තාත්තාගෙන් උගත් පාඩම්
තාත්තා හරි අපූරු මනුස්සයෙකි. ඕනෑම ප්‍රබලයෙකු ඉදිරියේදී කොන්ද කෙලින් තබාගෙන නොබියව වැඩ කලයුතු ආකාරය මා උගත්තේ තාත්තාගෙනි. රටෙන් බහුතරයක් දෙනා බොහෝ අප්‍රසන්නව කතා බහ කරන රැකියාවක් වන පොලිස් සේවයේ නියැළි මගේ තාත්තා තනතුරෙන් ස්ථානාධිපති වරයෙකි. අයථා ලෙස නූල් පොටක දෙයක් ඔහු තම රාජකාරි බලයෙන් නොගත් බව මම හොදාකාරවම දනිමි. අවන්කවම සේවයේ නියැලී ඔහු කොතරම් දුක් ගැහැට, ප්‍රශ්න වලට මුහුණ දුන්නේදැයි මා දනිමි. නොසැලෙන පෞරුෂයක් හිමි ඔහු ඕනෑම දෙයකට අදටත් නොබියව මුහුණ දෙන අතර ඒ පෞරුෂය මා හටත් උරුම කිරීමට අසීමිත කැපකිරීම් කරන ලදී. උස් තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන නිවටයන් අතිශය පිළිකුල් කරන ඔහු මා තුල හෝ එවැනි ගති පැවැත්මක් දුටු විගස එය නිවැරදි කිරීමට පසුබට නොවීය.
3 වසරේදී එක්තරා චන්ඩියෙකුට බිය වී සිටින්නට මා ඇතුලු පන්තියේ සෙසු සිසු සිසුවියන්ට සිදු විය. ඔහුගේ අයියා 5 වසරේ වීම සහ අම්මා මෙම පාසලේම ගුරුවරියක වීම නිසා ඔහු නොබියව අණසක පතුරවාලීය. දිනපතා ඔහුගෙන් ගුටි කන මට පාසල එපා වීය. අයෙත් පාසල් යන්නට බැරි බව පවසමින් අඩමින් සිටි මා ඇකයට ගත් තාත්තා මා සිප සනසමින් මා හට අපූරු යෝජනාවක් ගෙන ආවේය. ඒ නම් පරම්පරාවෙන් ආ සටන් කලා ශාස්ත්‍රය මෙන්ම ඔහු මනාව ප්‍රගුණ කල අනෙකුත් සටන් කලාවන් මා හට උගන්නන බවයි. අම්මාගෙ වැඩි කැමත්තක් නොතිබුනත් ලොකු අකමැත්තකුත් නොතිබින. සටන් කලාව ඉගැන්වීමට පෙර ඔහු මගෙන් ලබාගත් එකම පොරොන්දුව වූයෙ කිසි කලෙක සටනක ආරම්භක පහර මා විසින් නොදෙන බවටත්, වැටෙන අඩපණ වන්නෙකුට පහර නොදෙනා බවටත්‍ය. මෙම සටන් කලාවන් ආත්මාරක්ෂක සටන් කලාවන් වන්නේ එලෙස බව ඔහු මට එදා පෙන්වාදුනි. ඉනික්බිතිව මාසයක් යන්නට මත්තෙන් චන්ඩියා තොල් පලාගෙන, අඩාගෙන ඔහුගේ මවසොයා දිවයනු දැකගත හැකි වූයේ එතරම් ඉක්මණින් මා සටන් ශාස්ත්‍රය ප්‍රගුණ කල නිසා නොව තාත්තාගෙ ගුරු හරුකම් වලින් මා සිතට ආ ප්‍රාණවත් බව නිසාය. එදින පන්තිභාර ගුරුතුමිය වේවැලක් ගෙන මා බිත්තිය පැත්තට හරවා පස්ස පැත්ත හම යනතුරු තැලුවාය. එනමුදු මාගෙ සිතේ හටගත් ප්‍රාණවත් බව හෝ සතුට බිදකුදු වෙනස් කරවීමට වේවැල් පහරවල් අසමත් වූව මෙන්ම මා කල හපන්කම මා විසින්ම තාත්ත ගෙදර එනතුරු නොඉවසිල්ලෙන් බලා සිට මුල සිට අගටම පැවසීමි. එදිනත් මා ආදරයෙන් සිප ගත් ඔහු මා නින්දට යන විට වේවැල් පාරවල් වලට වූ තුවාළවල බෙහෙත් පවා ගැල්වීය. එදින පටන් කිසිම දිනයක මා කිසිවෙකුටත් බිය වූයේ නැතුවා මෙන්ම නිකරුණේ හෝ කිසිවෙකුට පහර නොදීමට වග බලා ගත්තෙමි. සටන් කලාව ඉතා හොදින් ඉගන ගත්තා මෙන්ම පාසලේ 7, 8 වසර වනවිට ගිනිඅවියක් ක්‍රියා කරන ආකාරය , නීතිය, විදුලි කාර්මික ශිල්පය, යන්ත්‍රෝපකරණ ආදී බොහො දේ තත්තාගෙන් උගත්තෙමි. 5 වසර ශිෂ්‍යත්වය සමත්ව කොළඹ පාසලකට ඇතුලු වීම සිට උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවේ මුල් 10 අතර ස්ථානයක් ලබා ගැනීම දක්වා මා තත්තාගෙන් උගත් දේ බොහෝය. පොලිසිය සතු කිසිම වාහනයක් එකම එක දිනක් හෝ මාව පාසැලට, පන්තියකට ඇරලවීමට තාත්තා යොදා ගත්තේ නැත. පොලිස් මෝටර්සයිකල මා පැද ඇති නමුත් කිසිම දිනක පාරේ යාමට තාත්තා ඉඩ දුන්නේම නැත. මා තුල ඇති අසීමිත ආශාව තේරුම් ගත් තාත්තා එම මෝටර්සයිකලය වට කිහිපයක් ගෙමිදුලේ පැදීමට පමණක් ඉඩ දුනි.
මා උසස් පෙළ කරන සමයේ තාත්තා සිටියේ කොළඹ්න් පිටත ප්‍රදේශයකය. උසස් පෙළ අවසන් කර ප්‍රතිපල නිකුත් වනතුරු අම්මාත් මමත් තාත්තා සිටි නිල නිවාසයට ගියෙමු. ඒ අවට අසල්වැසියන් කිහිප දෙනෙකුම ඒ වනවිටත් අප හොදින් දැන අදුරන්නේ අවස්තා කිහිපයකදිම මාත් අම්මාත් මීට පෙර එහි ගොස් තිබූ නිසාවෙනි.
මෙම අසල්වැසි නිවසක වෙසෙන, මට වඩා වසරක් වයසින් බාල සුරේන් නිසා මම ජීවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තෙමි. සුරේන් හා පලමු කතාබහෙන්ම ඔහුගේ දුර්වලකමක් මා හදුනාගත්තෙමි. එනම් ඔහුගෙ කතාබහ විලාශය කාන්තාවට සමාන වීමයි. එම පලාතේ මා හට තවත් යහලුවන් කිහිප දෙනකුම සිටි අතර සුරේන් සැමවිටම මා ඔවුන් හා කතා බහ කිරීමට පවා විරුද්ද විය. එයට හේතුවක් මා නොදන්නා නමුදු මා කිසිදු පැකිලීමකින් තොරව සියලු දෙනාම හොදින් ආශ්‍රය කල අතර අවස්ථා කිහිපයකදීම සුරෙන් විසින් විවිද කේලාම් අම්මාට මෙන්ම තාත්තාටද කියා ඇති නමුත් මා හෝ මාගේ දෙමාපියන් විසින් ඒවා සැලකිල්ලකට ලක් නොවුනි. නමුත් මේ හේතුවෙන් සුරෙන් කෙරෙහි යම් තරහක් මගේ සිතේ පැන නොනැග්ගා නොවේ. එක් දිනයකදී සුරේන්, මම හා අනිත් මිතුරන් කිහිපදෙනෙක් අතර කතාබහක් දුර දිග යාමෙන් මම සුරේන්ට පහර දුනිමි . පොඩි එකෙකු මෙන් අඩාගෙන දිවගිය සුරෙන්ව දකින ඕනෑම කෙනෙක්ට සිනහ එනු නොඅනුමානය. එය එතරම් ලොකු සිද්ධියක් නොවුන නිසා අපි ඒ පිළිබඳව තැකීමක් කලේ නැති අතර පැය කිහිපයකට පසු තාත්තාගෙන් ලැබුනු ඇමතුමක් නිසා මම යහලුවන්ගෙන් වෙන්වී ගෙදර පැමිනියෙමි. කිසිම දිනයකදී කොට කලිසමක්, යාන්තමට හෝ නොගැලපෙන ඇදුමක් ඇදන් පොලිසියට ගියොත් වෙන කාට නැතත් මට තාත්තාගෙන් බැනුම් අහගන්නට වන බව අත්දැකීමෙන් දන්නා මම ඉක්මනට මූනකට හෝදා ඩෙනිමක් හා ටී ශර්ට් එකක් ඇද සපත්තු දෙකකුත් හනිකට දමාගෙන තාත්තා මුන ගැසීමට පොලිසියට ගියෙමි. එහිදී මා දුටු තාත්තා මට කතා කොට පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු සමග යන ලෙස දන්වන ලදී. කිසියම් වැදගත් වැඩකට මාගෙන් උපකාරයක් අවශ්‍ය වී ඇතැයි සිතූ මා ඔවුන් සමග තාත්තාගේ කාමරයෙන් පිටතට පැමිනියෙමි. ඉන් පසුව ඔවුන් මා කැටුව ගබඩා කාමර දෙසට යන ලදී. එහිදී පාද 3ක් සහිත රවුම් කුඩා ආසනයක් මට වාඩිවීමට ලබා දුන් අතර අප විසින් කල යුත්තේ කුමක්ද යන්න මම ඔවුන්ගෙන් ඇසුවෙමි. ඊට නිසි පිලිතුරක් නොලැබුනු අතර එක් අයෙක් ලණු පොටකින් මාගේ පාදයක් මා වාවිවී සිටින ස්ටූලයෙ ගැටගසන්නට සැරසුනි. මම වහාම එතනින් යෑමට සැරසුනෙමි. ඉනික්බිතිව අනිත් නිළධාරීන් වහාම පැන මා බදා ගන්නා ලදී. මම ඔවුන් හා හැකි උපරිමයෙන් පොර බැදූ නමුදු අවසාන ප්‍රතිපලය වූයෙ විනාඩි පහලොවකින් පමණ මා සෙලවීමටවත් නොහැකි වන සේ පෙර කී කුඩා ආසනයේ ගැට ගැසීමයි. දෑත් පිටුපසට කොට තදින් ගැට ගැසූ ඔවුන් මාගේ පාද සපත්තුව ලගින්, දණහිස් ලගින් ස්ටූලයේ පාද වලටද කලවා ලගින් ඉතා තදට මාව කුඩා ස්ටූලය මත තබා ගැට ගසන ලදී. ඉන්පසු රෙදි කඩකින් දෑස ගැටගැසූ ඔවුන් මාගේ කෑගැසීම නවතිනුවස් කටට රෙදි ඔබා ගැටගසන ලදී. ඉන්පසුව ස්ටූලය පිටින් මාව ඔසවාගත් ඔවුන් යම් ස්ථානයකට ගොස් බිම තබා ස්ටූලය පෙරලෙනු වලක්වනු වස් එය බිම තිබූ යමකට තබා ගැටගසන බව ඔවුන්ගේ කතාබස් වලින් මට වැටහුණි.
සිදුවූයෙ කුමක්ද යන්න මට සිතාගන්නටවත් නොහැකි විය. දැඩි ආයාසයක් ගෙන දෑත, දෙපා මුදවා ගන්නට උත්සාහ කලෙමි. ලණු පොටක් හෝ එහා මෙහා කර ගැනීමට මට නොහැකි වූවා මෙන්ම කෙටි වෙලාවකින්ම ඉතා දරුණු වේදනාවෙන් දැනෙන්නට විය. ලණුපොටවලට හිරවුනු දෑත්, දෙපා මෙන්ම ඉතා දැඩිව ස්ටූලයට ගැට ගසා ඇති නිසාවෙන් ඒකාකාරී ඉරියව්වෙන් වාඩිවී සිටින පස්සා පැත්තෙන්ද අසීමිත වේදනාවක් දැනෙන්නට විය. නොදැනුවත්ව දෑසට කඳුළු පැමිණි අතර ටික වේලාවකින් කරකියාගත දෙයක් නොමැතිව මට ඇඬුණි. කිහිපදෙනෙකුගෙ පා ගැටෙන හඩක් ඇසුනු නිසා ඇඬුම නවත්වා, කට ගැටගසා තිබුනද යම් ශබ්දයකින් හඩක් නගා උදව්වක් ගැනීමට වෙර දැරුවෙමි. මම සාර්ථක බව හගවමින් ඔවුන් මා වෙතට පැමිණියෝය. දෑස් බැදි රෙදිකඩ හා කටට ඔබනු ලැබූ රෙදි පාන්කඩ ඉවත්වූ අතර මා ඉදිරිපිට සිටියේ මාගේ තාත්තාය. තවත් අමුත්තෙකු පසෙකින් සිටි අතර මට එකිනෙහිම දවාලේ වූ සිද්ධිය මතක් විය. කට කොනකින් සිනාවෙමින් සිටි අමුත්තා කවුරුවත් නොව සුරේන්‍ය. මට එකිනෙහිම ඌ මරා දැමීමට සිත් විය. දැන් සියල්ල පැහැදිලි අතර මා මේ දඬුවමට පත්ව සිටින්නේ අර අපතයා දවාලේ වූ සිදුවීම එක දෙක කර තාත්තාට පැවසීම නිසාය. සුරේන්ව එතනින් ඉවතට යැවූ තාත්තා මා හා කතා කරන්නට පටන් ගත්තේය. මාව ලිහන ලෙස කෙඳිරිගෑවත් තාත්තා එය ගනන් ගත්තේවත් නැත. හැමදාම වැදගත් දෙයක් මා හා කතාකරන තාත්තා පුරුද්දක් වශගෙන් මා හිස අතගා සිබිනු ලබයි. එදිනත් පුරුදු පරිදිම තාත්තා මුලින්ම කලේ ගැට ගැසා සිටින මා හිස අතගා ඉබීමයි. ඉන්පසු සාක්කුවට අතා දා ඉතා පරණ කුඩා දිනපොතක් එළියට ගන්නා ලදුව එය පෙරලා පරණ සටහනක් පෙන්වන ලදී. එහි වූයෙ “මගෙ පුංචි කුමාරයා මට ලොකු පොරොන්දුවක් දුන්නා, මම මගෙ ජීවිතේටත් වඩා ඒක විස්වාස කරනවා” යන්නයි. මගෙන් එය විමසූ විට මතකයට නොආ නිසා ඔහු එය මතක් කරන ලදී. එනම් 3 වසරෙදි මට සටන් කලාව ඉගැන්වීමට පෙර මාගෙන් ගත් පොරොන්දුවයි. මට එවෙලේම මැරෙන්නට සිත් විය. පපුව පැලී යනනාක් මෙන් විය. පොඩි එකෙකු මෙන් මම ඉකි ගසා අඩන්නට වීමි. තාත්තා මා තුරුල් කරන් කීවේ “කමක් නෑ පුතේ, මම තරහ නෑ. ඔයා අද වෙනකන් පොරොන්දුව කැඩුවෙ නෑ. ඒකත් කොච්චර ලොකු දෙයක්ද? අද මට ආයේ පොරොන්දු වෙලා කවදාවත් එක කඩන්නෙ නැතුව ඉන්න. කරපු වරදට අපූරු දඩුවමක් මම දීල තියෙනවනෙ” යනුවෙනි. මම අඩමින්ම නැවත තාත්තාට පොරොන්දූ වීමි. මට තාත්තා කෙරෙහි මෙන්ම සුරේන් කෙරෙහි පැමිණ තරහා සම්පූර්නයෙන්ම අමතක වූවා මෙන්ම මානය පසෙකලා සුරේන්ගෙන් සමාව ගැනීමටද එකග වීමි.
ඉන්පසුව තාත්තා එතනිනි ඉවත්ව ගිය අතර සුරේන් පැමිණියේය. ලණු වලට තෙරපුණු අත් පා වලින් මෙන්ම හෙලවීමටවත් නොහැකිව එකම ඉරියව්වෙන් වාඩි වී සිටීම නිස පිටුපස්සෙන් නැගෙන වේදනාවන් තවත් ඉවසිය නොහැකි තැන මම සුරේන්ගෙන් සමාව ගත්තෙමි. මා බැමි වලින් නිදහස් කරන මෙන් ඉල්ලුවෙමි. දුබලයෙකුට පහර දුන් වරදට අන්තිමට මට සිදුවූයේ ඒ දුබලයාටම පින්සෙන්ඩු වී අත් පා ලෙහා ගැනීමටය.
සුරේන් මා ලිහා නිදහස් කරන ලදී. තාත්තාගේ කාමරයට ගොස් තාත්තාට වැද සමාව ගත් මම සුරේන් සමගම ගෙදර ගියේ කිසි කලෙක ඒ වරද නොකරන බව සිතට ගනිමිනි.
තාත්තලා කවුරුත් දරුවන්ට අසීමිතව ආදරය කරයි. මෙය යම් අයෙකු කියවනු ලැබූ විට මාගේ තාත්තාට චරිත සහතික දෙනූයේ මහ නපුරු තාත්තා කෙනෙකු ලෙසයි. සැබවින්ම තාත්තලා නපුරු නැත. ඔවුන් අසීමිත දරු සෙනෙහස නිසා නොකරන දෙයක් නැත. එදින රාත්‍රියේ තාත්තා අම්මා සමග මෙ ගැන කතා කරනු මට ඇසුණි. “පුතාට ගොඩක් රිදුනද දන්නෙ නෑ, මම පුතාට සැර උනා වැඩිද මන්දා” ආදී වශයෙන් පසුතැවිලි වනු මට ඇසුනු අතර කිහිප සැරයක් කඳුළු පිසදමනු හොරෙන් දුටිමි. වයස අවුරුදු 8 දී මම දුන් වචනය තාත්තා කොච්චර විස්වාස කර තිබේද? එය ලියූ සටහන සැමවිටම ලග තබා ගන්නට තරම් ඔහුට එය කොතරම් වටින්නේද? පොලිස් ස්ථානාධිපති කෙනෙක්ට සාක්කුවේ නිතර ලග තබා ගැනීමට කොතරම් දේ ඇත්ද?
තරුණ වියට පැමිණීමත් සමගම විශේෂයෙන්ම පිරිමි දරුවන් තාත්තලා සමග විරසක වෙති. තාත්තලා දන්න බම්බුවක් නෑ යැයි සිතති. තාත්තලාගේ තාත්තලා වෙන්නට සිතති. පොඩි පොඩි දේවල් නිසා ආරවුල් පවා ඇතිකර ගනිති. තාත්තලාගෙ දරු සෙනෙහස ලෙහෙසියෙන් දරුවෙකුට දැක බලා ගැනීමට නොහැකි වන්නේ තාත්තලා දරුවන්ට පෙන්වන්නේ තම අසීමිත සෙනෙහසින් සීමිත කොටසක් පමණි.
මා මෙය තාත්තාට පෙන්නුවෙමි. පුරුදු පරිදි මා හිස අතගා සිබ පැවසූයේ “පුතා මාත් එක්ක යන්තමටවත් තරහක් නැත්නම් මට ඒ ඇති” යනුවෙනි. “නෑ තාත්තේ නෑ. කවදාවත් නෑ.!!” මම මගේ තාත්තාව බදා ගත්තෙමි.
Pattai macho.
Sahena dewal iganagaththa.