6
සුදු හාමිනේ ලොකු මැනිකෙ අනෙක් අහ ඉන්නෙ එහෙට යමුද”
පොඩිනා පැමිණීම නිසා ඇස් පැටලුම ලිහී ගියෙය.
“අ..හා හා “
“අම්මා ඉන්නව එහා පැත්තෙ අපි ඒ පැත්තට යන්නද”
එපා කියන්නට උවමනා උනත් අරින්ද නිහඬව හිස සැලුවේය.
“එක්කො අරින්ද ත් එන්න පන්සල බලන්න ගයිඩ් කෙනෙක් ඕනෙ කිව්වා නේද”
ඉබ්බා දියට දාන්නෑහැ ඇන්නෑවෙ කියා අරින්ද නැගිට ආවේය.
පොඩිනා තව වරක් හැරී බැලුවේ නාඳුනන තරුණයා දිහාය.ඉස්සර වගේ නොව දැන් ගැහැණු ළමයකු රැක බලා ගැනීම අසීරුය.අද කාන්තාව අනතුරු වලට භාජනය වීමේ අවදානම වැඩිය.පොඩිනා කෝකටත් සුදු හාමිනේ අසලින්ම රැඳුනාය.
සෙනග අතරින් තාරුකා අම්මා වාඩි වී සිටි ස්තානයට ළඟා වුණේ අසීරුවෙනි.සුදු හාමිනේ සමඟ තමා වෙත එන තරුණයා කවුදැයි ඈ එකවරම සිතුවාය.තාරුකා කෙදිනක වත් පෙම්වතකු ගැන කියා නැත ඈට එතරම් පිරිමි යහලුවන් සිටියේද නැත.ඇගේ අනාගතය ගැන සැමවිටම පසුවූයේ බියකිනි..ඈ බලා කියා ගන්නට හොඳ ස්වාමියෙකු සිටී නම් නිදහසේ මියෙන්නට වුව පුලුවන .
“අම්මා හොයාගන්න තියෙන අමාරුවක් “
“අද හොඳටම සෙනග පන්ස්ලේ”
“මම හිටි හන්ද හොඳට ගියා”
පොඩිනා ද කතාවට හවුල් වුණාය.
අරින්ද පසුපසින් සිටගන සිටියේ කතාවට බාද නොවන ලෙසය.බෝ මලුව වටා ඇති පහන් කණු නිසා අවට ඒකාලෝක වී ඇත.අම්මා අසල සිටින තාරුකා ගේ දෑස් පහන් එලියෙන් දිලිසෙනු අරින්ද බලාසිටියේ අරමුණකින් තොරවය .ඒ ඇස් ලස්සනට පෙනෙන්නේ යැයි ඔහු සිතුවේය.
“අම්මා මේ ඉන්නෙ අරින්ද මගෙ යාලුවෙක් මේ ළඟ ඉන්නෙ අපේ පන්සල බලන්න ඇවිත්”
අම්මාගේ මුහුණේ ප්‍රශ්නාර්ථ ය දුටු තාරුකා කීවේ අරින්ද දක්වමිනි.
“කොහොමද පුතා?”
ගැහැණු කෙනෙක් තමාට පුතා කියා ඇමතුවේ කලකට පසුවය.හිතේ අම්මාගේ රුව ඇඳී මැකී ගියේ ය.අරින්ද මදක් නිරුත්තර උනේ ඒ හැඟීම නිසාවෙනි .
“හොඳයි අම්මා..පන්සලට ආව අහම්බෙන් තාරුකා ව දැක්කෙ”
“පුතා අපේ දුවගෙ කැම්පස් එකේ යාලුවෙක් ද?”
“නෑ නෑ අපේ ඉස්කෝලෙ ටීච කෙනෙක්ගෙ යාලුවෙක් අම්මා එයා නිසා තමා අඳුනන්නෙ “
අම්මා එය පිළිගන්නා බවක් නැතත් බස් එකේදි හමුවූ යාලුවෙක් කියන්නට ඈට සිතුනේ නැත.
“ආ එහෙම ද?”
කියා අම්මා අරින්ද හා සිනාසුනාය .ඒත් ඒ ඇස් වල ප්‍රශ්න ගොඩක් නලියන වග අරින්ද තේරුම් ගත්තේ ය.
වන්දනා මාන කටයුතු කරන තෙක් අරින්ද පසෙකට වී සිටියේය.පන්සල් එන්නට හිතක් තිබුණේ නැත.පන්සලේ ඇති පුස්කොල පොත් ගැන මතකයට ආවේ අහම්බෙනි ජනාකීර්ණ නිසා පන්සලේ වටපිටාව ගැන හොඳ අවබෝධයක් ලබන්නට අද හොඳම දවසක් බව අරින්ද සිතුවේය.අරින්ද ගේ සැලසුමේ කොටසක් ලෙසින්ම පන්සලට සමීප වීම ට පිඹුරුපත් ඇඳ තිබිණි.තාරුකා මුණ ගැහුණේ අහම්බෙන් වුවත් එය හොඳ ටම සිදුවූවකි.
තාරුකා අත් වාරුවෙන් ඇවිද එන හැටි අරින්ද දුර සිට බලා උන්නේය.උසැති සුදු සායට වැසී ඇති වම් කකුල පෙනෙන්නේ නැත.වත පිපී ඇති සිනාමුව බලන්නට හැඩය.නිධානය ගන්නට තුන්කුලුඳුල් යුවතියගේ ලේ වලින් ජීවම් කල පුඳ පඬුරු දිය යුතු බව කීවේ සුරවීරයි.වලව්වේ අබ්බගාත තරුණිය රවටා ගත යුතු බවත් ඈ හරහා නිධානයට මග සොයා ගතයුතු බවත් සැලසුම් කලෙ තමායි.වලව්වේ අබ්බගාත දියණිය මේ තරම් සොඳුරු යුවතියකැයි දැන උන්නේ නැත.හැම විටම කැකුලු තරුණියන් සොයන සුරවීරට ඈ මගහැරී ගියේ හොඳටය.
පොඩිනා එහෙට මෙහෙට වනතුරු සිටියේ ඈ හා දොඩමලු වන්නට ආසාවෙනි .
“මගෙ යාලුවෙක් ඉස්කෝලෙ ඉන්නවයි කියල බොරු කීවේ මොකෝ සුදු හාමිනේ”
“ආනේ ඒකත් අල්ලගෙන..බොරු නෙවේ අර ඉන්නෙ යාලුවෙක් “
“කවුද නන්දිතා ද..හපොයි?”
“මොකද අනේ එයා එක්ක තරහ ඔච්චර “
“තරහක් නෑ බයයි”
ඔවුන් සෙමෙන් බෝ මලුවෙන් ඉවත්ව විහාරය දෙසට ඇදුනාහ.සෙනග අතරින් ඉදිරියට යාම අපහසු නිසා තාරුකා තනාදුන් මල්වට්ටිය අරින්ද බුදු සමිදුන් ට පුදා ආවේය.දන්නා කාලයක පන්සලකට විත් මලක් පහනක් පුදා නැති තමන් මේ කරන්නේ මොනවදැයි කියා ඔහුට සිතුනේ ය.මල් පුදා එනවිට දෑස් වසාගෙන වන්දනාවේ යෙදෙන තාරුකා දුටු විට හිත ට දැනුනේ පිංසාර හැඟුමකි.පහන් දල්වනටත් උදව් කලේ අනාරාදිතවය .පොඩිනා පවා පෙර දැක්වූ විරෝධය අඩුකොට ඔවුන් හා පිංකම් වලට සහබාගී වුණාය.
“අරින්ද මොකද කරන්නෙ දැන්ම යනවද?”
“ඔව් ඉතිං සංචාරකය ගයිඩ් කියන විදියට එපැයි ඉන්න”
“ඔව් ඔව් එහෙනම් යමු අපිත් එක්ක මම ලොකු හාමුදුරුවන් ට අඳුන්වල දෙන්නම් ඔයාගෙ රිසර්ච් වැඩ වලට උදව්වක් ගන්න”
“ඒක හොඳයි “
ආවාසගෙයි මිදුලට වී ලොකු හාමුදුරුවෝ පිරිසක් සමග සාඛච්ඡා වක යෙදී ඉන්න අයුරු.ඔවුන් දුර සිටම දුටුහ.තාරුකා ගේ සිතට චකිතයක් කාන්දු වූයේ හාමුදුරුවෝ මොනවා හෝ සිතාවිදැයි කියා ය.අරින්ද ට පොරොන්දු වූ නිසා ඒ හමුව මගහැර යන්නටත් නොහැක.දෙදෙනාම එක්ව ලොකු හාමුදුරුවගේ දෙපා නැමද සිටියේ තාරුකා දුටු විට උන්වහන්සේ පිරිසෙන් මිදී පෙරට වැඩියායින් පසුවය .
“කොහොමද දුව..අම්මා නම් පේවස් සමාදන් වෙලා ඉන්නව දැක්කා”
“හොඳින් ඉන්නව අපේ හාමුදුරුවනේ..”
“මේ දරුව කවුද?”
ලොකු හාමුදුරුවෝ අසන්නේ අරින්ද දක්වමිනි.
“මේ මගෙ යාලුවෙක් අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේ මුණ ගස්සන්න තමා එක්ක ආවේ”
“ඒ මොකෝ අර මහන දම් පුරන්න වත් හිතිලද”
“නැහැ හාමුදුරුවනේ මම කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක පොඩි සමීක්ෂණයක් ..සිහල ලේඛන කලාව ගැන..තාරුකා තමයි කීවෙ ඔබවහන්සේ මුණ ගැහෙන්න කීවෙ.”
“මේ නැති වෙලා යන උරුමය ගැන තරුණ පරපුර උනන්දු වෙන එක වැදගත් ..මොනාද අපේ පැත්තෙන් කෙරෙන්නඕන"