දරුවාගේ උගුරේ යමක් හිර වුණොත්
කිරි කැටියකුගේ රෝගී තත්ත්වයකදී මවුපියන් මොන තරම් කලබල වෙනවාද? තමන් හුස්ම ගන්නා බවවත් බොහෝ මවුපියන්ට අමතක වන්නේ දූ දරුවන් ඔවුන්ගේ ජීවිත බවට පත්ව ඇති නිසයි.කොතරම් සෙනෙහස දැක්වුවත්, ඇසක් මෙන් රැක බලා ගත්තත් කුමන මොහොතේ සිඟිති දරුවකු අනතුරකට ගොදුරු වේදැයි කියනු බැහැ. දරුවන් අතර සුලබ අනතුරක් වන්නේ උගුරේ යමක් සිරකර ගැනීමයි. උගුරේ යමක් සිරවීම මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන්නකි. මව, පියා, එසේත් නැත්නම් නිවෙසේ සිටිනා වෙනත් අයකු එවැනි අවස්ථාවක කළ යුතු දේ ගැන දැනුමක් ඇති කෙනකු නම් සිඟිත්තා අනතුරෙන් බේරා ගැනීම අසීරු නැහැ.
උගුරේ යමක් සිරවී ඇති බව දැන ගන්නේ කෙසේද?කැස්ස, හුස්ම ගැනීම අසීරු වීම, බෙල්ල, මුහුණ රතු පැහැවීම, උගුරෙන් ශබ්දයක් පිටවීම හෝ කිසිදු හඬක් පිට නොකිරීම යමක් සිරවී ඇති බවට ලකුණුය.බිලිඳාගේ කැස්සෙන්, සිරවූ දෙයින් ආහාර මාර්ගය අවහිර වී නැති බව අපට අනුමාන කරන්න පුළුවන්.බිලිඳා කහින්නේ නැත්නම් කැස්ස ඇති කළ යුතුයි.ඔබේ අතට ගොටුවක් මෙන් සකස් කර සෙමෙන් පිටට ගසන්න. කැස්ස ඇතිවේවි.මාස දොළහකට අඩු බිලිඳකු යමක් සිර කරගත් විට, මුලින්ම මුහුණ පහතට සිටින සේ පහළට හරවන්න. බිලිඳාගේ හිස ඔබගේ වම් අතේ පහළට වනසේ තබා ගන්න.ඉන්පසු සෙමින් සෙමින් පිටට පස්වරක් තට්ටු කරන්න. දරුවා උඩු අතට හැරුණු පසු තම දබර ඇඟිල්ලෙන් දිව පහත් කර හොඳින් බලන්න. මේ අවස්ථාවේදී මවගේ අත් හොඳින් පිරිසුදුව තිබිය යුතුයි.උගුරේ යමක් තිබෙනවාක් මෙන් පෙනෙයි නම් මව තම සුළැඟිල්ල කොක්කක් මෙන් නවා තිබෙන දෙය ප්‍රවේශමෙන් පිටතට ගන්න.දරුවාගේ පිටට තට්ටු කර කිසිදු ප්‍රතිඵලයක් නැත්නම් බිලිඳා උකුළේ උඩු අතට, හිස පහතට සිටින සේ තබන්න. එසේ තබා, ඔබගේ ඇඟිලි දෙකක් දරුවාගේ පපුවේ මැද (තනපුඩු යටින්) තබන්න. එම ඇඟිලි ;දකෙන් තදට තුන්වරක් තෙරපන්න. තත්පර 3 - 5 කට වරක් එසේ කර උගුර පරීක්ෂා කර බලන්න. එවිටත් සිරවූ දෙය සොයා ගත නොහැකි නම් කලින් ක්‍රමය නැවත අනුගමනය කරන්න. කිසිවකින් ප්‍රතිඵලයක් නැත්නම් දරුවා වහාම රොහල්ගත කළ යුතුයි.
තරමක ලොකු ළමයකුට නම් සිරවී ඇති දෙය පිට කිරීමට උනන්දු කළ හැකියි. තනිවම එය කළ නොහැකි නම් දරුවාට ඉදිරියට නැමෙන්න යයි පවසා පිටට පස් හය වරක් ගසන්න. කට ඇර හිරවූ යමක් පෙනෙයි නම් ඔබේ සුළැඟිල්ලෙන් එය ඉවත් කරන්න.මේ සිරවී ඇති දෙයක් තරමක් වැඩුණු දරුවකුගේ තවත් ආකාරයකට ඉවත් කළ හැකියි. දරුවා කෙලින් සිටුවා ඔබ දරුවාගේ පිටුපසින් සිට ගන්න. අත මිට මොළවා පපු ඇටයේ පහළ කොටස මත තබන්න. ඒ අත අනෙක් අතින් තදින් අල්ලා ගන්න. දෑතින් තද කරන්න. දරුවාගේ කට ඇර සිරවී ඇති දෙය පෙනෙනවාදැයි බලන්න. එයින් ප්‍රතිඵල නැත්නම් නැවතත් ළමයා පිටුපස සිටගෙන, පපු කූඩුවට පහළින් පෙකණියට උඩින් අත මිට මොළවා තබා අනෙක් අත ඒ මත තබා පපුව දිශාවට දෑත් අදින්න. තත්පර තුනකට වරක් පස් වරක් මෙසේ කර දරුවාගේ උගුර බලන්න. නැවතත් එයම කර ප්‍රතිඵලයක් නැත්නම් වෛද්‍ය උපදෙස් පතන්න