දයානන්ද නම ඉන්නේ දොඩන්ගොඩ
කැමරාමන් කෙනෙකි එළකිරි වගේ වැඩ
නැහැ උස මහත අඩු තරමින් ඇගේ හැඩ
එනමුත් හොදයි හිත යුක්තියටමයි වැඩ
..........................................
පසුගිය දිනක මංගල නැකතක් තිබුණා
කැමරාමන් ලෙසින් ගිවිසුමකට බැදුණා
නියමිත වෙලාවට නිවසින් පිටත් වුනා
අලුයම් කාලයේ මහපාරට වැටුනා
.........................................
ගෙදරින් පිටත් වෙද්දී සිරිමතී නිදී
උන්දෑ අවදි කරවන එක සිතට මදී
එනමුදු පුරුදු බෙඩ්-ටී එක බඩට නොදී
යනු බැහැ ගමන බඩ පණුවෝ සටන් වදී
..........................................
තිබුණත් වසා ඒ වනතුරු කඩපේළී
පොඩි ලඩ කෑල්ලක ඇරලා දොර පේළී
හනිකට ගිහින් බැලුවම කට දිව වේලී
පොළවේ දපා බුදියනවා මුදලාලී
..........................................
බහිරවයා වගේ පෙනුමැති කිලුටු දරා
හෝටල් ගෝලයා ඇත කබ කදුලු දරා
ගැඩි මොර්නින් කියා මුවගට සිනහ පුරා
ඕඩර් කලා ටී එක මේ පොටෝ ගුරා
...........................................
ගෙදරින් එද්දී විට කෑවේ පුරුද්දට
ඒ හින්දා සෝදා ගතයුතුය කට
පාවිච්චියට ගන්නා තේ හදන විට
පිත්තල ජොග්ගුව තිබුණා ඉදිරිපිට
..........................................
මද අදුරෙම සුරතින් ජෝගුව ගත්තා
ගත් කල අතට දිය ඇති බව දැනගත්තා
එතනම ඉදන් කට උඩ බලියාගත්තා
ජොග්ගුවේ වතුර එක හුස්මට දාගත්තා
..........................................
වතුරත් එක්ක තව දේකුත් රැදුණි කටේ
කටට වැටුනු දත් කූට්ටම බිමට වැටේ
දයනන්ද දුව පනිමින් හතර වටේ
වමනේ දමන්නට වූවා හැටට හැටේ
..........................................
පැදුරේ නිදා සිටි මුදලාලිත් නැගිට
කුණුහරුපයක් කිව්වා මතු වූ කටට
ජොග්ගුවේ තිබූ දත් කූට්ටම බිමට
දමලා පාගලා කුඩු කෙරුවේ කුමට
..........................................
වමනය කරන මිනිසා දෙස බලාගෙන
බැන්නත් මුදලාලි ලොඹුකට අයාගෙන
ඉන්නට බැරි තැන ඉවසා දරාගෙන
වේටර් හිනාවෙනවා බඩ බදාගෙන
..........................................
දත් ටික නොමැත මුදලාලිට බත් කන්ට
කැමරාමන්ට බැරි විය මගුලට යන්ට
සිදුවුණු අලාබය බැරිතැන ඉවසන්ට
ගැහුවා මුදලාලි වේටරයගෙ කනට