දින 100 යේ අභිරහස

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අඩ අඳුරේ ෂර්ලොක් ගේ කාමරයෙන් ඇසෙන ශෝකාලාපයක් බඳු වයලීන් වාදනය මට හුරු දැන් පුරුදු ය. හඩ්සන් මහත්මිය මට අතින් සංඥා කල නිසා මම කාමරයට ඇතුළු වුයේ නැත. වයලීනය මත වේගයෙන් චලනය වන ඔහුගේ දෑත් සහ ක්‍රමයෙන් තීව්‍ර වන වයලීන හඬ කියාපෑවේ ෂර්ලොක් ඉදිරියේ විසඳන්නට ඇති අසීරු ගැටලුවක පෙරනිමිති ය. එක් වරම වයලීන් වාදනය නතර වු අතර ෂර්ලොක් තමාගේ සුපුරුදු පුටුවේ වාඩිවී සිවිලිම දෙස බලමින් ගැඹුරු කල්පනාවක නිරත විය.

    "වොට්සන් මොකද ඔතන හිටගෙන? ඇතුලට එන්නේ නැද්ද? යි ඇසු ෂර්ලොක්ගේ හඬින් තිගැස්සුන මා මද සිනහවක් පහල කළ ද මම කාමරය අසල සිටි බව ඔහු නිෂ්චිතව දැන ගත්තේ කෙසේදැයි යන්න ගැන මම කල්පනා කළෙමි.

    "වොට්සන් දැන් ඔය පාවිච්චි කරන සුවඳ විලවුන් වර්ගය ප්‍රංශයේ පැරිස් වල නිෂ්පාදනය කරන මිල අධික එකක්..ඒකේ සුවඳ මීටර් 15 ක් 20 ක් අතර විහිදෙන නිසා වොට්සන් කාමරේ ලඟට ඇවිල්ලා ඉන්නවා කියලා දැන ගන්න පුළුවන්...ඒ වගේම වොට්සන් මෙතනට ඇවිල්ලා දැන් හරියටම විනාඩි 11 ක් වෙනවා...මිසිස් හඩ්සන් දොර අරිනකොටම තමයි චූන් පාන් කාරයා ගෙදර ඉස්සරහින් ගියේ. දැන් වෙලාව 4.41 යි. " ෂර්ලොක් මට කියන්නට හෝ සිතන්නට කිසිවක් ඉතිරි කළේ නැත.

    ෂර්ලොක් සුපුරුදු ලෙස ඔහුගේ දුම්කොළ පයිප්පය දල්වා ගත් අතර එක්වරම පුටුවෙන් නැගිට ගොස් මේසය මත තිබූ සඟරාවක් වැනි යමක් ගෙන මා අත තැබීය. එහි " දින 100 න් අලුත් රටක්" ලෙස එහි සඳහන්ව තිබීම නිසා එය හඳුනා ගැනීමට අපහසු නොවීය. මෙරට ලක්ෂ හැට දෙකකගේ පමණ සාමාන්‍ය දැනීම පරීක්ෂා කළ එකම ලියවිල්ල මෙය නිසා එය ෂර්ලොක් වැනි විශිෂ්ටයෙකු අතට පැමිණියේ කෙසේදැයි මට ගැටලුවක් ඇති විය.

    " වොට්සන් දන්නව ද දැන් මේ ලියවිල්ල හදපු කෙනෙක් නෑ කියලා?" මට සිනහව නවතා ගත නොහැකි විය.

    "ඇයි වොට්සන්?" ෂර්ලොක් ගේ හඬ නොසන්සුන් ය.

    "ඇයි මේක හදන්න මුල්වුණේ මහාචාර්ය හුචක්කු විජේසූරිය, ගාමිණී විඅංගොඩ, සමන් අප්‍රිය, ඳඟලන අඹර හිමි, ජිල්මාල් දේවසිරි වගේ අය නෙමෙයි ද? " මම ඇසුවෙමි.

    " නෑ වොට්සන්..ඒ අය නෙමෙයි ලු...අනික දැන් ප්‍රකාශයක් ගන්නවත් ඒ කට්ටිය හොයා ගන්න බැහැ මොකද මේ දවස්වල රෙදි ගැලවිලා නිසා රෙදි කඩවල තමයි ලු වැඩිපුරම ඉන්නේ " ෂර්ලොක් පයිප්පය උරමින් පැවසීය.

    "යහපාලානාචාර්ය දිද්දුවගේ කියන විදියට මේ දින 100 යේ ලියවිල්ලෙන් දැනට 71% ක් ඉවර කරලා.." මම පැවසුවෙමි.

    "වොට්සන් දැන් මේකට දින 1000 කුත් පැනලා නේ..එතකොට (දින 100/ 1000 X 71%) කියන්නේ 7.1% වගේ සාර්ථකත්වයක්. හැබැයි ඉතින් වටේ ඉන්න කට්ටියත් එක්ක බැලුවහම මේකත් ලොකු ප්‍රතිශතයක් තමයි..බය නැති අගමැතිත් තාම මේ ගැන ප්‍රකාශයක් නිකුත් කරලා නෑ " ෂර්ලොක්ගේ හඬ වේගවත්ය.

    "වොට්සන් අපි යමු එළියට..." ලෙස්ට්‍රාඩේ බලන් ඇති අපි එනකම්."

    ටැක්සියක නැගී පැය භාගයක පමණ ගමනකින් පසු අප ළඟා වුයේ විශාල නිවසක් අසලය. ලෙස්ට්‍රාඩේ කලින්ම පැමිණ තිබුණි. එය වෛද්‍යවරයෙකු ගේ නිවසක් බව මට පසක් වුයේ එහි තිබූ " දත් ගැලවීම, දත් බැඳීම, ස්නායු පිරවීම ආදී දේ සඳහන් වු දැන්වීම නිසාය. සීනුව නාද කළ විට වෛද්‍යවරයා යැයි සිතිය හැකි අයෙකු ඇස් පොඩි කරමින්, ඇස් පිල්ලම් වේගයෙන් ගසමින් ඉදිරියට පැමිණියේ ය.

    " මම රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්...මට ඩොක්ටර් ගේ පුතා ගෙන් කටඋත්තරයක් ගන්න ඕන දින 100 යේ ලියවිල්ල ගැන" යි පවසනවාත් සමග සුදු ජාතික ඇඳුම ඇදගත් දත් ඉදිරියට නෙරා ආ උස කැහැටු තරුණයෙකු ඉදිරියට පැමිණියේය.

    " අපට දින 100 ලියවිල්ල ගැන ඔබගෙන් ප්‍රකාශයක් ගන්න තියෙනවා..." යි ෂර්ලොක් තරුණයාට පැවසුවේය.

    " මම බ..බ..බ ඉස්කෝලේ යන කාලේ බ..බ..බ..ශිෂ්‍ය නායක අ..අ..අ වෙලා.... බ..බ " තරුණයා යමක් කියන්නට උත්සාහ කරන බව මට වැටහුනේ ය.

    " ලෙස්ට්‍රාඩේ..මෙයා අත්අඩංගුවට ගන්න" ෂර්ලොක් හෝම්ස් අණ කළේය. මට කිසිවක් තේරුම් ගත නොහැකි විය.

    නිවසින් පිටතට පැමිණ ෂර්ලොක් කටහඬ අවධි කළේය. " දින 100 යේ වැඩ පිළිවෙළ දින 1000 ක් යනකම් ඇදුනා නම් ඒක අනිවාර්යයෙන්ම ලියලා තියෙන්නේ මේ දත් දොස්‌තර ගේ පුතා තමයි..මිනිහා කතා කරන භාෂාවෙන්, ඒ විදියටම තමයි ඕකත් ලියලා තියෙන්නේ...ඒකයි දින දාහක් යනකම් ඇදිලත් තාම ඉවරකර ගන්න බැරි වුණේ. " ෂර්ලොක් ගේ තීක්‍ෂණ නුවණ මා විස්මයට පත් කළේය.

    " වොට්සන් දැන් අපි යන්න ඕන 118 ඇලෝෂියස් කල්ලිය හොයාගන්න..."

    "ටැක්සි...." මම ටැක්සියකට අත දැමුවෙමි.

    =============================
    සොනාල ගුණවර්ධන