍යක්‍රියාවස්තු ය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු යි.


    1. මහණෙනි, මෙ ලොව එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව මඳ කොට කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව මඳ කොට කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු (පිළිසඳ විසින්) මිනිසුන් අතර දුර්භාග්‍යයට පැමිණෙයි.


    2. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව පමණින් කරන වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව පමණින් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු පිළිසඳ විසින් මිනිසුන් අතර සෞභාග්‍යයට පැමිණෙයි.


    3. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර කොට කරනලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර කොට කරනලද වෙයි. භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු චතුර්මහාරාජික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සිවුමහරජවරු දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්ණයෙන්, දිව්‍ය වූ සුඛයෙන්, දිව්‍ය වූ යශසින්, දිව්‍ය වූ ආධිපත්‍යයෙන්, දිව්‍ය වූ රූපයෙන්, දිව්‍ය වු ශබ්දයෙන්, දිව්‍ය වූ ගන්ධයෙන්, දිව්‍ය වූ රසයෙන්, දිව්‍ය වූ පහසිනැයි, දස කරුණෙකින් චාතුර්මහාරාජික දෙවියන් මැඩගෙන සිටුනාහ.


    4. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර ව කරනලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර ව කරනලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු තාවතිංස දෙවියන් අතර සහභාවයට යෙයි. මහණෙනි, එහි ශක්‍රදේවේන්ද්‍ර‍ තෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට තාවතිංසදෙවියන් දිව්‍ය වූ ආයුෂයෙන් -පෙ- දිව්‍ය වූ පහසිනැයි දස කරුණෙකින් මැඩගෙන සිටුනේ ය.


    5. මහණෙනි, මෙලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු යාමදෙවියන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි, සුයාමදේවපුත්‍රතෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට ශීලමය පුණ්‍යක්‍රියා වස්තුව අතිරේක ව කොට දිව්‍ය වූ ආයුෂයෙන් ... දිව්‍ය වූ පහසිනැයි දසකරුණෙකින් යමාදෙවියන් මැඩගෙන සිටුනේ ය.


    6. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි, භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු තුසිතදෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සන්තුෂිත දේවපුත්‍ර‍තෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට දිව්‍ය වූ ආයුෂයෙන් ... දිව්‍ය වූ පහසිනැ යි දසකරුණෙකින් තුසිත දෙවියන් මැඩගෙන සිටුනේ ය.


    7. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු නිර්මාණරති දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සුනිර්මිත දේවපුත්‍ර‍ තෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට දිව්‍යවූ ආයුෂයෙන් ... දිව්‍ය වු පහසිනැයි දසකරුණෙකින් නිර්‍මාණරතී දෙවියන් මැඩගෙන සිටුනේ ය.


    8. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙවියන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි, වශවර්ති දේවපුත්‍ර‍ තෙම දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේකව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්ණයෙන්, දිව්‍ය වූ සුඛයෙන්, දිව්‍ය වූ යශසින්, දිව්‍ය වූ ආධිපත්‍යයෙන්, දිව්‍ය වූ රූපයෙන්, දිව්‍ය වූ ශබ්දයෙන්, දිව්‍ය වූ ගන්ධයෙන්, දිව්‍ය වූ රසයෙන්, දිව්‍ය වූ පහසිනැයි දස කරුණෙකින් පරනිර්මිතවශවර්තී දෙවියන් මැඩගෙන සිටුනේ ය.


    මහණෙනි, මේ තුන් පින්කිරියවත්හු වෙත්.










    පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය, අංගුත්තර නිකාය


    මහණෙනි, මේ සත්පුරුෂදාන අටෙකි. කවරඅටෙක යත්:

    පිරිසුදු දැය දෙයි. ප්‍ර‍ණීත දැය දෙයි. සුදුසු කල්හි දෙයි. කැපවූවක් දෙයි. පරීක්ෂාකොට දෙයි. නිරතුරු දෙයි. දෙනුයේ සිත පහන් කෙරෙයි. දී තුටුසිත් ඇතියේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂ දාන අටයි.


    1. මනා ක්ෂේත්‍ර‍ වූ බ්‍ර‍හ්මාචාරීන් කෙරෙහි පිවිතුරු වූ පිණී වූ සුදුසු කල්හි වූ කැප වූ පානභෝජන සඞ්ඛ්‍යාත දානය නිතර දෙන්නේ ය.


    2. බොහෝ ආමිස දී නො ද විපිළිසරවන්නේ ය. විදර්ශීහු (ප්‍රාඥයෝ) මෙසේ දෙනලද දන් වනත්.


    3. සැදැහැති ස්ථානෝත්පත්තික නුවණ ඇති පණ්ඩිත තෙමේ (මසුරුමලින්) මුත් සිතින් මෙසේ දන් දී නිදුක් සැප ඇති ලොවට පැමිණේ.


    සප්පුරිසදාන සූත්‍රය, අංගුත්තර නිකාය

    මේ කරුණු මුලින්ම දීම සම්බන්ධයෙන් වැදගත් වේවි.



    ත්‍යාගානුස්සතියට මූලිකව ප්‍රතිපත්තියක් විදියට දීලා ඉන්න එපැයි.