දුසිල් සමාජයක සිල්වත් ගුණවත් අය ජීවත් වී&#3512

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දුසිල් සමාජයක සිල්වත් ගුණවත් අය ජීවත් වී&#3512

    12417642_910634049032210_6992478393656873606_n.jpg


    අහං නාගොව සංගාමේ - චාපාතො පතිතං සරං
    අතිවාක්‍යං නිතික්ඛිස්සං - දුස්සීලොහි බහුජ්ජනො​
    "

    යුධ බිමට බැසගත්ත හස්ති රාජයෙකුට, තමන්ට වදින ඊතල පහරවල් හොඳට ඉවසගෙන ඉන්ට පුළුවනි. මමත් අන්න ඒ වගේ කෙනෙක්. අනුන්ගෙන් ලැබෙන කර්කශ වචන, මං ඉවසනවා. මේ ලෝකෙ බොහෝ දෙනෙක් දුස්සීලයි."
    මෙම ලිපිය සඳහා තෝරා ගත්තේ ධම්මපද ගාථාවක්. ධම්මපදය සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් එක් ග්‍රන්ථයකි. මෙම ධම්මපද ග්‍රන්ථය බෞද්ධයාගේ හස්තසාර ධර්ම ග්‍රන්ථයක් ලෙස සලකයි. මෙහි වර්ග, විසිහයක් සහ ගාථා හාරසිය විසිතුනක් ඇතුළත් වෙයි. අර්ථ රසයෙන් මෙන්ම ධර්ම රසයෙන් ද හෙබි ධර්ම ග්‍රන්ථයකි ධම්ම පදය. අන්න ඒ ධම්ම පදයට අයත් නාග වර්ගයේ පළමු ගාථා රත්නයයි අද මෙම ලිපිය සඳහා තෝරා ගත්තේ.
    ඇතාට උපමාකරගෙන ඇත්තේ බුදුරජාණන්වහන්සේ ය. උන්වහන්සේට ඕනෑම අභියෝගයක් ජයගත හැකිය. ඕනෑම සැඩ පරුෂ වදනක්ම ඉවසිය හැකිය. කිසිවකින් කම්පා නොවෙයි. අටලෝදහමින් කම්පා නොවීම, තාදිගුණය ලෙස නම් කොට ඇත්තේ එබැවිනි.
    දුසිල් සමාජයක සිල්වත් ගුණවත් අය ජීවත් වීමේදී ගැටලු රැසකට මුහුණදිය යුතුය. බුද්ධකාලීන සමාජය තුළ ද දුසිලුන්ගෙන් පිරී තිබුණි. මේ නිසා බුදුරජාණන්වහන්සේ වැනි ශීල ගුණයන්ගේ උල්පත බදු ශ්‍රේෂ්ඨයින්ට විවිධ තර්ජන පැවැතුණි.
    බුද්ධ කාලයෙහි මාගන්දියා බැමිණිය බුදුරජාණන් වහන්සේට විවිධ අපහාස නින්දා කළාය. අන් අය ලවා ද එලෙසම නින්දා අපහාස කරවීමට ඇය පෙළඹුනාය. ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ ඉවසා වදාළහ.
    මේ සඳහා මූලික හේතුවක් ද පදනම් විය. මාගන්දියා බමුණා සහ එම බැමිණිය බුද්ධ කාලයෙහි සිටි ඉතා ප්‍රකට දෙපළකි. මේ දෙදෙනාට සිටි සුරූපි එකම දියණිය ද මාගන්දියා නමින්ම හඳුන්වන ලදී. දිනක් මාගන්දිය බමුණා සිය දියණියට ගැලැපෙන සහකරුවෙක් සොයමින් මග යන අවස්ථාවෙහි බුදුරදුන් මුණ ගැසුණි. මේ බුදුරදුන් බව නො හඳුනන මාගන්දිය බමුණා මෙම තරුණයා මගේ දුවටම ගැලපෙන ලස්සන රූ සිරියෙන් හෙබි අයෙකැයි සිතා බුදුරදුන්ට මොහොතක් නතර වී සිටින ලෙස දැනුම් දී සිය නිවෙස වෙත දිවගිය බමුණා තම දුවණිය වස්ත්‍රාභරණයෙන් සරසා ගෙන බුදුන් වෙත දිව ආහ.
    ඒ මොහොතේ බුදුරදුන් සිය ශ්‍රී පද්මය ඒ අසළ පිහිටුවා එහි ආසන්න ගසක් මුල වැඩ සිටියහ. ඒ ශ්‍රී‍්‍ර පද්මය දුටු බමුණා මවිතයට පත් වී මේ සළකුණ අසමසම ශ්‍රේෂ්ඨ උතුමෙකු ගේ විය යුතුයයි සිතමින් බුදුරදුන්ට සිය දියණිය පෙන්වීය. ඒ සමග තම සුරූපි දියණිය විවාහ කර ගෙන සැපවත් විවාහ ජීවිතයක් ගත කරන ලෙසද යෝජනා කළේය. මෙහිදී කලබල නොවූ බුදුරජාණන්වහන්සේ මාගන්දිය බමුණා සහ දුවණිය අමතා මෙසේ ප්‍රශ්න කළහ.
    බමුණ පිටින් විවිධ චිත්‍ර ඇඳ ලස්සන කළ කළයක අසුචි පුරවා දුන්නොත් ඔබ එය පිළිගන්නවා ද? නැත. ස්වාමිනී, දුගඳ හමන පිළිකුල් අසුචි පුරවා චිත්‍ර කර්ම කළ කළයක් කෙසේවත් භාරගත නොහැකිය. එසේනම් බමුණ මැටි කළයක ඇතුළත රත්‍රං පුරවා දුන්නොත් එය භාර ගන්නවා ද? එසේමයි ස්වාමිනී එය මම ඉතා සතුටින් බාර ගනිමි.
    එහෙනම් බමුණ මුල්කළ ගෙඩිය වගෙයි ඔබේ ලස්සන දුව. ඔබ අසුචි පුරවපු ලස්සන කළගෙඩිය බාර ගන්නේ නැතුව වගේ පිට ලස්සන කළ ඇතුළත දුගඳ හමන ඔබේ දූ කුමරිය මම භාර ගන්නේ කොහොම ද?
    මේ සාකච්ඡාවෙන් පසුව මාගන්දිය බමුණා බුදුරදුන් ගැන අතිශය පැහැදීමට පත් වූ අතර මාගන්දියා බැමිණිය බුදුරදුන් කෙරෙහි තද කේන්තියෙන් කෝපයෙන් තම ලස්සන සිරුරට නිගරු කළේ යයි සිතමින් පලි ගැනීම සඳහා විවිධ විදියට නින්දා අපහාස කිරීමට පටන් ගත්තාය.
    මේ අවස්ථාවෙහි අනද තෙරුන් කළ කිරීමට පත්ව එනුවර අතහැර වෙනත් පලාතකට වඩිමුයැයි බුදුරදුන්ට යෝජනා කළත් එය ප්‍රතික්ෂේප කරන බුදුරදුන් ඒ යන නුවරත් එවැන්නකට මුහුණ දීමට සිදු වුවහොත් කුමක් කරමුදැයි ප්‍රශ්න කරමින් මෙනුවරම සිට ඒ සියලු නින්දා අපහාස ඉවසමින් ඒ අභියෝගය ජයගත යුතුයැයි සඳහන් කරමින් ඉහත මා මාතෘකා කළ ගාථාව දේශනා කළහ.
    මෙහි සඳහන් වන ‘දුස්සීලෙහි බහුජ්ජනො’ යන්න ඉතා වැදගත් වෙයි. මනුෂ්‍ය සමාජයේ ඇතැම් පිරිසක් දුසිල්වත්හුය හෙවත් කායවාග් සංවරය නොමැති අයයි. කායික අකුසල කර්ම තුනකි. ප්‍රාණඝාත අදත්තාදාන, කාම මිත්‍යාචාර, යන ප්‍රකට අකුසල ක්‍රියා තුනයි.
    ඒ තුනින් වැළැකීමක් නැතිව එම අකුසල ක්‍රියා නිතර නිතර සිදු කරන්නේ නම් එහි ඇලී ගැලී සිටින්නේ නම් ඔහු දුශ්ශීලවන්තයෙකි. එමෙන්ම වචනයෙන් සිදුවන ‘මුසාවාද පිසුනාවාචා’ ඵරුෂාවාචා සම්ප්‍රප්පලාප යන අකුසල කර්ම නිරන්තරයෙන් සිදු කරන්නේනම් ඔහු ද දුසිල්වතෙකි. මේ අනුව කායවාග් පාලනය ඇතිකර ගැනීමට හැකි නම් ඔහු ශීලවන්තයෙකි. මේ සඳහා පංචශීල ප්‍රතිපදාව අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙයි. බෞද්ධයාගේ නිත්‍යශීලය මෙයයි. කාය වාග් දුරාචාර පැතිරෙන ඕනෑම සමාජයක් පිරිහීමට පත්වෙයි. සාරධර්ම පිරිහී දුරාචාර වර්ධනයක් සිදු වෙයි. එවන් සමාජවලින් දුසිල් අය වර්ධනය වෙයි. ඔවහු නිතර සැඩ පරුෂ වදන්වලින් සිල්වතුන්ට අපහාස තර්ජන ගර්ජන ඇති කරවයි. ඒ මොහොතෙහි සිල්වතාගේ ඇති එකම කායකර්මය වන්නේ ඉවසීමේ ගුණය ප්‍රදර්ශනය කිරීමයි.
    ඕනෑම කුරිරු සමාජයක ජීවත්වීමට නම් අප කළයුත්තේ ඉවසීමේ ගුණය පුරුදු පුහුණුවීමයි. මිනිසෙකුගේ මනසේ සාමාන්‍ය ස්වභාවය අතීත වර්තමාන සිදුවීම් නැවත නැවත පුනරාවලෝකනය කොට එහි එල්බී තරහා වෛරී චේතනාවන් මතුකර ගැනීමයි.
    නින්දා අපවාදවලදී සිත පාලනය කරගත නොහැකිව විවිධ ගැටුම් ඇතිකර ගැනීමයි. සුළු සිදුවීමක් මුල්කරගෙන විවිධ කළකෝලාහල ගැටුම් විශාල කරදර ඇති කර ගනියි. මෙහි මූලික හේතුව වන්නේ නො ඉවසීම සහ තම චිත්ත ඒකාග්‍රතාවයෙන් යුතුව එහි හැඟීම් පාලනය කර නො ගැනීමයි.
    පින්වත, ඔබත් සිලවන්තයෙකු ලෙස කටයුතු කර මෙලොව පරලොව දෙලොව ජය ගැනීමට උත්සාහවන්ත වෙන්න.
    මතු සම්බන්ධයි!
    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

    තෙරුවන් සරණයි!​

    මේ මේ ලිපිය Facebook එකේ
    බෞද්ධයා - The Buddhist Page එකෙන් උපුටා ගත්තෙමි.​