'වස්සවලාහක සූත්‍රය' විකෘති කළවුනට පිළිතුරු.

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට ශාසනභාරධාරී මහා කස්සප මහරහතන් වහන්සේ මූලික කොට ඇත්තා වූ ෂඩ්අභිඥාලාභි මහරහතන් වහන්සේලා ඇතුළු ධර්ම - විනය පිළිබඳව කිසිඳු තැනක නොපැකිලෙන්නා වූ තීක්ෂණ ඤාණමහියක් ඇති මහ තෙරුන්වහන්සේලා වෙතින් සමයාන්තරයන්හි මතිමතාන්තරයන්ගෙන් දූෂිත නොවී ධර්ම සංගායනා සයකින් ම සුරක්ෂිත ව අද ද ගගන තලයෙහි හිරු - සඳු මෙන් බැබළෙමින් පවත්නාහ. භාග්‍යවතුන් වහන්සේ ගේ අධිෂ්ඨානයට අනුව වසර පන්දහසක් කල් ම නියතව සුරැකෙන්නාහ.
    ඒ පිළිබඳව ධර්මය දන්නා වූ සැදැහැවත් වූ ප්‍රඥාවන්ත සත්පුරුෂයින්ට සැකයක් නැත. ඒ කාරණා කාරණා නොදන්නා වූ ශ්‍රද්ධාව නොමැති ධර්මයෙහි අදක්ෂ වූ සත්පුරුෂයින් නොහඳුනන පුද්ගලයන්ට එය මහත් විමතියකි. සැකයකි. ඒ නිසා ඔවුහු බුද්ධ වචනයට දොස් නගති. ගරහති. සිනාවෙති. ත්‍රිපිටකයෙහි සංයුක්ත නිකායේ වලාහක සංයුක්තයේ " වස්සවලාහක සූත්‍රය " පිළිබඳව එලෙස නොමනා ලෙස අදහස් දක්වා තිබෙනු දැක ඒ පිළිබඳව විස්තරාර්ථ සහිතව දැක්විය යුතු බව සිතා මා මෙය ලියන්නට සිතුවෙමි. ඒ සඳහා පළමුව අදාල සූත්‍රය මුලින් දක්වමි,
    සාවත්ථියං :
    එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච :
    කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙනෙකදා දෙවො වස්සතී’ති.
    ‘‘සන්ති භික්ඛු, වස්සවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති. ‘යන්නූන මයං සකාය රතියා රමෙය්‍යාමාති'. තෙසං තං චෙතොපණිධිමන්වාය දෙවො වස්සති. අයං ඛො භික්ඛු, හෙතු අයං පච්චයො, යෙනෙකදා දෙවො වස්සතී’ති.
    සැවැත් නුවර :
    එකත්පස් ව හුන් ඒ භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. යම් හෙයකින් එක් කලෙක ( නොකල්හි ) වැසි වසී නම් එයට හේතුව කුමක් ද ප්‍රත්‍ය කුමක් ද ?
    මහණ, වස්සවලාහක නම් දෙවිවරු ඇත. ඔවුන්ට යම්⁣ කලෙක " අප අප ගේ රති කෙළියේ යෙදෙන්නේ නම් මැනව යි ' මෙබඳු සිතක් වෙයි. ඔවුන් ගේ ඒ සිත පිහිටුවීම අනුව නොකල් වැසි වසියි. මහණ, යම් කලෙක නොකල්හි වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.


    මේ බුද්ධ වචනයට අනුව මෙහි දේශණා කොට ඇති කාරණාව ඉතා ම පැහැදිලි යි. එය අප සාරත්ථප්පකාසිනී අර්ථකතාවට සහ එම ටීකාවට අනුයාතව වඩාත් පැහැදිලි කර ගත යුතු ය. වලාහකකායික යනු වලාහක නම් දේව සමූහයෙහි උත්පත්ති ලැබූ ආකාසචාරී වූ දෙවියෝ ය. යන බව මෙසේ දක්වා තිබේ. - - වලාහකකායිකාති වලාහකනාමකෙ දෙවකායෙ උප්‌පන්‌නා ආකාසචාරිකදෙවා. - - " යෙනෙකදා " යන වචනය උඩ පෙළෙහි ම තිබේ. එනම් " යම් හෙයකින් එක් කලෙක " යන අර්ථය යි. එනම් "නොකල්හි " යන්න යි. මෙහි භාග්‍යවතුන් වහන්සේ දේශණා කරනුයේ " වස්කාලයේ දී එම මාස සතර තුළ දී ඇති වන වර්ෂාව සෘතු ප්‍රත්‍යයෙන් ඇති වන බව යි. එනම් සෘතු නියාමය යි. මෙයට අමතරව ඇති වන්නා වූ වර්ෂාව එනම් බක්මස, වෙසක් මාස ආදී මාසයන්හි ඇති වන වර්ෂාවෝ ය. ඒ වර්ෂාවෝ දේවානුභාවයෙන් උපදියි. ඒ බව සාරත්ථප්පකාසිනී සංයුක්ත නිකාය අටුවාවෙහි මෙසේ දක්වා ඇත්තාහ. - - දෙවො වස්‌සතීති යං වස්‌සිකෙ චත්‌තාරො මාසෙ වස්‌සං, තං උතුසමුට්‌ඨානමෙව. යං පන වස්‌සෙයෙව අතිවස්‌සං, යඤ්‌ච චිත්‌තවෙසාඛමාසෙසු වස්‌සං, තං දෙවතානුභාවනිබ්‌බත්‌තං නාම. - -
    මේ වැස්සවලාහක දේවියන් පිළිබඳව මනාව තව තවත් විස්තර සහිතව සාරත්ථප්පකාසිනී අට්ඨකතාවේ මනරම් වූ කතාවක් දක්වා ඇත්තාහ. එය සරලව මෙහි දක්වමි. " එක් වැස්සවලාහක දේවපුත්‍රයෙකු තලකූටකවාසී වූ මහරහතන් වහන්සේ වෙත ගොස් වන්දනා කොට එකත්පසක සිටියේ ය. තෙරුන් වහන්සේ " නුඹ කවරෙක් දැ ' යි විචාළහ. වැස්සවලාහක දෙවි තෙමේ ද " ස්වාමීනි, මම වැස්සවලාහක දේවපුත්‍රයා' යැයි කීවේ ය. තොප ගේ දේවානුභාවයෙන් වැසි වසී දැයි මහරහතන් වහන්සේ ඇසූ කළ දෙවිතෙම ' ස්වාමීනි, එසේ ය.' යැයි පිළිවදන් ඇස්වූහ. අප ද එය දකිනු කැමැත්තෙමු යි මහ තෙරුන් වහන්සේ දෙවියන්ට දැන් වූ කළ ' ස්වාමීනි, තෙමෙන්නහු ද? යි දෙවිතෙම ඇසී ය. දේවපුත්‍රය, අහසෙහි වැහි වළාකුළක් හෝ ගෙරවීමක් හෝ නො පැණෙ යි. එසේ ඇති කල්හි කෙසෙ නම් තෙමෙන්නෙමු ද ? ඒ වචනය ඇසූ දෙවිතෙම ' ස්වාමීනි, අප ගේ දේවානුභාවයෙන් වැසි වසියි. නුඹවහන්සේ පන්සල තුළට පිවිසෙනු මැනවි. මහරහතන් වහන්සේ ද දේවපුත්‍රය මැනවැයි කියා දෙපා සෝදා ගෙන පන්සල තුළට පිවිසියේ ය. මහරහතන් වහන්සේ පන්සලට පිවිසෙන්නේ ම දෙවිතෙමෙ මේඝ ගීතයක් ගයා අත එසවූහ. හාත්පස යොදුන් තුනක් මානයෙහි එක ම වර්ෂාවක් වට. ඒ වර්ෂාවට හසු වූ මහරහතන් වහන්සේ අඩක් තෙමුණු සිවුරෙන් යුතුව පන්සලට පිවිසියේ ය. මෙම කතා පුවතෙන් ද වැස්සවලාහක දෙවියන් පිළිබඳව අපට කරුණු කාරණා දත හැකි ය.

    මේ දක්වන්නට යෙදුනා වූ කාරණාවන් ද ඇතුළු ව වර්ෂාව ඇති වන්නා වූ කාරණා අටක් ඇති බව අට්ඨකතාවේ දක්වා තිබේ. එනම්,
    - - අපිච දෙවො නාමෙස අට්‌ඨහි කාරණෙහි වස්‌සති නාගානුභාවෙන සුපණ්‌ණානුභාවෙන දෙවතානුභාවෙන සච්‌චකිරියාය උතුසමුට්‌ඨානෙන මාරාවට්‌ටනෙන ඉද්‌ධිබලෙන විනාසමෙඝෙනාති. - - තව ද නාගයන් ගේ ආනුභාවයෙන්, සුපර්ණයන් ගේ ආනුභාවයෙන්, දේවතානුභාවයෙන්, සත්‍යක්‍රියානුභාවයෙන්, සෘතු ප්‍රත්‍යයෙන්, මාරාවේෂයෙන් (මාරයා ගේ බලයෙන්), සෘධි බලයෙන්, කල්පවිනාශයේ දී ඇති වන වර්ෂාව (අනෙක් කාරණාව නම් පව් කම් කළා වූ සත්වයන් ගේ ඒ පාප කර්මප්‍රත්‍යයයෙන් උපන්නා වූ විනාශකාරී වර්ෂාව පතනය වීමෙන් ඒ ඒ දේශයන් විනාශ වීම යි.) ඒ ආකාරයට වැස්ස නම් මේ කාරණා අට ද කරණකොට ගෙන ද වසියි. ඒ මේ ආකාරයට ධර්මය දැන ගනු කැමැති සාධු සත්පුරුෂයින් මේ සූත්‍රයේ අර්ථය මනාව දත යුතු ය.
    තෙරුවන් සරණ යි!