අපගේ දේශීය දෙළුම් ගෙඩි විශාලව වැඩෙන්නේ නොමැති අතර මෙම දෙළුම් ගෙඩිය විජාතික දෙළුම් මෙන් පැහැයෙන් හැඩයෙන් මනා පෙනුමකින් දිස් නොවූවද දේශීය දෙළුම්වල ඇති ගුණ අපමණ බව මෙතෙක් දැන සිටියාද?
රෝගීවූ අසල්වැසියෙක්, ඥතියෙක් එසේත් නැතිනම් රෝහල් ගතව සිටින රෝගියෙක් බැලීමට යැමේදී දේශීය දෙළුම් ගෙඩියක් රැගෙන යැමට හැකිනම් එම රෝගියා ගේ ආයුෂ වැඩි කිරීමට ඔබත් එක්‌වූ බව සිහිතබා ගන්න. එයට හේතුව දේශීය දෙළුම්වල ඇති පෝෂණීය ගුණයෙන් ඉහළ බවය.
රෝගාතුර කෙනකුට නිතරම මළ බද්ධය, ආමවාතය, උදර රෝග හටගන්නා බැවින් දේශීය දෙළුම් වල ඇති ඖෂධීය සංඝටකවල අර්ශස්, ගැස්‌ට්‍රයිටීස්, ආමවාත වැනි රෝග සුවකිරීමේ මෙන්ම පාලනය කිරීමේ හැකියාවක් තිබෙන බව සොයාගෙන ඇත.
දේශීය වෙදකම තුළ දෙළුම් වැනි මුල්තැන දෙන්නේ ඒවා යොදා ගනිමින් ඖෂධ නිෂ්පාදනය කර රෝගීන් සුවකර ගැනීම වෙනුවෙන් ඒවායේ ගුණ දන්නා නිසා ය . ඕනෑම තත්ත්වයක අර්ශස් රෝගයක් දෙළුම් ගෙඩියෙන් සුවකර ගත හැකි බව පැරණි පොත පතෙහි සටහන් කර ඇත්තේ දෙළුම් ගුණ දන්නා නිසා අපේ පැරැන්නන් දෙළුම් භාවිතයට ගෙන ඇති නිසා ය .
එයට හොඳම උදාහරණයක් ලෙසට ඔබේ මහ ගෙදරත් දෙළුම් ගසක් හෝ දෙකක් තිබූ බවට ඔබේ මතකයේ සටහන්ව තිබෙනවා නේද? එදා නිවෙසක මිදුලේ දෙළුම් ගසක් වවා තිබුණේන් එහි ඇති ගුණ හඳුනාගෙන තිබූ නිසාවෙන් බව පැහැදිලිය.
එක්‌තැන්වී සිටින රෝගීන්ට දෙළුම් යුෂ පානයට ලබාදුන් අතීතයේ අපේ වැඩිහිටියන් එවැනි රෝගියෙකු වෙනුවෙන් මිදුලේ ඇති දෙළුම් ගසෙන් ගෙඩියක් කඩා ගොස් දුන්නේ මහත් ලැදිකමින්.
අනෙක් විශේෂ කාරණාව නම් බොහෝ ගුණ දෙන දෙළුම් වැනි පලතුරු පැළයක් නිවසේ සිටුවා ගැනීමෙන් ඔබගේ පවුලේ නිරෝගීභාවය වෙනුවෙන් ඒවායේ ඵල ප්‍රයෝජනයට ගැනීමය.