Oya Arya kiyalada Dan kiyanne???
නිවනට-සුගතියට බාධා කරන ආර්ය උපවාදය
ආර්ය උපවාද යනු අනන්තරිය පාප කර්මයට පමණක් දෙවැනි වන මහා අකුසල කර්මයක්.
ක්ෂණිකව ඇතිවන අකුසල් සහගත චේතනාවක් නිසා මහා අකුසල කර්මයක් වන හැටි මෙයින් පැහැදිලි වනවා. මේ නිසා කෙනකුට නිර්වාණ මාර්ගය මුළුමනින්ම අවහිර වනවා. සැබවින්ම ආර්ය උපවාදය වර්තමාන සමාජයේ ඕනෑ තරම් සිදුකර ගන්නවා.
උඩඟුකමින් ඔද වැඩී මානයෙන් මත්වෙලා කටයුතු කිරීමෙන් දෙලොව දියුණුව වනසා ගන්නා පුද්ගලයන් එදා අද මේ සෑම සමාජයකම ජීවත් වූ බව පෙනෙනවා.
වර්තමාන සමාජයේ වැරැදි හැසිරීම් නිසා කොපමණ අකුසල කර්ම සිදුකර ගන්නවාද?.
ඒ අනුව සිතුවිලි නිසා කරගන්නා අකුසල මොන තරම් බරපතල ලෙස පුද්ගලයන් පිරිහීමට පත් කරනවා ඇත්ද?
බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම තමයි ආරිය උපාවාදයේ ඉහළින්ම තිබෙන කාරණය. දෙවැනි කාරණය ධර්මයට අපහාස කිරීම, තුන්වැන්න මහා සංඝ රත්නයට අපහාස කිරීම.
බොහෝ විට සමාජයේ ගැවසෙන තරුණ පිරිස් අන්‍යන්ගේ අවධානය තමන් දෙසට යොමු කරවා ගැනීමෙන් කිසියම් උද්දාමයක්, සතුටක් ලැබීමට අලුත් සමාජ දර්ශන හදන්න වැයම් කරනවා.
තමාගේ මතය සමාජ ගත කිරීමට ත්‍රිවිධ රත්නයට අවමන් වන ආකාරයට කටයුතු කොට අනිවාර්යයෙන් අපාගත වන අකුසල කර්ම ද සිදු කර ගන්නා බව කිව යුතුයි.
ලොව්තුරු බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්ත්වයාට දුකින් නිදහස් වීමට ඉතා පැහැදිලි පිරිසුදු මාර්ගය පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.
බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන ලද අවස්ථා එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේද සිදුවුණා.
කේවට්ට පුත්‍ර සාති නමැති භික්ෂුව කිව්වා විඤ්ඤාණය භවයෙන් භවයට ගමන් කරනවා කියා. ඒක මහා මිත්‍යා දෘෂ්ටියක්.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන ලද්දේය..
“මහණෙනි‚ යමි යමි ප්‍රත්‍යයක් නිසා විඥනය උපදීද‚ ඒ ඒප්රත්යයාගේ නාමයෙන්ම ඒ විඤඤණය ව්‍යවහාරයට යයි. ඇස නිසාද‚ රූප නිසාද‚ විඤඤණයක් උපදී. එය .චක්ඛු විඤඤණය.යි ව්‍යවහාරයට යයි. ශ්‍රොතය (කණ) නිසාද‚ ශබද නිසාද විඤඤණයක් උපදී. එය ශ්‍රොත විඤඤණයයි ව්‍යවහාරයට යයි. ඝ්‍රාණය (නැහැය) නිසාද‚ ගඳ නිසාද‚ විඤඤණයක් උපදී. එය ඝාණවිඤඤණයයි ව්‍යවහාරයට යයි. දිව නිසාද‚ රස නිසාද‚ විඤඤණයක් උපදී. එය ජිවිහා විඤඤණයයි ව්‍යවහාරයටයයි. කය නිසාද ස්පර්ශ නිසාද විඤඤණයක් උපදී. එය කායවිඤඤණයයි ව්‍යවහාරයට යයි. මනස (හිත) නිසාද ධර්මනිසාද විඤඤණයක් උපදී. එය මනොවිඤඤණයයි ව්‍යවහාරයට යයි.
,මහණෙනි‚ යමි යමි ප්‍රත්‍යයක් නිසා යමිසේ ගිනන ඇවිලේද‚ ඒ ඒ දෙයෙහි නමින්ම ඒ ගින්න ව්‍යවහාරයට යයි. කාෂටය (දර) නිසා ගින්න ඇවිලේද‚ එය කාෂට ගින්නයයි ව්‍යවහාරයට යයි. සකලික (ගස් පතුරු) නිසා ගිනන ඇවිලේද‚එය සකලික ගින්නයයි ව්‍යවහාරයට යයි. තෘණ (වියලි තණ කොල) නිසා ගින්න ඇවිලේද‚ එය තෘණ ගින්නයයි ව්‍යවහාරයට යයි. ගොමවැරටි නිසා ගින්න ඇවිලේද‚ එය ගොම වැරටි ගින්නයයි ව්‍යවහාරයට යයි. ථුස (දහයියා) නිසා ගින්න ඇවිලේද‚ එය ථුස ගින්නයයි ව්‍යවහාරයට යයි. සංකාර (කුණු රොඩු) නිසා ගින්න ඇවිලේද‚ එය සංකාර ගින්නයයි ව්‍යවහාරයට යයි.
මහණෙනි‚ එපරිද්දෙනම යමි යමි ප්‍රත්‍යයක් නිසා විඤඤණය උපදීද‚ ඒ ඒ ප්‍රත්‍යයයන්ගේ නාමයෙන්ම ඒ ඒ විඤඤණය ව්‍යවහාරයට යයි.”
(ත්‍රිපිටක පොත් වහන්සේ/සූත්‍ර පිටකය/මජ්ක්ධීම නිකාය/මහා තණ්හා සංඛය සුත්‍රය වැඩිදුරටත් කියවනු මැනවි)
කෙතරම් අවවාද කළත් මේ භික්ෂූව නිවැරැදි මඟට අවතීර්ණ වූයේ නෑ. තව තමන්ගේම මතවල ජීවත් වුණා.
අද වර්තමානයේ බුදුන් උපන්නේ ලංකාවේ කියමින් සිදුකරගන් ලබන ආර්ය උපවාද සුළු කොට තැකිය නොහැක.
පසුගිය කාල වකවානුවේ ඇසුන නළුනිලියන්ගේ,දේශ පාලකයන්ගේ හඩපට ආර්ය උපවාදයන්ට මනාව සාක්ෂි සපයනවා.
බුදු හිමියන්ට අපහාස කිරීම, ග්රන්ථ කර්තෘවරුන් වැනි අය විසින්, මෙරට බොහෝ පිරිසක් අතරට පැමිණීමට කථා කිරීමට අවස්ථාව ඇති උගතුන් යයි සම්මත පිරිස් විසින්,
ශිෂ්‍යයන් සමූහයකට අමතන ගුරුවරුන් විසින් බොහෝම සරල කාරණයක් ලෙස සලකා ආර්යයන්ට ගැරහිම් කරන අවස්ථා තිබෙනවා.
මෙලෙස අපහාස කිරීම ව්‍යාපාරයක් ලෙසට කැරගෙන යනවා.
මෙබඳු එක් කතුවරයෙක් කලකට පෙර මෙරට ජීවත් වුණා. ඔහුගේ මරණය අවසිහියෙන් යුතු ඉතා කටුක ශෝචනීය සිදුවීමක් වූයේ බුදුරජාණන් වහන්සේට කළ උපහාසයට මෙලොවදීම පල විපාක දීමක් වශයෙනුයි.
ඊළඟ කාරණේ තමයි ධර්මයට අපහාස කිරීම
මෑත ඉතිහාසයෙන් උදාහරණයක් ගෙනහැර දක්වතොත් කලකට ඉහත මෙරට පැතිර ගිය අන්තරාභව වාදය පෙන්වා දෙන්නට පුළුවන්.
මෙරට සිටි එක්තරා උගත්, ව්‍යක්ත රට පිළිගත් භික්ෂුවක් අන්තරා භවයක් ඇති බව කතා කරන්නට පටන් ගත්තා. මෙහිදී කියැවුණේ කෙනෙක් මැරුණම නැවත ඉපදීම අතර තවත් භවයක් තිබෙන බවයි. ඒ අන්තරාභව කාලයේදී මළවුන් හමු වී කතාබස් කිරීම් ආදිය කරන බවට මෙහිදී මත පළ කළා. මෙය බුදුදහමට පටහැනි අමූලික මිථ්‍යා දෘෂ්ඨියක්.
මේ වාදය නිසා බෙහෝ දෙනෙකු මෙකී මිථ්‍යා දෘෂ්ටිය වැළඳ ගත්තා.
අප මතක තබා ගත යුතුයි අන්තරා භවයක් කියා දෙයක් මේ ලෝකයේ නෑ. මොකද මැරුණ ගමන් මේ විඤ්ඤාණය ශරීරයෙන් ඉවත්වනවා. එසේ ඉවත් වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය එක්කයි. ඒ විඤ්ඤාණය ඉවත් වෙලා කර්මානුරූපව අදාළ ප්රතිසංදියක බැස ගන්නවා.
පසුගිය කාල වකවානුවේ පාලි වචන සංදි විසංධි කරම්න් වචනවල අර්ථ වෙනස් කරමින් බන කියාන ගියා.
එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියක් අනෙක් පැත්තෙන් ධර්මයට කරන අපහාසයක්. මේකත් මහා බරපතල ආර්ය උපවාද කර්මයක් බව කවුරුත් අවබෝධ කරගත යුතුය.
ඇතැම් පුද්ගලයන් කිසිදු වග විභාගයකින් තොරව තම තමන්ගේ ඒ ඒ මොහොතෙහි සිතෙහි හට ගන්නා ආවේග වලට ඉඩ දෙමින්, හුදු විනෝදයට ඉඩ දෙමින් , විශේෂයෙන් දුර දිග නොබලා කටයුතු කරමින් ආර්ය උපවාදය අකුසල කර්මය සිදු කැර ගන්නවා.
ඇතැම් විට තරුණ මදයෙන් මත් වූ තරුණ පිරිස මේ වරද කර ගන්නට ඉඩ තිබෙනවා.
එසේම ඇතැම් අන්‍යාගමිකයන් ද තම තමන් අදහන ලබ්දීන් කෙරෙහි මානයෙන් බුදු දහම කෙරෙහි අපහාස කිරීමට යෑමෙන් මේ වරද කර ගන්නා වාර අනන්තවත් සමාජයේ දීම ඇතිවන බව කණගාටුවෙන් කිව යුතුව තිබෙනවා.
ආර්ය උපවාද අකුසල කර්මය තමන් අතින් සිදු වී තිබේදැයි දැන ගැනීමට කෙනෙකුට සිතුනහොත් ඔහු කළ යුතු වන්නේ ආර්යයන් වහන්සේ යනු කවුරුන්දැයි නිවැරැදිව සොයා බලා අවබෝධ කැර ගැනීමයි.
සූවිසි ගුණවලින් පැවසෙන බුද්ධ රත්නයේත්, ධර්ම රත්නයේත් , සංඝ රත්නයේත්, අප්‍රමාණ ගුණ කදම්භය පිළිබඳව විමසා බැලීම වැදගත් වනවා. ඉන් නොනැවතී ත්‍රිවිධ රත්නය යනු කවුරුන්දැයි යන්න වඩාත් හොඳින් සොයා බැලීම වැදගත් වනවා.
“යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ “
බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නය සෝවාන් මාර්ග, ඵලලාභී , සකදාගාමී, මාර්ග ඵල ලාභී, අනාගාමී මාර්ග ඵල ලාභී, අරහත් මාර්ග ඵල ලාභී වශයෙන් ගත් කළ උතුම් ශ්‍රාවක යුගල සතරක් වේ. වෙන්වෙන් වශයෙන් ගත් කළ සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ්‍රාවකයාය. සෝවාන් වූ ශ්‍රාවකයාය ආදි වශයෙන් උතුම් ශ්‍රාවක පුද්ගල අට දෙනෙකි. මේ සියලු දෙනාම ආර්යයන් උතුම් ශ්‍රාවක පුද්ගල අට දෙනෙකි. මේ සියලු දෙනාම ආර්යයන් වහන්සේට අයිති වේ.
එම නිසා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කුමන හෝ ආර්යයන් වහන්සේට සිදුවන උපවාදයකින් ඉහත අකුසලය සිදුවනු ඇති බව මතක තබා ගත යුත්තක්.
බුදු දහම හැම විටම එහි පස්සික වූ දහමක්, ඉන් අදහස් කෙරෙන්නේ පැමිණ විමසා බැලීමට ඇති ඉඩකඩ හැම විටම බුදු දහමේ විවෘත බවයි. බුදු දහමේ කිසි විටෙකත් රහසක්, සැඟ වූ දහම් කරුණක් අඩංගු වන්නේ නෑ. සියලුම දේට හේතුවක් , හා එම හේතුව නිසා හට ගන්නා ඵලයක් සොයා ගත හැකි වනවා. විශේෂයෙන් ආර්ය උපවාද අකුසල කර්මයේ ඵලවිපාක පිළිබඳව මෙහි දී අවධානය යොමු කළ යුතු වනවා.
බුද්ධ රත්නයට, ධර්ම රත්නයට , සංඝ රත්නයට කවුරුන් අතින් හෝ කිසියම් අපහාසයක්, උපහාසයක්, ගැරැහීමක් සිදු වූ විට එම අකුසලය ඵල දෙන ප්‍රධානතම මූලිකම ක්‍රමයක් ලෙසට මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නොමැති වී යාම පෙන්වා දීමට පුළුවන්.
මෙසේ වූ විට ධර්මය තම තමන් කෙරෙහි නොපිහිටා සිටීම පැහැදිලිවම දකින්නට පුළුවන්.
අංගුත්තර නිකායේ එන අක්කෝස සූත්‍රයේ පෙන්වා දෙන පරිදි ආර්ය උපවාදයේ ආදීනව මැනවින් විස්තර කැර තිබෙනවා.
ඒ අනුව ආර්ය උපවාදයක් වූ තැනැත්තෙකු කෙරෙහි මෙබඳු පළ විපාක ද ලැබෙන්නට පුළුවන. එබඳු පුද්ගලයන්ගේ ශරීරය පුරා ලප ඇතිවීමට පුළුවන්. එමෙන්ම දරුණු කුෂ්ඨ රෝග හට ගන්නවා. දරුණු පිළිකා හට ගන්නට පුළුවන්. එමෙන්ම මරණයට මොහොතකට හෝ පෙර සිහි මුලාවීම සිදුවීමටත් ඉඩ තිබෙනවා. ආර්ය උපවාද අකුසල කර්මය සිදුකර ගත් තැනැත්තා ගේ වස්තුව දේපල භවභෝග සම්පත් විනාශ වනවා. උඩු සුළඟට දමන ලද දූවිල්ලක් සේ විනාශ වීම ද දක්නට ලැබෙනවා.
පැවිදි භික්ෂුවකට ආර්ය උපවාද අකුසල කර්මය සිදු වුවහොත් පැවිද්ද එපාවනවා.
එමෙන්ම ගරුකාපත්තිවලට එනම් ශාසනයේ තිබෙන මහා බරපතල ඇවැත්වලට පත්වනවා. මේ අනුව ඉතා පැහැදිලි කරුණක් තිබෙනවා.
එනම් ආර්ය උපවාද අකුසල කර්මය සිදු වූ තැනැත්තෙකුට සුවපත් , සුවදායි , සහනශීලි මරණයක් සිදු නොවන බවයි. යම් කෙනෙකු අතින් ආර්යඋපවාද අකුසල කර්මය සිදු වූ පසු ඉන් ගැලවෙන්නේ ඉන් මිදෙන්නේ කෙසේද? කියන ගැටලුව තිබෙනවා. අප කවුරුත් දන්නා පරිදි ආනන්තරිය මහා පාපකර්මයක් සිදු වුවහොත් ඉන් ගැලවීමක් ඇත්තේ නෑ. නමුත් ආර්ය උපවාදයක් වුවහොත් ඉන් ගැලවීමේ හැකියාව තිබෙනවා.
මෙහිදී කළ යුතු වන්නේ තමන් අතින් වැරැද්දක් ගැරහීමක්, පරිභවයක් සිදු වූ ආර්යයන් වහන්සේට හෝ ස්වරණමාලී මහා සෑය ළඟට ගොස් දන ගසා වැද නමස්කාර කොට සමාව ගැනීමයි.
බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට කිසියම් අපවාදයක් සිදුකොට ආර්යඋපවාද අකුසල කර්මය සිදු කරගත් අයකු තමා එම අකුසලය සිදු කැරගත් බව අවබෝධ කොට ගත් සැනෙන්
“කායෙන වාචා චිත්තේන - පමාදේන මයා කථං
අච්චයංකම මේ භන්තේ - භූරී පඤ්ඤ තථාගතං
අච්චයංකම මේ ධම්ම - සන්දිට්ඨික අකාලික
අච්චයංකම මේ සංඝ - සුපටිපන්න අනුත්තර “
බුද්ධ රත්නයට , ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ කයෙන් වචනයෙන්, සිතෙන් කිසියම් වරදක් සිදු වූවා නම් මා කෙරෙහි අනුකම්පාවෙන් සමාවන සේක්වා! යි කියා සමාව ගත යුතුයි. මේ ගාථාව උදේ සවස බුදුන් වැඳීමෙන් අනතුරුව කීමේ අදහස ද මෙයයි.
මෙසේ සමාව ගැනීම සිතට එකඟව , අවංකව කළ යුතුයි.
මුල් සිතෙන්ම සිත පහදවා ගෙන කළ යුතුයි.