දැදිගම වී. රුද්‍රිගු

siripala

Member
Oct 10, 2006
2,869
442
0
දැදිගම වී. රුද්‍රිගු

තාත්තා ගැන අපිට ආඩම්බරයි : දැදිගම වී.රුද්‍රිගුගේ පුත් දිමිත්‍රි කියයි

dimithra.jpg


dedigama.jpg




සිංහලට පරිවර්තනය වූ රුසියානු පතපොත ගැන කී පමණින් අප මතකයට නැඟෙන්නේ දැදිගම වී. රුද්‍රිගු නාමයයි. රුසියානු පතපොත සිංහල පාඨකයන් අතර කෙතරම් ජනපි‍්‍රය වීද යත් එහි ගෞරවය හිමි විය යුත්තේ දැදිගම වී. රුද්‍රිගුට ය. සිංහල සාහිත්‍යය රුසියානු බසට පරිවර්තනය කිරීමටත් රුසියානු සාහිත්‍ය සිංහලයට නැඟීමේත් පළමුවැන්නා වූයේ ඔහුය. පුවත්පත් කලාවේදියකු, ගුවන් විදුලි නිවේදකයකු සහ වෛද්‍යවරයකු වූ දැදිගම වී. රුද්‍රිගු මුලින්ම රුසියාවට පා තැබුවේ 1957 දී ය. ඒ ලෝක ශිෂ්‍ය සමුළුවකට සහභාගිවීම සඳහා ය.

එතැන් පටන් ඔහු රුසියාවට ඇලුම් කරන්නට වූයේය. පළමු ගමනේදීම ඔහු හා පෙමින් බැඳුණු ලුද්මිලා පසුව ඔහුගේ බිරිය වූවාය. ලාංකික පුරවැසියකු හා සෝවියට් පුරවැසියකු අතර වූ ප්‍රථම විවාහය මෙය යැයි සැලැකේ.

ලුමුම්බා මිත්‍රත්ව සරසවියෙන් වෛද්‍ය උපාධිය හදාරා වෛද්‍යවරයකු වූ දැදිගමයන් අනතුරුව වෛද්‍යවරයකු ලෙස මොස්කව්හි ම සේවයට එක්වීය. ඒ අතරතුරදී ඔහු සාහිත්‍ය හා සන්නිවේදන කටයුතුවල ද නියැළිණ. පසුව වැඩිකල් නොයවාම ඔහු වෛද්‍ය වෘත්තිය පසෙකලා පරිවර්තන කාර්යයේ නිරත වන්නට විය. රුසියානු චිත්‍රපටවලට සිංහල දෙබස් කැවීම ද, මොස්කව් ගුවන් විදුලියේ සිංහල අංශයේ නිවේදකයකු ලෙස ද ඔහු කටයුතු කළේය.

ඔහු අතින් සිංහලයට නැඟුණු රුසියානු පොත්පත් හා ලිපි සංඛ්‍යාව හාරසියයකට ආසන්නය. බිරිය සහ පුතුන් දෙදෙනා වන වික්තර් හා දිමිත්‍රි සමඟ මොස්කව් හි ජීවත් වුවද දැදිගම වී. රුද්‍රිගු වසරක් පාසා ලංකාවට පැමිණ ගියේය. එකල ලංකාවෙන් සංචාර සඳහා රුසියාවට යන ශ්‍රී ලාංකිකයනට ඔහු සැබෑ මිතුරෙක් හා හිතවතෙක් වූයේය.

1988 දී මොස්කව්හි දී ඔහු මිය යද්දී 59 හැවිරිදි වියේ පසුවිය. ඔහු ජීවිත කාලයක් පුරා එක්රැස් කළ පතපොත ඔහුගේ මරණින් පසු ලුද්මිලා සහ පුතුන් දෙදෙනා විසින් ලුමුම්බා මිත්‍රත්ව සරසවියේ ලාංකේය සිසුන්ගේ පරිහරණය සඳහා පරිත්‍යාග කරනු ලැබීය.

දැදිගමයන් ගේ පි‍්‍රය බිරිය වූ ලුද්මිලා ඔහු ඇමතුවේ ‘රෝද්’ යන ආදර වදනිනි. රෝද් ඇය අතහැර ගොස් වසරකට පසු ලුද්මිලා ද ජීවිතයෙන් සමුගත්තාය. තාත්තා මිය යද්දී පුතුන් දෙදෙනා පසුවූයේ තරුණ වයසේ ය. ඉතා ආදරයෙන් බැඳී ජීවත් වූ පවුලක් වූ මේ පවුලේ අද ඉන්නේ දිමිත්‍රි නම් වූ දෙවැනි පුතා පමණි. දැදිගම වී. රුද්‍රිගු ගේ වැඩිමල් පුතා වික්තර් ද දැන් ජීවතුන් අතර නොමැත.

දිමිත්‍රි පුතාට තාත්තා මිය යද්දී වයස අවුරුදු 24 කි. දැන් ඔහු මොස්කව්හි බොයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමක ගුවන් යානා ඉංජිනේරුවෙකි. දිමිත්‍රි මෑතකදී කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය. මේ ඔහුගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරයයි.

ඒ ආ ගමනේ දී දිමිත්‍රි සමඟ ඔහුගේ පියා ගැන මොහොතක් කතාබහ කිරීමට අපි ද අවස්ථාවක් ලදිමු. අපට ඒ අවස්ථාව උදාකර දුන්නේ කොළඹ රුසියානු කේන්ද්‍රය යි. මෙහිදී පළමුවෙන්ම කිය යුත්තේ පියා ශ්‍රී ලාංකිකයකු වුවද සිංහල භාෂාවෙන් කෙතරම් පතපොත ලියුව ද මේ පුතුට නම් සිංහල වදනකු ද බැරි බවය.

අප මුලින්ම දිමිත්‍රිගෙන් ඇසුවේ ඔහුගේ මව ලුද්මිලා තමාගේ දයාබර රෝද් සමඟ ලංකාවට පැමිණියේ ද යන්නයි.

“මගේ අම්මා ලංකාවට එන්න ආශාවෙන් හිටියෙ. අම්මා රැකියාව කළේ රාජ්‍ය ගුවන් සේවා ආයතනයකයි. ඒ කාලේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ඇයට රටින් පිටව යෑම තහනම්. ඒ නිසා අප කාටවත් කුඩා කල ලංකාවට ඒමට බැරි වුණා.”

ඔබගේ මව පියාගේ පරිවර්තන කටයුතුවලට උදව් වුණා ද?

අපේ ගෙදර තිබුණෙ හරිම සාමකාමී ආදරයෙන් පිරුණු පරිසරයක්. මගේ මව යුක්රේනියානු කාන්තාවක්. රුසියාව කියන්නේ බහු භාෂා තියෙන රටක්. යුක්රේනියානු හා රුසියානු ඇතැම් වගන්ති හා වදන් වෙනස්. අම්මා නිතරම තාත්තාට යුක්රේනියානු වගන්ති පරිවර්තනයට උදව් වුණා. ඒ වගේම තාත්තා ඒ කාලේ කී දෙයක් තමයි රුසියානු කෘතිවල එන බොහෝ දේ සිංහල සංස්කෘතියට සමීප බව.

ඔබගේ පියා මෙතරම් කාර්යභාරයක් ඉටුකළ කෙනකු බව ඔබ දැන සිටියා ද?

ඔව්. තාත්තා ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් යෙදෙව්වේ ලිවීමටයි. කලක් වෛද්‍යවරයකු ලෙස වැඩකර පසුව ඉන් ඉවත් වී ඔහු දිගටම ලේඛන කටයුතුවල නිරත වුණා. සමහර අවස්ථාවලදී රුසියානු භාෂාවේ එන යම් යම් වාක්‍යාංශ ගැන ඔහු අපෙන් විමසනවා. මෙයට හේතුව වුණේ අප උපතේ සිටම රුසියානුවන් ලෙස භාෂාව දැන සිටීමයි.

ඒ කාලෙ තාත්තා ගේ හොඳ රුසියානු මිත්‍රයෙක් හිටියා. ඔහු මහාචාර්ය බෙල් කොවිෂ්. රුසියානු - සිංහල ශබ්දකෝෂය කළේ ඒ දෙදෙනායි. ඔවුන් හොඳ යහළුවො. ළඟින් ඇසුරු කළා. රුසියානු භාෂාවේ එන ගැටලුසහගත තැන් ගැන ඔවුන් දෙදෙනා නිතර සාකච්ඡා කළා.

තාත්තා ඇන්ටන් චෙකොෆ් ගේ කෘති බොහොමයක් පරිවර්තනය කළා. චෙකොෆ් වෛද්‍යවරයෙක්. ඔහු සාහිත්‍යකරුවෙක් වුණා. මගේ තාත්තාත් එහෙමයි. ඔහුත් වෛද්‍යවරයෙක් හා සාහිත්‍යකරුවෙක් වුණා. මේ ගැනත් අපි හරි සතුටෙන් හිටියා.

“අපේ අම්මයි තාත්තයි ලස්සන පවුල් ජීවිතයක් ගත කළා. දෙන්නා හැම විටම එකට එක් වී සමගියෙනුයි වැඩ කළේ. යුක්රේනයේ අග නගරය කිව්. අපි පවුලේ ඔක්කොම නිවාඩුවට එහෙ යනවා. එහේ අම්මාගේ නෑයො හිටියා. එහෙ ගිහින් අපි සති දෙකක් ගත කරනවා. ඒ අතරතුරදී අම්මාගේ ඥාතීන් බලන්නත් යනවා.

අම්මා ගෙදරදී යුක්රේනියානු කෑම හැදුවා. ඉන් තාත්තා වඩාත් ප්‍රිය කළ සුප් එකක් තිබුණා. එහි නම බෝර්ෂ්. කැරට්, ගෝවා, බෝංචි වැනි එළවළු දමා හදන්නේ. තාත්තා හැම වෙලේම එයට ශ්‍රී ලංකාවේ කුළුබඩු වර්ග එකතු කරනවා. එය ශ්‍රී ලංකා හා යුක්රේනියානු සම්මිශ්‍රණයක්.

අප කුඩා කල තාත්තා සමඟ ශ්‍රී ලංකාවට ඒමට නොහැකි වුවත් තාත්තා ලංකාවට ආවා. ඒත් තාත්තා ගේ ලංකාවේ නෑදෑයන් සමඟ සම්බන්ධයක් තබා ගන්න අපට අවස්ථාවක් ලැබුණේ නැහැ.

රුසියාව නැඟෙනහිර ආසියානු රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගොඩාක් සමීප බවක් තිබුණා. තාත්තා ඒ බැඳීම වැඩි කළා. අප කුඩා කල සිට ම දැක්කේ තාත්තා ලේඛන කටයුතුවල නිරත වන අන්දමයි. අපි සැමවිටම තාත්තා ගැන ආඩම්බර වුණා.”

වික්ටර් පී. දැදිගමයන්ගේ පුත් දිමිත්‍රි විවාහ වී සිටින්නේ වෛද්‍යවරියක සමඟ ය. මොස්කව් හි ඇමෙරිකානු බෝයිං ගුවන් යානා සමාගමක ගුවන් යානා ඉංජිනේරුවකු වන ඔහු කාර්ය බහුල ය. ඔවුන් ගේ පුතා සරසවි පිවිසුම සඳහා ඉගෙනුම ලබමින් සිටින බව දිමිත්‍රි අප හා පැවසීය.

දෛනික දිවියේ කාර්ය බහුලත්වය නිසා ඔවුන් තිදෙනාට එක්ව රටින් පිට යෑමට අවකාශ නැතත් රටේ නව ප්‍රතිපත්ති ඔස්සේ දැන් ඔවුනට ඕනෑම රටක සංචාරය කිරීමට ඉඩහසර ලැබී ඇති බව ද දිමිත්‍රි කීවේ ය. එනිසා නුදුරු අනාගතයේදී සිය බිරිය හා පුත්‍රයා සමඟ මේ සුන්දර රටට යළි පැමිණීමට අදහස් කරන බව ද ඔහු අප හා පැවසීය.


සේමාලි කැල්ලපත
http://www.silumina.lk/2011/10/16/_art.asp?fn=av11101618