රසයට දිගු කරන දිව සසර ද දිගු කරන හැටි...
දිව රස දැනගනියි. ඒ රසයෙන් සිත පිනා යයි. සිත මිහිරි රස සොයමින් වෙහෙසෙයි. අමිහිරි රසයක් දැනගත් විගස දිව වහා ඒ අමිහිරි රසය අප්‍රිය කරයි. ඉක්මනින් ඉන් මිදීමට සිත වෙහෙසෙයි. මිහිරි රසයක සුවඳ දැනෙන විටදී පවා කට පුරා කෙළ පිරෙයි.
රසය දිව සමග එකතු වීම නිසා, රස දැනගැනීම පිණිස ඇති වන සිත (මනෝ ස්පර්ශය) නිසා වේදනාවක් සිතට දැනෙයි. වේදනාව හඳුනාගන්නා (සංඥාව) ආකාරයට අනුව මිහිරි, අමිහිරි හෝ මැදහත් යන කුමන ක්‍රමයකින් හෝ රසය පිළිබඳ ඇති වන සිතිවිලි මගින් ඇලීම හෝ ගැටීම ඇති වෙයි. ඇලීම යනු තණ්හාව යි. ගැටීම යනු තරහව හෙවත් පටිඝය යි.
තණ්හාව ඇති වන්නේත්, තරහව ඇති වන්නේත් සිත තුළ යි; නැත් නම් දිවේ හෝ රසය ගෙනදෙන බාහිර දෙයක නො වෙයි. රසය විඳීමට ඇති වන තණ්හාව, ගිජුකම නිසා සිත තුළින් ඇලීම හෝ ගැටීම සමග චිත්ත සංස්කාර (සිතිවිලි) ජනිත වෙයි. මෙසේ ඇති වන චිත්ත සංස්කාර නැවත සසර දුකට වැටෙන, දුක්ඛ සමුදය රැස් කිරීමක් බව නොදන්නා මෝඩකම (අවිද්‍යාව) නිසා පටිච්ච සමුප්පාද චක්‍රය නොනැවතී කරකැවෙයි.
ආස්වාදයට මුළා වීම නිසා සසර දුකට වැටීමේ භයානක බවත්, ආස්වාදයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බවත් නො වැටහෙයි. එබැවින් ආදීනවය ගැන නොසලකා ආස්වාදයට ගිජු වීමෙන් නිදහස් වීමක්, නිස්සරණයක් ලබන්නේ කෙසේ ද?
ඉන්ද්‍රිය සංවර ශීලය යනුවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් සංවර කරගැනීම යි. මනා ඉන්ද්‍රිය සංවරයකින් තොර ව ලබන නිවනක් නැත.
දිවට කොපමණ රස දැනුණත් හැම මොහොතක ම එය නොවෙනස් ව පවත්වාගත නොහැකි ය. තිත්ත රස, ඇඹුල් රස, පැණි රස, කහට රස යන මේ සියල්ල දැනෙන්නේ සුළු කාලයකට පමණි. උගුරට ගිය පසු දිවේ රසය නොමැත. බඩට ගිය පසු එම රසවත් දෙය වමනය බවට පත් වනු ඇත. ඉන් පසුව බඩවැල් දිගේ රසවත් ආහාරය ගමන් කරන විට එහි රසයක් හෝ මිහිරි සුවඳක් හෝ නොමැත; දිය කළ අසූචි හා සමාන ය. ඉන් නිකුත් වන දුර්ගන්ධය අභ්‍යන්තර ශරීරය පුරා පැතිරෙමින්, දහඩිය, කෙළ, සෙම, සොටු, ලේ, මැරුණු තෙල්, කබ, කඳුළු, මළ, මූත්‍ර ආදි අපිරිසිදු දේ ම නිපදවමින් ඒවායේ දුර්ගන්ධය තව තවත් වැඩි කරනු ඇත. මුවින් ඇතුළු කරන සුවඳවත්, රසවත් ආහාරය වෙනුවට අවසානයේ අධෝ මාර්ගයෙන් පිට වන අසූචි ප්‍රිය කරන්නේ නිල මැස්සන් හා පණුවන් ආදි සතුන් පමණි. අධෝ මාර්ගයෙන් පිට වීමට පළමු ව එම අසූචි නිපදවුණේ සහ ගබඩා වී තිබුණේ මේ ශරීරය නමැති සමින් වැසුණු මල්ල තුළ ය. එසේ නම් මේ ශරීරය අසූචියෙන් පිරුණු මල්ලක් නො වෙයි ද?
සුවඳවත්, රසවත් ආහාරයක් කෑදරකමින් ගිලදමමින් තණ්හාව ඇති කරගන්නේ මොහොතක විඳින රසයට යි. එහෙත් පිට වන අසුචි ටිකටත් එසේ තණ්හාවක් ආශාවක් ඇති කරගත හැකි ද? එසේ වුවත්, මේ ශරිරයේ පැවැත්මට අපට ආහාර අවශ්‍ය යි. රසයට වහල් නොවී, ශරීරයේ පැවැත්ම සඳහා අප ආහාර ගත යුතු යි.
අප රසයට ප්‍රිය කරන්නේ ඒ කෙරෙන් ලැබෙන සුඛාස්වාදය නිසා යි. යම් විදියකින් දිවේ රස දැනෙන ජීව්හා ප්‍රසාද රූපයේ වෙනස් වීමක් ඇති වුව හොත් රසය දැනෙන ගතිය නැති වී යයි. සමහර විට සෙම්ප්‍රතිශ්‍යාව ආදි සාමාන්‍ය අසනීපයකදී පවා අපට රසය දැනීම අඩු වී යයි. අංශභාග රෝගයේදී මේ දිව ක්‍රියාත්මක කිරීමට නොහැකි ව, ආහාර ගිලින්නට පවා නොහැකි වෙයි. දතක් ගැලවීමට හිරිවැටීම සඳහා බෙහෙත් එන්නත් කළ විටදී පවා දිවේ රසය නොදැනී යයි. එසේ නම් දිවේ ක්‍රියාත්මක භාවයට සහ රසය දැනීමට ස්නායු ක්‍රියාකාරීත්වය අවශ්‍ය යි. සමහර විට අපගේ කර්ම ශක්තීන්ට අනුවත් දිව වෙනස් වෙයි. පිළිකා ආදි භයානක රෝග නිසා අනන්ත දුක් ලබා දෙන්නට පුළුවනි. මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය වෙනස් වීමෙන් දිවත් රස දැනීමත් දෙක ම වෙනස් වන්නට පුළුවනි.
ඊට අමතරව දිව සෑදී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගෙන් ම යි. මේවා නිරන්තරයෙන් ම වෙනස් වෙයි. වයසට යන විට කතා කිරීමට පවා අපහසු වන තරමට දිවේ ක්‍රියාත්මකභාවය අඩු වන්නට පුළුවනි.
දිවට දැනෙන රසය නිසා ඇති වන සිතිවිලි මගින් ලැබෙන්නේ දුකක් ම යි. අප නිරන්තරයෙන් ම මේ සියලු ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණු මගින් ඇති කරගනු ලබන්නේ පංචස්කන්ධ ධර්ම යි. බුදු පියාණන් වහන්සේ “සංඛිත්තේන පංචුපාදනක්ඛන්ධා දුක්‍ඛා” යනුවෙන් දේශනා කර ඇත්තේ නිරන්තරයෙන් ම ඇති වී නැති වී යන පංච ස්කන්ධ ධර්ම උපාදාන කරගැනීම දුකක් ම බව යි.
එසේ නම් ඇස, කන, ආදි ඉන්ද්‍රියයන් කෙරෙන් ලැබෙන අරමුණු මගින් ඇලීමෙන් හා ගැටීමෙන් අප කරන්නේ පංචස්කන්ධ ධර්මයන් උපාදාන කරගැනීම යි. දිවේ රසයට ආශා කරමින් නැවත, නැවත ඒ රසයන් සොයමින් සිතින් ග්‍රහණය කරගෙන භව ශක්තිය ඇති කරගන්නේ නැවත සසර දුක් අනුභව කිරීමට යි. ඇති වෙමින්, නැති වෙමින් යන සිතිවිලි තුළ ඇති අනිත්‍ය බව, අනාත්ම බව, සසර දුක් ලබා දෙන බව ප්‍රඥාාවෙන් දකිමු. ඇලීමෙන් හා ගැටීමෙන් තොර නිදහස් මනසක් ඇති කරගැනීමට වීරිය වඩමු.
උපුටාගැනීම facebook
දහම් සභා මණ්ඩපය
obage adahas dakwanna. kemathianm "_" demmata kamak ne.
Last edited:



